2019 ජුලි 06 වන සෙනසුරාදා

වචනයක්වත් කතා කරගන්න මට හයියක් තිබුණෙ නෑ....

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 594

කාවින්ද්‍යා.... දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී ඔබට සම්මානයක් ලැබුණා. මුලින්ම දේශය හදසර සුභපැතුම්.
අනේ බොහොම ස්තූතියි

ඝරසරප චිත්‍රපටයට දායක වෙලා ලැබුණු ප්‍රතිචාරත් එක්ක මෙවැනි සම්මානයක් ලැබේවි කියලා කාවින්ද්‍යා හිතුවද?
අනේ නැහැ. කවදාවත්ම එහෙම සම්මානයක් ලැබෙයි කියලා හිතුවෙනම් නැහැ. මම රංගනයට ප්‍රවිශ්ඨ වුණේ ඝරසරප චිත්‍රපටයෙන්මයි. ඉතින් රංගනය ගැන මට කිසිදු දැනුමක් නැතිව තමයි මම රංගනයට එකතු වුණේ. එවැනි රංගන දැනුමක් නැති මොහොතක ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් මට රංගනයට දායක වෙන්න කියපු එකම මගේ ජීවිතේ මම ලබපු විශාල ජයග්‍රහණයක්. ඉතින් කවදාවත් හිතපු නැති සම්මානයක් තමයි මට මේ ලැබුණේ.

සම්මාන උළෙලට අම්මයි, මල්ලියි එක්ක සහභාගී වෙද්දි සම්මානයකට නිර්දේශ වෙලා තියෙනවා කියලවත් දැනගෙන හිටියෙ නැද්ද?
නිර්දේශ වෙලා කියලනම් ආරංචියක් ආවා. ජනප්‍රිය අංශයෙන් කියලා විතරයි ආරංචිය ආවේ. ඒ වුණාට Upcoming Actress අංශයෙන් සම්මානයක් ලැබෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නැහැ. නැගී එන සහය නිළිය සම්මානය ඇත්තටම මට හීනයක් වගෙයි.

වේදිකාවට ගිය මොහොතේදී කාවින්ද්‍යා හිටියේ ලොකු සතුටකින් වගේම තිගැස්මකින්. එහෙම නේද?
ඔව්. ඇත්තටම මට ඒ වෙලාවෙදි ගොඩක් දෙනකුට ස්තූති කරන්න ඕනකම තිබුණා. මේ සම්මානය පිටිපස්සේ මට බොහෝදෙනා හයියක් වෙලා හිටියා. ඝරසරප අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා ඇතුළු මුළු කණ්ඩායම, චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු හැම කලාකරුවෙක්ම, කලාකාරිණියක්ම මේ චරිතය සාර්ථකව කරගෙන යන්න මට උදව් කළා. ඒ නිසා ඒ සම්මානය ගන්න වේදිකාවට ගොඩවැදෙද්දී මගේ මුළු ඇඟම වෙව්ලන්න ගත්තා. මට වචනයක්වත් කතා කරගන්න හයියක් තිබුණේ නැහැ. ඒ නිසා සම්මානය ගත්ත ගමන් හැරිලා මම ආයෙත් ඉඳගන්න තැනට ආවා. ඒ ගැන මට සමාවෙන්න.

ලැබුණු සම්මානයට මුලින්ම සුභපැතුවේ කවුද?
මුලින්ම මගේ සම්මානයට සුපුරුදු පරිදි සුභ පැතුවේ මගේ අම්මයි, මල්ලියි. සම්මානය අරගෙන මම හිටපු තැනට ඇවිත් වාඩිවුණ ගමන් ඒ සුභපැතුම මට ලැබුණා. ඇත්තටම ඒ වෙලාවේ ගොඩක් අය මට සුභ පැතුවා. ඒ අයගේ මූණක්වත් මට මතක නැති වෙන තරමට මම ගොඩක් හිත කලබල වෙලයි හිටියේ.

එකම වේදිකාවේ අම්මයි, දුවයි දෙන්නම සම්මාන දිනාගත්තා?
ඔව්. ඇත්තටම ඒ ගැන මටයි, අම්මටයි හරි සතුටුයි. මගේ චරිතයට ගීත ගායනා කළේ මගේ අම්මා. මට සම්මානයක් ලැබුණට පස්සේ තමයි අම්මට සම්මානය ලැබුණේ. ඉතින් මගේ සතුට දෙගුණ තෙගුණ වුණා. ඒ වෙලාවේ මගේ අතේ එක සම්මානයක්, අම්මගේ අතේ තව සම්මානයක්. අම්මවත්, මමවත් කිසිම දේකදී සම්මානයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපි දායක වෙන වැඩෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වුණාට අපි දෙන්නට එකම වේදිකාවක මගේ ප්‍රථම චිත්‍රපටයෙන්ම ඒ දේ ලැබීම ගැන ගොඩක් සතුටුයි. අපි දෙන්නම ගොඩක් වාසනාවන්තයි කියලා මම හිතනවා. ඒවගේ සතුටක් අපිට ලබලා දුන්න ජයන්ත චන්ද්‍රසිරි මහතාට ගොඩස් ස්තූති කරන්න ඕන.

ඝරසරප චිත්‍රපටයෙන් පසුව කාවින්ද්‍යාව සක්කාරං වැනි අපූරු ටෙලි නාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. තවත් ලැබුණු නිර්මාණ මොනවද?
ඝරසරප චිත්‍රපටයට කලින් මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මට ඒවට යන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඝරසරප චිත්‍රපටය නැරඹුවාට පසුවත් මට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ වුණාට මට එහෙම රඟපාන්න ලොකු ආසාවක් තිබුණේ නැහැ. හැබැයි සක්කාරං ටෙලි නාට්‍යයත් ඝරසරප චිත්‍රපටයේ වගේම වෙනස් චරිතයක් නිසා මම ඒක බාරගත්තා. ඒක මගේ පළවෙනි ටෙලි නාට්‍යය. මේ වෙනකොට පුදුම විදිහේ හොඳ ප්‍රතිචාර ඒ චරිතයට ලැබෙනවා. ඒ නිසා ගොඩක් සතුටින් තමයි ඉන්නේ.

මේ වෙනකොට කාවින්ද්‍යා ආදරණීය ආදරවන්තියක් නේද?
නැහැ. මේ වෙනවිටනම් පෙම්වතියක් නෙවෙයි. පෙම්වතියක් නොවන නිසාමද මන්දා මම මේ දවස්වල පුදුම නිදහසේ ජීවත් වෙනවා. මගේ අම්මගෙන් මල්ලිගෙන් ලැබෙන අසීමිත ආදරය දැනට මට හොඳටෝම ඇති. මම හිත නිදහසේ කටයුතු කරන්න හරි ආසයි. ඒ නිසා ළඟදි පෙම්වතියක් වෙන්නනම් බලාපොරොත්තුවක් නැහැ.

අම්මයි, කාවිනද්‍යයි එකම දවසේ එකම වේදිකාවේ සම්මානය ලබද්දි ඒ සතුට උපරිමයෙන්ම වින්ද කෙනෙක් තමයි කවීගේ මල්ලි?
ඔව්. මම  හිතන්නේ එදා දවසේ මගේ මල්ලිට තරම් සතුටක් මේ ලෝකෙ කාටවත් එදා දැනෙන්න නැතිව ඇති. මම සම්මානය අරගෙන ආපු වෙලාවේ ඉඳන් මල්ලි මගේ අත පුදුමාකාර හයියකින් අල්ලගෙන හිටියා. එයාට ඒ තරම්ම සතුටුයි. සතුටේදී වගේම හැම දුකකදීම මල්ලිගේ ඒ හයිය මටයි අම්මටයි තියෙනවා. මල්ලිට එදා පුදුම සතුටුයි. ඒක මට වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ.

මේ දවස්වල කාවින්ද්‍යා මොකද කරන්නේ?
මේ දවස්වල අම්මිගේ හොරණ එරන්දතී ලලිතකලා ආයතනයේ වැඩකටයුතු බාර අරගෙන කරගෙන යනවා. අම්මිගේ අම්මා තමයි ඒක කරන්නේ. ටිකක් අසනීප තත්ත්වයන් නිසා ඇය වෙනුවෙන් මම බාරඅරගෙන මේ දවස්වල ඒ ටික කරනවා. සක්කාරං ටෙලි නාට්‍යයේ රූගතකිරීම් තව ටික දවසකින් අවසන් වෙනවා. ඊටපස්සේ පොඩි විවේකයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

► Text - Dishani  /  Pic -  Internet