2019 ජුලි 13 වන සෙනසුරාදා

ඉගිලෙන කොල්ලයි ගී ගයන කෙල්ලයි SAAHO

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

කඩවසම් තරුණයෙකුට හොඳටම පහර දීලා. ඔහුගේ මුහුණ සහ පේන්න තියෙන හැම තැනකින්ම රක්ත රුධිරය ගලනවා. ඔහු...
ඉට්ස් ෂෝ ටයිම් 

කිව්ව ගමන් තමයි කතාව පටන් ගන්නේ. 
මේ කියන්න හදන කතාව සිදුවෙන්නේ අහස අල්ලන්න දඟලන උසැති ගොඩනැගිලි තියෙන නගරයකයි. ගුවන්යානා අහසේ පාවෙනවා. ඒවායින් කිහිප දෙනෙක් එක්වරම බිමට පනිනවා. ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ අමුතු ඇඳුමක්. එයාලා අත්දෙක දෙපැත්තට විහිදෙව්වාම හරියට ගුවන්යානා වගේමයි. මොකද.. ඒගොල්ලන්ට තමන්ව පාලනය කරමින් ගුවන්යානා වගේ අහසේ පියාසර කරන්න පුළුවන්. ඔවුන් නගර, සමුදුර, දියඇළි කඳුවැටි, ඇළ දොළ, ගංඟා, උස් ගොඩනැගිලි අතරින් වේගයෙන් පියාසර කරනවා. මෝටර් රථවලින් මෝටර් බයික්වලින් මේ පිරිස් යන්නේ ඇස්වලට නොපෙනෙන තරමේ වේගයෙන්. ඔන්න ඔය අතරේ මේ කණ්ඩායමේ නායකයා කිමිදෙන්න ප‍්‍රිය කරන ජනප‍්‍රිය ගායිකාවක් දකිනවා. ඇය ගායිකාවක් වගේම දක්ෂ වාදන ශිල්පිනියක්. 

මෙන්න මේ දෙන්නගේ සුන්දර ආදර කතාව ඇතුළත් හින්දී සිනමාපටය තමයි සාහෝ කියන්නේ. හින්දී, මලයාලම්, දමිළ සහ තෙළිඟු භාෂාවලින් මේ දැවැන්ත සිනමාපටය නරඹන්න 2019 අගෝස්තු 15 වැනිදා ඉඳන් ඔබට හැකියාව තියෙනවා. සාහෝ කියන මේ සිනමාපටය ඉන්දියානු රුපියල් කෝටි 300ක් වියදම් කරලා තමයි හදන්නේ. සුජීත් විසින් අධ්‍යක්ෂණය කරන සහෝ සිනමාපටය නිෂ්පාදනය කරන්නේ වී. වම්සි ක‍්‍රිෂ්ණා රෙඩ්ඩි, ප‍්‍රමෝද් උප්පලපති සහ භූෂන් කුමාර්. කතාව තිර රචනය සහ තෙළිඟු දෙබස් රචනය කරලා තියෙන්නේ සුජීත් වන අතර දමිළ දෙබස් කේ. ආර් අශෝක් විසිනුත් හින්දී දෙබස් අබ්බාස් දලාල් සජ්හ හුසේන් දලා විසිනුත් රචනා කරලා තියෙනවා. සහෝ කියන මේ දැවැන්ත සිනමාපටයේ පසුබිම් සංගීතය ඝිබ‍්‍රන් විසින් තමයි සිදුකරලා තියෙන්නේ. 2019 අගෝස්තු තිරගත කරන මේ සිනමාපටය හදන්න පටන් ගත්තෙ 2017 අගෝස්තුවේදියි. මේ සිනමාපටයේ දර්ශන තලයන් විදියට පාවිච්චි කරලා තියෙන්නේ ඔස්ට්‍රියාව, හයිද්‍රාබාද්, මුම්බායි, අබුඩාබි, ඩුබායි, රුමේනියා සහ යුරෝපීය රටවල් කිහිපයක්. මේ දැවැන්ත සිනමාපටයේ චරිතවලට පණ දෙන්නේ කවුද? මේකෙ ප‍්‍රධාන චරිතයක් වන ගායිකාවගේ චරිතයට පණ පොවන්නේ ඔබ අපි දන්න කියන කෙනෙක්. එයා ගැන මුලින්ම කියලා ඉන්නම්කො.
1987 මාර්තු 03 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී ඉපදුණු ඇය 2010 වසරේ පටන් නිළියක් වගේම ගායිකාවක් විදිහට හින්දී සිනමාවට සම්බන්ධවෙලා කටයුතු කරනවා. මේ කියන සුන්දර කෙල්ල මංගේෂ්කර් - බර්මන් පවුලේ සම්මිශ‍්‍රණයක්. 

මෙන්න මේ සිනමාපටවල ඇය දකින්න ලැබුණා. කවුද කියලා ඔබම මතක් කර ගන්න උත්සාහ කරන්නකො.
Teen Patti (2010), Luv Ka the End (2011), Aashiqui 2 (2013), Haider (2014), Ek Villain (2014), ABCD 2 (2015), Baaghi (2016), Stree (2018)
ඇය වෙන කිසිවෙක් නෙවෙයි හින්දී සිනමාවේ විකට සහ දුෂ්ට චරිත රංගනයෙන් ඔබගේ ආදරය දිනාගත්ත ශක්ති කපූර්ගේ දියණිය ශාරදා කපූර්. ඇය තමයි සහෝ සිනමාපටයේ ප‍්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නේ. ඇය ලතා මංගේෂ්කර්, ආශා භෝස්ලේ, ඌෂා මංගේෂ්කර්, මීනා ඛඩීකර් සහ හරිදයානත් මංගේෂ්කර්ගේ ඥාති දියණියක්. ශාරදත් එක්ක සහෝ සිනමාපටයේ රංගනයෙන් දායක වෙන නළුවා හින්දී සිනමාවටනම් නව මුහුණක්. 
ඔහු මෙන්න මේ කියන සිනමාපටවල රංගනයෙන් තමන්ගේ ඇති හැකියාව මනාව පිළිබිඹු කළ හාදයෙක්. 

Action Jackson (2014) ,Varsham (2004), Chatrapathi (2005), Chakram (2005), Billa (2009), Darling (2010), Mr. Perfect (2011), Mirchi (2013).
1979 ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාවේ තෙලංගනා ප‍්‍රාන්තයේ හයිද්‍රාබාද්වල නාගාර්වලදී ඉපදුණු ඔහු 2002 වසරේ පටන් නළුවෙක් විදිහට වෘත්තීය ජීවිතයේ නියැලෙන කෙනෙක්. අයිෆා සම්මාන සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන ද තමන්ගේ නමට වෙන්කර ගන්න සමත්කම් දැක්වූ ඔහුව ප‍්‍රභාස් කිව්ව ගමන් ඔබ දන්නවා. ඔහු තෙළිඟු සිනමාවේ ඉහළින්ම ඉන්න චරිතයක්. ඒ වගේම දමිළ සහ හින්දී සිනමාපටවලින් නම් ඔබ ඔහුව දැක තියෙන්න විදිහක් නැහැ. සාහෝ හින්දී සිනමාපටය හැඩ කරන්න ඔබ අපි දන්න කියන තවත් ජනප‍්‍රියම තලයේ නළුවෝ ගොන්නක් මේ සිනමාපටයට දායකත්වය දීලා තියෙනවා.

මෙයින් කෙනෙක් ගැන කියනවානම් ඔහු 1957 පෙබරවාරි 01 වැනිදා ඉපදිලා දැනට මුම්බායිවල ජීවත් වෙනවා. 1978 ඉඳන් ඔහු නළුවෙක්, නිරූපණ ශිල්පියෙක් සහ සිනමාපට නිෂ්පාදකයෙක් විදිහටත් වෘත්තීය ජීවිතයේ නිරතවෙන කෙනෙක්. මෙන්න මේ සිනමාපට ඔහුගේ රංගනයෙන් හැඩ කළ සිනමාපටවලින් කිහිපයක් විතරයි.

1983, Hero, Andar Baahar, Jaanoo ,Yudh,Kaash, Dahleez, Sachche Ka Bol-Bala, Ram Lakhan, Tridev,  Parinda, Saudagar, Angaar, Gardish, Khalnayak, 1942: A Love Story, Rangeela, Agnisakshi, Border, Bhoot Unkle (2006)

1987 වසරෙදී අයේෂා දත් එක්ක විවාහ වුණු ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඔහු නමින් ජැකී ශ්රොෆ්. ජැකීට අමතරව සහෝ කියන මේ දැවැන්ත සිනමාපටය හැඩ කරන්න මෙන්න මේ කට්ටියත් විවිධ චරිතවලට පණ පොවනවා. නීල් නිති මුකේෂ්, වෙන්නෙලා කිශෝර්, මුරලි ශර්මා, අරුන් විජෙයි, ප‍්‍රකාෂ් බෙලවාදී, එව්ලින් ශර්මා, සුප‍්‍රීත්, චුන්කි පාන්ඩේ, ලාල්, මන්දිරා බෙඩී, මහේෂ් මංජේර්කර්, ටින්නු ආනන්ද්, ශාෂා චෙට්‍රි, ගිරිෂ් ගාර්ලඩින්නේ, කුමාර් රාජා වෙනතී, නවීන් වර්මා ගන්පතිරාජු, අදිත්‍ය ශ‍්‍රිවාස්තව් සහ ශිවක‍්‍රිෂ්ණා ඒ අතරින් පිරිසක්. 

ප‍්‍රභාස් රංගනයෙන් හැඩ කළ බාහුබලී 02 සිනමාපටය 2017 අ‍ප්‍රේල් 27 වැනිදා තිරගත වුණු අතර සහෝ සිනමාපටයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කළේ මේ කාලයේදීමයි. සහෝ සිනමාපටයේ තියෙන සුන්දර මන බඳින ගීත සප්ත ස්ව‍රයෙන් හැඩ කරලා තියෙන්නේ ශන්කර් - ඒශාන් - ලෝයි කියන සංගීතවේදී ත‍්‍රිත්වයයි. ශ්‍රී මානී තෙළිඟු බසිනුත් මාධන් කර්කි දමිළ බසිනුත් ජාවෙද් අඛ්තර් හින්දී බසිනුත් ගී පද රචනා කරලා තියෙන බවත් කියන්නම ඕන. මේ සිනමාපටයේ ගීතයකට ධ්වානී භනුෂාලීගේ හඬ මුසු කරලා තියෙන අතර ගීතය තනිෂ් බාග්චී විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන බවත් සඳහන් වෙනවා.

 

► Translation — Chandana Waravitage