2019 ජුනි 15 වන සෙනසුරාදා

අද නළු නිළියන් කම්කරුවන් වෙලා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වෙනි සංවත්සරය මේ මස ජූනි 20 වැනිදා සවස 3.30ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. අගාධයට යමින් තිබෙන ටෙලි සිනමා කර්මාන්තය නගාසිටුවීම පරමාර්ථ කරගත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සරය පිළිබඳ සහ එහි කාර්ය පිළිබඳ එහි සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන හදසර සමඟ කළ කතාබහේ සටහනයි මේ.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය නිර්මාණය වෙන්නේ කොහොමද?
1993 දී ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ මහතා එවකට රූපවාහිනී සංස්ථාවේ විකාශය කරමින් තිබූ අවසඳ සහ මහමෙර පාමුල කියන ටෙලිනාට්‍ය හිටිහැටියේම නවතා දමනවා. ඒ වාරණය කිරීමත් සමග තිස්ස අබේසේකර මහතාගේ මූලිකත්වයෙන් ටෙලි නිර්මාණවේදීන්ගේ සහ පේ‍්‍රක්ෂකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මේ සංසදය ආරම්භ කරලා තියෙනවා.

එදා සිට අද දක්වා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පුරා අවුරුදු 25ක් සක‍්‍රියව ගමන් කරලා තියෙනවා. නිර්මාණ ක්ෂේත‍්‍රයේ කටයුතු සඳහා මේ කර්මාන්තය රැකගැනීම සඳහා අපේ සංසදය කටයුතු කරලා තියෙනවා. ටෙලි නිර්මාණ ක්ෂේත‍්‍රයේ තිර රචකයන්, අධ්‍යක්ෂවරු, නළු නිළියන්, කැමරා අධ්‍යක්ෂකවරු සියලුම දෙනා මෙහි සාමාජිකත්වය දරනවා.

මුල් යුගයේ ඉතාමත් ගුණාත්මකතාවයෙන් තිබුණා. ටෙලි නාට්‍යය කලාව අද අපායට යමින් තිබෙනවා. මේවට වගකිවයුත්තන් කවුද?
ඔව්. ඒ සියල්ලම වුණේ පෞද්ගලික නාලිකා බිහිවීමත් සමග. තව දෙයක් තමයි විදේශීය ටෙලි නාට්‍ය ගෙන්නලා දෙබස් කවලා පෙන්නන එක. ඒකෙන් අපේ නළු නිළියන්ට මරු පහරක් වැදුණා. ඒක නිරවුල් කරගැනීමට අපි සංසදය ලොකු සටනක් කළා. ඒකේ ප‍්‍රතිඵලයක් විදිහට 2006 අය වැයෙන් විදේශීය ටෙලි නාට්‍යවලට බදු පැනවීමක් කළේ. ඒ බදු මුදල්වලින් හැදුවා රන්මිණිතැන්න ටෙලි ගම්මානය. එහි නඩත්තුව සඳහා විදේශීය ටෙලි නාට්‍යවලින් ලැබෙන බදු මුදල් වෙනම ගිණුමක තැන්පත් කරනවා. බිලියන ගාණක් වූ ඒ මුදල අද මහාභාණ්ඩාගාරයට පවරාගෙන තියෙනවා. ඒ නිසා රන්මිණිතැන්න ප‍්‍රවර්ධන කටයුතුවලට වෙන්වුණු මුදල දැන් අපට අහිමිවෙලා තියෙනවා. රන්මිණිතැන්න පෙර පරිදි නිර්මාණ කටයුතු කිරීමට බැරි තත්ත්වයකට අද තියෙනවා.

අක්කර 230 ආසන්න භූමි ප‍්‍රමාණයක තියෙන රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයක් අපේ රටට අවශ්‍යයද?
ඒ ප‍්‍රශ්නය එදත් තිබුණා. ඒක අදටත් අපට තියෙන ප‍්‍රශ්නයක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. මම දකින්නේ ලංකාව සුන්දර දර්ශන තලයක්. අපිට ටෙලි සිනමා ගම්මාන අවශ්‍ය නැහැ. ඒ දර්ශන තලයන් අපේ රටේ ස්වභාවයෙන් නිර්මාණයවෙලා තියෙනවා. රන්මිණිතැන්නට වඩා විවිධ දිස්ත‍්‍රික්කවල ලොජ් හැදුවනම් ඒ පළාත්වලට ගිහින් අඩු වියදමින් නිර්මාණ කරගැනීම පහසුයි. අද රන්මිණිතැන්න වගේ තැනක නතරවෙලා නිර්මාණයක් කරන්න ලොකු මුදලක් වැය වෙනවා. ඒ මුදල වැයකළත් රාජ්‍ය නාලිකාවල ඒ නාට්‍යවලට ප‍්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැහැ. ඇත්තම කියනවනම් අද නළු නිළියන් වැඩ කරන්නේ දෛනික වැටුපකින්. ඔවුන් කම්කරුවන් බවට පත්වෙලා තියෙනවා. වර්තමාන ටෙලිනාට්‍ය කලාව ඉතාම ඛේදනීය තත්ත්වයක තියෙන්නේ. අපේ සංසදය ලොකු සටනක් කරනවා. ටෙලි නිර්මාණ කර්මාන්තය ගොඩනංවන්න.

 

 ► Pic – Sumudu