2019 ජුනි 08 වන සෙනසුරාදා

හඳ මාමාගෙන් පටන් ගත්ත ගමන මම නවත්වන්නෙ නැහැ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

- අසංක ධනංජය ලියනආරච්චි

අසංක මුලින්ම ඔයා ගැන විස්තර ටිකක් කියමුද..?
මම අසංක ධනංජය ලියනආරච්චි. මගේ ගම බුලත්සිංහල.. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මගේ අම්මා සංගීත ගුරුවරියක් විදිහට සේවය කළා. තාත්තා සේවය කළේ මහවැලියේ. ඒ නිසාම මගේ පුංචි මකාලේ ගෙවුණේ මහියංගනයේ.
 
මහියංගනයේ ගෙවුණ ළමා කාලය ගැන මතක් කළොත්..?
ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. අපි හිටියේ මහවැලියේ නිල නිවාසවල. ඉතින් මහවැලියේ සේවය කරපු අයගේ නිල නිවාස එකපෙළට තිබුණා. අපේ ගේ ඉස්සරහින් ගඟ ගැලුවා.. එක පැත්තකින් අපේ පාසලත්, ගමේ පන්සලත් තිබුණා. මම ළමා කාලය වැඩිපුරම ගෙව්වේ ඒ ගහකොළත් එක්කයි. ඕනෑතරම් පළතුරු අපිට ඒ ගස් ලබලා දුන්නා. පුංචිකමට ගහ යට වැටුණු පළතුරු අපි හරිම ආසාවෙන් කෑවා. සමහර දවස්වලට අපි හිටියේ ගස් උඩයි. තිරිඟු කාලෙට අපි තිරිඟු වැව්වා. හවසට ගමේ හැම යාළුවෙක්ම ගඟට ගිහින් ඇතිතරම් වතුර එක්ක සෙල්ලම් කරලා තමයි ගෙදර ගියේ.
 
අසංක ඉගෙන ගත්තේ මොන පාසලේද..?
මම පාසල් තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම ඉගෙනගත්තේ මහියංගනය උල්හිටිය මධ්‍ය මහ විද්‍යාලයේයි. ඒ කාලෙදී ඒ පාසලේ සංගීත ගුරුවරිය වුණේත් අපේ අම්මා. පොසොන් කාලේම ඉස්කෝලේ අයියලා අක්කලා අපේ ගෙදර ඇවිත් අම්මාත් එක්ක භක්ති ගීත පුරුදු පුහුණු වුණා... ඇත්තටම ඒක වෙනමම අපූරැ අත්දැකීමක්. ඊට පස්සේ අපි ගමේ පදිංචියට ආවට පස්සේ අම්මලා මාව ශ්‍රීපාලි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළා. ඒ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනය ලැබුවා.
 
අසංක සංගීතයට නැඹුරු වෙන්න ප්‍රධානම හේතුව වුණේ ගෙදරින් ලැබුණු පන්නරය නේද..?
ඔව්... ඇත්තටම අම්මා සංගීත ගුරැවරියක් නිසා මටත් පුංචි කාලේ ඉඳන්ම ඒ ආභාෂය ලැබුණා. ඊට පස්සේ පාසලෙන් මාව තරග රාශියකට ඉදිරිපත් කළා. සමස්ත ලංකා පාසල් ගායනා තරගවලින් ජයග්‍රහණ පවා මට ලැබුණා.. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ඒ අතරේ මම විශාරද සහ සංගීත් නිපුන් විභාගවලට මුහුණ දුන්නා.
 
ටෙලිනාට්‍ය තේමා ගීත ගායනයටත් අසංකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. ඇත්තටම ඒක මගේ ජීවිතේ ලැබුණු ලොකුම භාග්‍යයක්. 2015 වසරේ දී ටෙලි සම්මාන උ‍ෙළලකදී හොඳම ගායකයා ලෙසින් ජයග්‍රහණ ලබාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ ජැක්සන් ඇන්තනී මහතාගේ “දස්කොන් ටෙලිනාට්‍යයේ තේමාගීතය ගායනා කිරීම වෙනුවෙනුයි. එම ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා සර්.. ඒ සර් යටතේ මම කට හඬ පුහුණුව ලබලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ පැවැත්වූ “කවීතා ගී තරගාවලියේදී හොඳම නිර්මාණශීලී ගායනයට මට සම්මානය හිමිවුණා.. ඒ අවස්ථාවේ ජැක්සන් ඇන්තනී සර් තමයි ඒ තරගාවලියේ අවසන් වටයේ නිවේදන කටයුතු කළේ. 
 
 
“දස්කොන් ටෙලිනාට්‍යයට අමතරව ටෙලිනාට්‍යය තේමාගීත ගැයීමටත් අසංකට අවස්ථාව ලැබුණේ නැද්ද..?
“දස්කොන් ටෙලිනාට්‍යයට පසුව මට ස්වාධීන රුපවාහිනි සේවයේ විකාශනය වුණු “තීර්ථතරණය ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගැයීමටත් අවස්ථාව ලැබුණා. ඊට අමතරව මගේම ගීත කිහිපයක්ම මම ගායනා කරනවා. සුනිල් ආරියරත්න සර් ලියූ, රෝහණ වීරසිංහ සර් සංගීතවත් කළ “නොහඬන්න මෙතරම්* ගීතයත්, රත්න ශ්‍රී සර් ලියූ එච්.එම්. ජයවර්ධන සර් සංගීතවත් කළ “ඉඳුවර මල් ගීතයත් මම ගායනා කරනවා.
 
මේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්මා අද වෙනකොට ජීවතුන් අතර නැහැ.. අම්මා තමයි මාව සංගීතයට යොමු කළේ. පොඩි කාලේදීම මාව ගුවන් විදුලි සංස්ථාවට එක්කගෙන ගිහින් “හඳ මාමා වැඩසටහනට මාව ඉදිරිපත් කළේ මගේ අම්මයි. මගේ මුල්ම ගීතය “රුක්මල් සුවඳ දිගේ ගීතයයි. ඒක දැනටමත් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. ඒ ගීතය ඔස්සේ ගුවන් විදුලියේ ළමා පිටියෙත් ගීත ගැයීමට මට අවස්ථාව ලැබුණා.
 
අසංක විවාහකයි... කොහොමද ජීවිතේ...?
ඔව්... මම විවාහකයි. ඒ උමෝධා උදාරි එක්කයි. අපි විවාහ වුණේ 2017 අවුරැද්දේ.. උමෝධාට මාව මුණගැහෙන්නේ තක්ෂිලාවෙන්මයි. අපි දෙන්නා එකම පාසලේ තමයි ඉගෙන ගත්තේ. එයා දැන් ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.
 
ඉදිරියේදී අසංකගේ තියෙන බලාපොරොත්තු මොනවාද..?
මම දැනට මොරටුව තාක්ෂණික ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඒ නිසා උසස් අධ්‍යාපනය ලබමින් ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. 
 
► Text - Dishani / Pic – Channa kassapa