2019 ජුලි 13 වන සෙනසුරාදා

අයිලා කියන්නේ ජීවිතය උගන්වන පාඩමක්!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 113
අපි අපේ ජීවිත ගැන හුඟක් ගැඹුරින් ආදරණීයව කතා කරපු එක හැන්දෑවක් තිබුණා ඈත මෑත අතීතයේ. දත් දොස්තර කෙනෙක්ගේ ආත්මය තුළ ජීවත්වෙන සංවේදී කලාත්මක මනුෂ්‍යත්වයේ හැඩතල ඇති ළෙන්ගතු මිත්‍රයා මට හමුවුණේ අන්න ඒ හැන්දෑවේදී....
 
අකුරු, Layout, පත්තර පිටු අතර දිය නොවී හදවතේ ඉමක නැවතුණ ඒ මිත්‍රත්වයේ එක පරාසයක් යා වුණේ කලාවත් එක්ක...
ගීත රචක සාහිත්‍ය විචාරක දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරට හඬට කතා කරන්න මම එන්න කීවේ ඒකයි.
 
කොහොමද ජීවිතේ...?
ජීවිතේ විඳින ගමන් ජීවත්වෙනවා.... පහුගිය කාලේ ටිකක් විතර කාර්යබහුල වුණා.. ගීතයකින් ජීවිතය කියවමු කියන මගේ පොතත් එක්ක... ඒ පොත ජනගත කළාට පස්සේ... මේ දවස්වල ටිකක් විතර නිදහසේ ගතකරනවා... මගේ වෘත්තීය කටයුතුත් සමබර කරගෙන අලුතෙන් නිර්මාණාත්මක හොඳ දෙයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා...
වර්තමානය ඒ විදිහට සාරංශගත කරලා.. කෙටියෙන් දුන්නා... උත්තරයක්.
 
අසේල.... මගේ කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද...? ඒක ඔබගේ ජීවිතයට තදින් දැනුණු නිර්මාණයක් නම් කතා කරන්න හුඟාක් දේවල් අපට තියෙයි...
එහෙම නිර්මාණ ගොඩක් මම බලලා දැකලා විඳලා තියෙනවා... ඒ අතරිනුත් මගේ හදවතට තදින් වැදිච්ච නිර්මාණ දෙකක් තියෙනවා... එකක් චිත්‍රපටයක්... අනිත් එක.. කවි පංතියක්...  මේ නිර්මාණ දෙක දාර දෙකක තිබුණට... ඇත්තටම බැලුවොත් මේ නිර්මාණ දෙකේම... කියැවෙන.. කතාව එකක්... අදහස එකක්.. ප්‍රධානම කතාව තියෙන්නෙ... මම මේ කියන චිත්‍රපටය ඇතුළේ..  අයිලා තමයි චිත්‍රපටයේ නම... කොරියන් ජාතික Can Ulkay තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ... වර්තමානයේ බොහෝ මිනිස්සු වෘත්තීය ජයග්‍රහණ පසුපස ඉතා වේගයෙන් දුවන වාතාවරණයක්නෙ තියෙන්නෙ... මේ දුවන දිවිල්ලත් එක්ක මනුෂ්‍යත්වය මුදල්වලට වැහිලා ගිහින්... නමුත් මේ වැහිලා ගිය මනුෂ්‍යත්වය සමහර මිනිස්සු ඉස්මතු කරලා අරගෙන අවශ්‍ය තැන්වලට පාවිච්චි කරමින් ජීවිතය අපූරුවට සමබර කරනවා.. හැබැයි සමස්තයක් විදියට ගත්තාම වාර්මාතනයේ මනුෂ්‍යත්වය කියන වචනය විහිළුවක් බවටත් පත්වෙන යුගයක අයිලා චිත්‍රපටය බලද්දී මට ඒ චිත්‍රපටය තදින් දැනුණා... 
 
උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවෙච්ච යුද්ධය පසුබිම් කරගෙන තමයි මේ චිත්‍රපටය දිවයන්නෙ... මේ චිත්‍රපටය ඇත්තම කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය වෙච්ච එකක්.... සුලෙයිමාන් කියලා සොල්දාදුවෙක් ඉන්නවා... ඔහු යුද්ධයෙන් මැරිච්ච මිනිස්සුන්ව පරීක්ෂා කරනකොට දකිනවා පුංචි දියණියක් මැරිච්ච අම්මාගෙ අත අල්ලාගෙන ඔළුව හංගගෙන හැංගිලා ඉන්නවා... කෙඳිරිලි සද්දය ඇහෙනකොට සුලෙයිමාන් මේ දියණියව වඩාගන්නවා... පස්සේ මේ පුංචි දැරියව කඳවුරට අරන් ගිහින් ඇයව පිරිසිදු කරලා, අලුත් ඇඳුම් අන්දලා... ඇයව තමන්ගේ දරුවෙක් වගේ මුරකුටියේ හදාවඩා ගන්නවා... මේ ලෝකෙ කිසිම කෙනෙක් නැති පුංචි දියණියට සුලෙයිමාන් තාත්තා කෙනෙක් වෙනවා. මේ දියණියට වෙනමම ඇඳක් තියෙනවා... නින්දෙන් එකපාරට ඇහැරුණාම මේ ඇඳෙන් නැගිටලා ඇවිත් තාත්තාගේ පපුව මත, ඒ උණුසුමට ඔළුව තියාගෙන නිදාගන්නවා. නින්ද ගියාට පස්සේ සුලෙයිමාන් ආයි.. එයාව තුරුලුකරන් ගිහින් ඇඳෙන් තියෙනවා. මේ ආදරය තාත්තෙකුයි දුවෙකුයි අතර ඇතිවෙන ආදරයකට වඩා ඈතට ගියපු එකක්.. මොකද තමන්ගෙ ‍ලේ වලින් බිහිකරපු දරුවෙක්ට තාත්තා කෙනෙක් ආදරය කරන එක සාමාන්‍ය දෙයක්.. තමන්ගෙ නොවන කෙනෙක්ට... ඒ බන්ධනයෙන් එහා ආදරයක් උණුසුමක් දරුවෙකුට දෙන්න පුළුවන්නම් එතන තමයි මනුෂ්‍යත්වය කියන ඒ සොඳුරු හැඟීම එළියට එන තැන... පසුව සුලෙයිමාන්ට ඒ රටෙන් පිටවෙන්න වෙනවා... සුලෙයිමාන්ට උත්සාහ කරනවා මේ දරුවාව බීෆ් කේස් එකෙක දාගෙන හංගගෙන ඔහුත් සමඟ අරගෙන යන්න.. සුලෙයිමනාන්ට ඒක සාර්ථක කරගන්න බැරිවෙනවා... මේ දැරිය සහ සුලෙයිමාන් අතර ඇතිවන සම්බන්ධතාව, හැඟීම් ගනුදෙනුකර ගන්න විදිය දැක්කාම සාමාන්‍ය චිත්‍රපටයක දකින සිදුවීම්වලට එහා ගිය.. ගැඹුරු හදවතක ඇතිවන ගැස්ම අපට දැනෙන්න ගන්නවා... මේ දෙදෙනාට දෙදෙනාගෙන් වෙන්වෙන්න වෙනවා... පසුව කාලෙකට පස්සෙ සුලෙයිමාන් විවාහවෙනවා... ඔහුටත් ගැහැනු දරුවෙක් ඉන්නවා.. නමුත් ඔහු නිතරම සිතන්නෙ මේ අයිලා කියන තමන්ට අහිමිවෙච්ච පුංචි දැරිය ගැනමයි... ඔහුගේ අවසාන බලාපොරොත්තුව වෙන්නෙ ඇයව දකින එක... අවසානයේ සුලෙයිමාන්ට ඒ අවස්ථාව උදාවෙනවා.. ඒ දර්ශනය ඉතාම සංවේදීයි...
 
අසේල... අයිලා චිත්‍රපටය රසවිඳද්දී ඔබ ඔබේම කරගත්ත චරිතයකුත් ඉන්න ඇති නේද?
ඔව්... මම මගේම කරගත්ත චරිතය තමයි සුලෙයිමාන්ගේ චරිතය.. ඒකට හේතුව තමයි සුලෙයිමාන් තමන්ගේ හදවතේ තිබෙන මනුෂ්‍යත්වය මරාගන්නෙ නැතිව එයාගේ රැකියාව කරනවා.. අපි සොල්දාදුවෙක් දැක්කාම හිතන්නෙ එයාට තියෙන්නෙ ගලක් වගේ හදවතක්, එයා මිනිස්සු මරන ම්ලේච්ඡ මනුස්සයෙක් කියලානෙ... නෑ... එහෙම නෑ... එයා කරන්නෙ එතන රැකියාවක්... මේ චිත්‍රපටයේ එක තැනක් තියෙනවා යුද්ධය නිසා මේ දරුවාව තනියම තනිකරලා යන්න බැරි... ඒ අවස්ථාවේ සුලෙයිමාන් මේ අයිලා දියණියව ට්‍රක් එකක් අස්සේ තියාගෙන... එයා කෑගහයි කියන බයට කිරි බෝතලේ කටේ ගහලා... සතුරන්ට වෙඩි තියෙන තැනක්... එච්චරට ජීවිත අමාරු තැන්වල පවා ඔහු ඇයව අතඇරියේ නෑ... සුලෙයිමාන් මගේ ජීවිතයේ මට දැනිච්ච සංවේදීම චරිතයක්... 

මේ වගේම චරිතයක් මම අර කිව්ව කවි පොතෙත් ඉන්නවා... ඒ පොතේ නම තමයි අවදි වී නිදන්න..  මේ කවිපොත ලියලා තියෙන්නෙ නෙරන්ජන් ගුරුගේ...  මම මේ කියන කවිපන්තියේ නම තමයි මගේ දූත් බේරගන්න... මේ කවියෙන් කියවෙන කතාව මම කෙටියෙන් කියන්නම්... මේ කවියේ තියෙන්නෙ මල්කඩලා විකුණන තාත්තෙක් ගැන... ඔහුට දියණියක් ඉන්නවා.. දවසක් මේ දියණියගේ යාළුවෙක් ගෙදර එනවා මේ දියණියන් දෙදෙනාගේ දැඩි ඉල්ලීමට මල්කඩන්න තාත්තා මේ දෙදෙනාත් එක්කගෙන යනවා...  වැවේ මැදදි ඔවුන්ගේ උරුව පෙරළෙනවා... තාත්තා තම දියණිය සහ දියණියගේ යෙහෙළියව බොහෝම අමාරුවෙන් අල්ලගන්නවා.. නමුත්  ඒ කවියෙ කියනවා මේ දෙදෙනාවම අරගෙන මට පීනන්න බෑ... මට එක්කෙනෙක්ව අතරින්න වෙනවා... ඔහු.. දැඩි ලෙස අසරණ වෙනවා... අවසානයේ ඔහු තීරණය කරනවා තමන්ගෙ දුවව අතඅරින්න.. දුවගේ යාළුවව ගොඩට ගෙනත් දාලා... ඒ පිම්මෙන්ම.. නැවත තම දියණියව ගන්න යනවා... නමුත් ඇය වැව් පතුලට කිඳා බැහැලා... තමන්ගෙ ලේ වලට වඩා.. අනෙකාගේ ගැන සංවේදී වීම...  මිනිස්සුන්ට යන්න පුළුවන් දුර බොහෝයි.... 
වහමින් ගැඹුර සියපත් පිපිනද නිබද
 
නාෙනලමි නොවිකුණමි පැහැදුල මල් සුවඳ
ආවොත් ඔබේ දුවගේ යෙහෙළිය ලෙසද 
මගෙ රත්තරන් දුව බේරාගන් සබඳ
මේ ඒ දිග කවිපන්තියේ එක කවියක්.
 
අයිලා චිත්‍රපටය ඔබ රසවිඳිද්දි.. හිතට තදින් දැනුණු තැනක් දෙකක් මතකද?
මේ චිත්‍රපටය නරඹද්දී මගේ ඇස්වලට කඳුළු ආපු තැන් දෙකක් තියෙනවා... පුංචි අයිලට අකුරු ඉගෙන ගන්න ඉස්කෝලෙකට ඇතුළත් කරලා සුලෙයින්මාන් පාර දිගේ එනවා.. අයිලා සුලෙයිමාන් යන දිහා බලන් ඉඳලා... තාත්තේ කියලා කෑ ගහගෙන අඬාගෙන දුවගෙන ඇවිත් තාත්තාව බදාගන්නවා...  ඒ දර්ශනය බලද්දී මගේ ඇහැට කඳුළු ආවා...  ඒ හැඟීම මට වචනවලට පෙරළන්න බෑ... අනිත් සිද්ධිය තමයි මේ චිත්‍රපටයේ අවසානයේ සුලෙයිමාන්ට අයිලව මුණගැහෙන මොහොත... ඒ වලොව මමත් සුලෙයිමානුත් අතර වෙනසක් නෑ.. සුලෙයිමාන්ගේ හදවත මට දැනෙන්න ගත්තා...  
 
මෙච්චර ලස්සන නිර්මාණයක් අසේලට මුණගැහෙන්න කොහොමද? දැනට කී වතාවක් මේ නිර්මාණය රසවිඳලා තියෙනවා.. 
ඇත්තටම.... මට මේ චිත්‍රපටය බලන්න ලැබුණේ මගේ ළඟ මිත්‍රයෙක් නිසා... එයා නරඹලා.. එයා තමයි කිව්වේ මෙහෙම ලස්සන චිත්‍රපටයක් තියෙනවා... බලන්න කියලා...  දැනට මම දෙපාරක් වගේ මේ චිත්‍රපටය බලලා තියෙනවා... මට මේ චිත්‍රපටය ආයි... ආයි.. බලන්න රූප රාමු ඕනෙ නෑ.. මගේ ඔළුවේ මේ චිත්‍රපටය නිතරම යනවා... ඒ  තරමටම මම මේ චිත්‍රපටයට සමීපවෙලා ඉවරයි... 
 
මේ චිත්‍රපටය අවසානයේ වෛද්‍ය අසේලට මොනවගේ හැඟීමක්ද දැණුනේ...?
මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පුළුවන් සුලෙයිමාන්ලා වෙන්නෙ.. අනිත් මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න.. මේ ලෝකය කොච්චර සුන්දර වෙයිද? හැම තාත්තා කෙනෙකුටම හැම දියණියක්ම තමන්ගේ දියණිය විදියට හිතන්න පුළුවන් නම්? මේ ලෝකයේ ඉන්නා හැම දියණියක්ම සුරක්ෂිත වෙයි... මනුෂ්‍යත්වය නැතිවීම තුළ නේද මේ හැම ප්‍රශ්නයක්ම ඇතිවෙලා තියෙන්නෙ කියලා මට හිතුණා... අයිලා කියන්නේ ජීවිතය උගන්වන පාඩමක්...
 
► Text - Danushka Wijesiri   /   Pic -Channa kassapa