2019 ජුනි 15 වන සෙනසුරාදා

සත්ත්ව ලෝකයේ වෛරක්කාරයෝ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 1972

මිනිස්සු එකිනෙකා අතර තියෙන කෝන්තර කොයිතරම්ද කියනවානම් ඒවා පරම්පරාවෙන් පරම්පරාවටත් අරගෙන යනවා. වැටේ මායිමට ඇතිවෙන රණ්ඩුවක් පවා අන්තිමට පරම්පරා ගාණක් නඩු කියන තත්ත්වෙට පත්වෙන්නේ ඒකයි. හැබැයි මේ විදිහේ කෝන්තර සත්ත්ව ලෝකෙට හොඳටෝම අදාළයි. එයාලා ළඟත් පරම්පරාවෙන් පරම්පරාවට උරුමවෙන කෝන්තර එදිරිවාදිකම් තියෙනවා. ඉතින් සත්ත්ව ලෝකෙ ඉන්න වෛරක්කාරයෝ කවුද කියලා හොයලා බලන්නයි මේ සූදානම. 

සිංහයන් සහ හයිනාවුන් 

ලයන් කින්ග් චිත්‍රපටය බැලූ හැමෝටම මතක දෙයක් තමයි සිංහයන්ට හිටි පරම සතුරා හයිනාවෝ කියන දේ. පුංචි සිම්බාට හයිනාවනු දුන්නු වදය ගැනත් මතක ඇති. ඉතින් ඒ කාටුන් චිත්‍රපටයට පාදකවෙලා තිබුණෙ ඇත්ත කාරණයක්. ඒ කියන්නේ සිංහයනුයි හයිනාවනුයි ජන්මාන්තර වෛරකාරයෝ. දැනගන්න තියෙන විදිහට සිංහයෝ සහ හයිනාවෝ කියන්නේ එකම වාසභූමියක ජීවත්වෙන එකම ආකාරයේ ගොදුරු දඩයම් කරන දෙපිරිසක්. ඉතින් එකම ගොදුරක් වෙත ඇදෙද්දී මේ විදිහේ හතුරුකමක් ඇතිවෙන එකත් යම් විදිහකින් ස්වභාවිකයි. 

කූඹි සහ වේයෝ 

අපි අහලා දැකලා තියෙන විදිහට කූඹියාත් වේයාත් කියන සතුන් දෙදෙනාම ඉතාම ධෛර්යවන්ත සතුන් දෙදෙනෙක්. හැබැයි මේ සත්තු දෙන්නා අතර ගොඩක් වෙලාවට යුද්ධ ඇතිවෙනවා කිව්වොත් සමහරවිට ඔබ පුදුම වේවි. සාමාන්‍යයෙන් වේයා සහ කූඹියා අතර තනි තනිව ලොකු ආරවුලක් නැතිවුණත් වේයා වෙහෙස මහන්සියෙන් හදන වේගුල එහෙමත් නැත්නම් හුඹස අයිති කරගන්න කූඹියෝ සටනට එන බව ඔබ අහලා තියෙනවාද? ඔව් ඇත්ත ඒකයි. වේයාගේ වේගුල වෙත කූඹි එන්නේ ඒවා ඉතාම ආරක්ෂිත, කෑම බීම පිරුණු තැනක් නිසායි. දස දහස් ගණනින් එන කූඹි හමුදාව ඉස්සරහ පරාජය බාරගෙන පසුබසිනවා හැර කරන්න දෙයක් ගොඩක් වෙලාවට වේයන්ට ඉතිරි වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට වේගුලේ තැනින් තැන අවහිර කරමින් කූඹින්ගේ පැමිණීම වළක්වන්නනම් ඔවුන් උත්සාහ ගන්නවා. 

නයයි මුගටියයි

තව වෛරකාරයෝ දෙන්නෙකුට අපි සාමාන්‍ය කතාබහේදීත් නයයි මුගටියයි කියලා කියනවා. නයයි මුගටියයි අතර ආරවුල මොකක් නිසා ඇතිවුණාද කියලානම් කියන්න කවුරුත් දන්නෙ නෑ. හැබැයි නයි මුගටි සටනකදී බොහෝ වෙලාවට දිනන්නේ මුගටියා. නයා කොයිතරම් විසකුරු වුණත් ඒ විස මර්දනය කරන ප්‍රතිවිසක් මුගටියාගේ ඇඟ ඇතුළෙ තියෙනවා. ඒ නිසා තමන් යන එන අතරමඟකදී නයෙක් දැක්කොත් ආරෝවක් දාන්න මුගටියා දෙපාරක් හිතන්නේ නෑ. 

අලි සහ රයිනෝසිරස් 

අප්‍රිකානු අලි සහ රයිනෝසිරස් කියන්නේ එකම වාසභූමියක ජීවත්වෙන සතුත් වර්ග දෙකක්. එයාලට සටන් කරන්න ලොකු හේතුවක් නොතිබුණත් අලින්ට මඳ කිපෙන කාලෙ කියන්නේ රයිනෝලට හරිම අපල කාලයක්. යන එන මඟකදී රයිනෝ කෙනෙක් දැක්කොත් දළවලින් ඇනලා පාගලා මරන එක අලින්ට කජු කනවා වගේ වැඩක්. ඒ නිසා රයිනෝලා කොයි වෙලාවෙත් අලි එක්ක අතේ දුරින් ඉන්න වගබලා ගන්නවා. 

hubpages.com ඇසුරෙනි. 

 

► Text - Suranga   /   Pic -  Internet