2019 ජුලි 13 වන සෙනසුරාදා

රජවරුත් ගිය හිත නිවන වාරණ

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

කුරුලු කීචිබීචිය නිමක් නැතිව ඇහෙන්න ගත්තු එක හැන්දෑවක WALK 111 එක්ක මේ සති අන්තයේ වාරණ රජමහා විහාරයට ගියේ පෝය දවසේ පන්සලකට ඔයාලව එක්කන් ගියොත් හොඳයි කියලා හිතුණ නිසා.

වාරණ රජමහා විහාරය හෙවත් මංගල මහා විහාරය දෙවැනි පෑතිස් රජු දවස ඉදිකරන ලද්දක් බවට ඉතිහාසය දෙස් දෙනවා. සියනෑ කෝරළයේ ඔයබඩ පේරුවේ මංගලතිරිය කියන සුන්දර ගම්මානයේ තමයි මේ රජමහා විහාරය පිහිටා තිබෙන්නේ.
වාරණ රජමහා භූමියේදී ලෙන් විහාර හමුවීම සුවිශේෂයි. අනුරාධපුර යුගයේදී ලංකාවට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස භක්ත්‍යාදරයෙන් පිළිගත් දෙවැනි පෑතිස් රජු ශාසනාවලෝකනය පිණිස කළ මහා මෙහෙවරේ එක් ප්‍රතිඵලයක් විදිහට මේ රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේගේ එක් අනුශාසනාවක් වූයේ යොදුණෙන් යොදුණ විහාර ඉදිකරනවා වඳින්න පුදන්න බොදු සෙනසුන් ඇති කරන ලෙසයි. 

වළගම්බා රජුට රාජ්‍යයට පත්වී තුන් මසකින් ඔටුන්න හැර දා කැලෑ වැදීමට සිදු වුණේ ද්‍රවිඩ ආක්‍රමණ නිසා. අවුරුදු දාහතරක් ඔටුන්න අහිමි රජු කැලෑව වාස භූමිය කරගත්තා. ඉන් ඉක්බිතවයි රජුන් හට රාජ්‍ය අත්පත් කරගැනීමට හැකියාව ලැබුණේ.

වළගම්බා රජු දවස ගල් ලෙන්, කටාරම් කොටා වෙහෙර විහාර සාදා ශාසනයට පූජා කරලා තියෙනවා. ඉතිහාසය සාක්ෂි දරන විදිහට රජවරු ආවගිය තැනක් තමා මේ වාරණ රජමහා විහාරය. සක්මන් මළු, අලංකාර පොකුණු, අඩි සිය ගණනකටත් එහා ගිය දිගු පඩිපෙළවල්, මහා ගස්, කඳුවලින් සුසැදි වාරණ රජමහා විහාරය කියන්නේ බුදු ගුණයට සොබාදහමට සෞන්දර්ය කැටි වී අපූරුවට හිත නිවන තැනක්. ඒ නිසා අපිත් එක්ක හතරවටේ ඇවිදින අතරේ මේ පන්සල් බිමටත් ගිහින් එන්න.

Text & Pic- Channa Kassapa Koralearachchi