2019 ජුලි 13 වන සෙනසුරාදා

මාෙහා‍ෙතක වැරදීමක් මන්දිරයෙන් පැල්පතට වැටුණු බැරී

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

අපි කොයිතරම් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවිතේ ගතකළත් එක් මොහොතකින්, එක් සිදුවීමකින් සියල්ල වෙනස් වෙන්න පුළුවන්. අපි කිසිමදාක හිතපු නැති විදිහේ ඉරණමකට මුහුණ දෙන්න පුළුවන්. මෑතකදී මෙලොවින් සමුගත්ත බැරීගේ ජීවිතයෙනුත් අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ පාඩමයි. 

බැරී ලෙනාර්ඩ් හම්බර් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු හැත්තෑව දශකයේදී කෙන්යාවට එන්නේ වෘත්තීය ගොඩනැගිලි ඉදිකරන්නෙක් විදිහට සේවය කරන්නයි. ඒ වනවිටත් ඔහුට ඉදිකිරීම් ශිල්පය ගැන පශ්චාත් උපාධි දෙකක් තිබුණා. ඔහු කෙන්යාවට එන කාලයේ ඒ රටේ වෘත්තීය ගොඩනැගිලි ඉදිකරන්නන් හිටියේ නැහැ. ඒ නිසාම බැරීට ඉතාම හොඳ ඉල්ලුමක් කෙන්යාව තුළ තිබුණා. කොටින්ම කෙන්යාවේ ජනාධිපති පවා බැරී ගැන දැනගන්න තරමට ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණා. 

එක අවුරුද්දක කොන්ත්‍රාත් කාලයකට ආපු බැරීට ආපහු බ්‍රිතාන්‍යයට යන්න ඒ රටේ ජනාධිපති ඉඩදුන්නේ නැහැ. අපිට තවදුරටත් ඔයාගේ සේවය ඕනෙ. කරුණාකරලා අපිත් එක්ක දිගටම ඉන්න ජනාධිපති බැරීගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම අහක දැමීමේ හැකියාවක් බැරීට තිබුණේත් නැහැ. අන්තිමේදී ජනාධිපතිවරයාම බ්‍රිතාන්‍ය මහ රැජනට මේ බව දැනුම්දීලා බැරීව කෙන්යාවේ නතර කරගත්තා. ඒ ඔහුට කෙන්යාවේ පුරවැසිභාවයත් ලබාදෙමිනුයි. ඒ කාලයේදීම තමයි ඔහුට එළිසබෙත්ව මුණගැහෙන්නෙ. ඈ කෙන්යානු තරුණියක්. ආදරයෙන් බැඳුණු මේ දෙදෙනා කෙන්යාවේ කකමේගා කියන ප්‍රදේශයේදී විවාපත් වෙලා එහිම පදිංචි වුණා.

කෙන්යාවේ පුරවැසිභාවය ලැබුණට බැරීට කෙන්යාවේ ඉඩම් මිලදී ගන්න අවසරයක් තිබුණේ නැහැ. ඒ හින්දම ඔහු විවාහයෙන් පස්සෙ මිලදී ගත්ත අක්කර 33ක් විශාල වත්තේ සුවිසල් මන්දිරය මිලට ගන්න සිද්ධ වුණේ එළිසබෙත්ගේ නමටයි. කෙන්යාවේ විවිධ පළාත්වල බැරී සේවය කළා. ඔහු සහ එළිසබෙත් අතරත් ආදර පවුල් ජීවිතයක් තිබුණා. ඔවුන් හදාවඩා ගන්න ළමයි හතරදෙනෙකුත් භාරගෙන තිබුණා. ලස්සනට ගොඩනැඟෙමින් තිබුණු පවුල් ජීවිතයට කණකොකා හඬලන්න වැඩිකාලයක් ගියේ නැහැ. 

එළිසබෙත් තමන්ගේම නිවසේ වෙන පිරිමියෙකු සමඟ සිටින විට බැරීගෙන් එය වසන් කරන්න බැරි රහසක් වුණා. ජීවිතය ගැන කලකිරුණු බැරී තීරණය කළේ එළිසබෙත්ගෙන් වෙන් වෙන්නයි. හැබැයි ඒ තීරණය ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කළා. ඔහු මෙතුවක් කල් ගොඩනඟාගත් සියලු ධනය, වත්කම් සියල්ල පැවතුණේ එළිසබෙත්ගේ නමටයි. ඒ නිසා එළිසබෙත්ගෙන් වෙන්වීමත් සමඟ ඔහුට සියල්ල අහිමිවුණා. 

ඒ වනවිට වයස්ගතව හිටපු නිසා ඔහුට තවදුරටත් රැකියාවක් කිරීමේ හැකියාව තිබුණේත් නැහැ. අන්තිමට ඔහුව දන්නා හඳුනන කෙන්යානුවන් පිරිසක් වැසි වනාන්තරයක තනා දුන් මැටි ගෙයකට වෙලා අන්ත අසරණව කාලය ගෙවන්න බැරීට සිද්ධ වුණා. ඔහු හා එළිසබෙත් හදාවඩාගත්තු දරුවන් අතරිනුත් ඔහු ගැන සොයාබැලුවේ එක් කෙනෙක් විතරයි. ඔහුත් ටැක්සි රියැදුරෙක් වීම නිසා තමන් හදාගත් පියාට හොඳින් සැලකීමේ හැකියාවක් ඔහුට තිබුණේ නැහැ. අන්තිමේදී පිළිකාවකින්, අධික රුධිර පීඩනයෙන් සහ කකුලේ දරුණු තුවාලයකින් පීඩා වින්ද අසූ හැවිරිදි බැරී මීට සති කිහිපයකට කලින් මෙලොවින් සමුගත්තා.

බැරීගේ ජීවිතය එක පාඩමක් නෙවෙයි පාඩම් ගොඩක් අපට කියාදෙනවා. හිතන්න... එක තීරණයකට එක මොහොතකට පුළුවන් ජීවිතය අපෙන් උදුරාගන්න... අහිමි කරන්න. සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසයි....

 

► Text - Suranga   /   Pic -  Internet