2019 ජුනි 01 වන සෙනසුරාදා

ඒ සින්දුව අහද්දී මට අමුතුම හැඟීමක් එනවා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 222

Art එකේ කැරට්ටුව..

- හඬ: දිනක්ෂි ප්‍රියසාද්

ප්‍රියසාද් පවුලේ වැඩිමලී වුණත් ප්‍රියසාද් පවුලේ පුංචිම රුවැත්තිය ඇය කියලයි බැලූ බැල්මට නම් හිතෙන්නේ. ඒ දිනක්ෂිගේ නගාලා දෙන්නම දිනක්ෂිට වඩා ලොකුයි කියලා හිතෙන හින්දා.
ඒ පුංචි අක්කණ්ඩියට තමයි මේ පාර අපේ හඬ වෙන්වුණේ. අහසේ නොරුඳී... පොළොවේ දිලිසෙන ඒ පුංචි තරුව දිනක්ෂි ප්‍රියසාද්.... 

චිත්‍රපට, ටෙලිනාට්‍ය, දැන්වීම් කලාව, නිවේදනයට ඈ නැතුවම බැරි චරිතයක් වුණාට... දිනක්ෂි විශේෂයෙන් නම් දරා තිබෙන්නෙ රංගන ශිල්පිනියක් විදියට... දිනක්ෂි කියන්නෙ කා එක්කත් සුහදශීලී ආදරණීය කෙනෙක්...

දිනක්ෂි... ඔයාගේ ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද?
රටේ ඇති වුණු වතාවරණයත් එක්ක.. යොදාගෙන තිබුණු වැඩ කිහිපයක් අවලංගු වුණා... ඒ නිසා පහුගිය දවස් කිහිපයේ ගෙදරට වෙලා ඉන්න අවස්ථාවක් ලැබුණා.. මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයකම වැඩ බාරගත්තා.... ඒවායින් කීපයකම වැඩත් පටන් ගත්තා.. තව මම රංගනයෙන් දායක වන නිරාෂා ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශනය වෙනවා.. හුස්ම වැටෙන මල්  අලුත් ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා... ඕවා තමයි ඉතින්... 
ඒ තමයි මේ දවස්වල දිනක්ෂිගේ ජීවිතය. අපි  එහෙනම් මාතෘකාවට බහිමු නේද...

දිනක්ෂිගේ කලා නිර්මාණ අපි දන්නවනේ... ඔයා රඟපාපුවත් අපි ඕන තරම් දැකලා තියෙනවා... ඒවා පැත්තකින් තියලා ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණු එකක් ගැන ටිකක් කතා කරමුද..? 
දිනක්ෂි මොහොතකට කල්පනා ලෝකයේ...  

මගේ ජීවිත කාලෙට මට දැනුණු, මාව සංවේදී කරපු, මම රසවිඳපු නිර්මාණ ගොඩක් මුණගැහිලා තියෙනවා... ඒ නිර්මාණ අතරින් එකක් තෝරගන්නවා කියන එක හරිම අසීරු වැඩක්.. කොහොම වුණත් මම ගොඩක් ආදරය කරන සිංහල චිත්‍රපට අතරින් එකක් තෝරගන්න මම හිතුවා... මීට දශක කිහිපයකට පෙර 1966 ගාමිණී ෆොන්සේකා  නිෂ්පාදනය කරපු පී.කේ.ඩී. සෙනෙවිරත්න තිර රචනය කරපු පරසතු මල් කියන විශිෂ්ඨ නිර්මාණය අද මම තෝරගන්නවා.. පරසතු මල් කියන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා අධ්‍යක්ෂණය කරපු පළමු නිර්මාණය. 1967 වසරේ සරසවි සම්මාන උළෙලේ හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම ගායිකාව වගේ සම්මාන කිහිපයක්ම මේ චිත්‍රපටය හිමිවුණා.. තව ඒ වසරේ හොඳම චිත්‍රපටය පහ අතරටත් මේ සිනමා කෘතිය නිර්දේශ වුණා.. මම ආසම කරන නිර්මාණ අතරින් එකක් තමයි පරසතුමල් කියන්නෙ.. 

අපේ රටේ වර්තමානයේ හොඳ නිර්මාණ බොහෝමයක් බිහිවෙනවා.. ඒවා නැතිව   ඇයි මේ  1966 නිර්මාණය වුණු පරසතු මලටම දිනක්ෂිගේ හිත ගියේ...?
සිනමා නිර්මාණ කිහිපයක්ම පහුගිය කාලේ මම බැලුවා... ඒ සියල්ලත් ගොඩක් හොඳ නිර්මාණ... පරසතුමල් මට දැනෙන්න හේතු කිහිපයක් තියෙනවා. මම ගොඩාක් ආදරය කරන රංගන ශිල්පියෙක් තමයි ගාමිණී ෆොන්සේකා මහත්මයා ඔහු වාණිජ සිනමාව සහ කලාත්මක සිනමාව කියන ධාරා දෙකම නියෝජනය කරපු කෙනෙක්... ඔහුගේ වෙනස්ම රංගනයක් තමයි මම පරසතු මල්වලින් දැක්කේ... මට දැනෙන විදියට.. සහ මම අහලා තියෙන දේවල් එක්ක එයාගේ සැබෑ ජීවිතයටත් ඒ චරිතයේ යම් යම් හැඩහුරුකම් සමානකම් තියෙනවා කියලා මට හිතෙනවා. ඒක එකක්.... අනිත් කාරණාව තමයි මේ චිත්‍රපටයේ කතාව..  ඒ කතා තේමාවට මම ගොඩක් ආසයි..  තිර රචනයක තියෙන්න ඕන සියලු ගුණාංග පී.කේ.ඩී. සෙනෙවිරත්නගේ කතා ශෛලිය තුළ සමබරවෙලා තියෙනවා කියලා මට දැනුණා.. තව කාරණයක් තමයි මේ චිත්‍රපටය ඇතුළේ චරිත ගොඩාක් තියෙනවා... ඒ හැම චරිතයකින්ම සමාජයේ යම් යම් පුද්ගලයන් නියෝජනය වෙනවා.. ඒ හැම චරිතයක්ම අපිට ගොඩක් ළඟ චරිත. ඒක නිසා තමයි මේ චිත්‍රපටයක් ගොඩක්ම මට දැනෙන්නේ...

මේ චිත්‍රපටයේ කතා නායකයා... ගාමිණී ෆොන්සේකා... එයා පණපොවන්නේ බොනී මහත්තයා කියන වංසක්කාර චරිතයට... බොනී මහත්තයා වටා තමයි මුළු සිනමා පටයම ගොනුවෙලා තියෙන්නේ... ඔහු මුරණ්ඩු සෙල්ලක්කාර චරිතයක්... කාන්තා ඇසුරට ලොල් වෙච්ච පුද්ගලයෙක්... බොනී මහත්තයාගේ ජීවිතයට සමීප විශ්වාසවන්ත යාළුවෙක් ඉන්නවා... බොනී කරන හැම වැඩකටම ඔහුගෙන් සහයෝගය ලැබෙනවා... පරම්පරාවෙන් ලැබුණු බලය පාවිච්චි කරමින්, බරක්පතලක් නැතිව ගතකරන ජීවිතේ යම් තැනක ඔහුගේ හදවතට ආදරය කියන හැඟීම දැනෙන්න ගන්නවා... නමුත් ඔහුට ඒ ආදරය විඳින්න බැරිවෙනවා... දැඩි කලකිරීමකින් විඳවන බොනී ජීවිත කතාව තමයි චිත්‍රපටයක් ලෙස දිග හැරෙන්නෙ...

මේ කෘතිය දිනක්ෂිට මෙච්චරම දැනෙන්නේ... ඔබේ ජීවිත අත්දැකීමකට මේ කතාව සමීපයි කියලා මට හිතෙනවා? මම හරිද?
මෙහෙමයි මේ සිනමා කෘතියේ තියෙන මුළු කතාව මගේ ජීවිතයට සමීප නෑ... නමුත් මේ කතාවේ යම් යම් තැන් මට ගොඩක් සමීපයි. ඇතැම් සිද්ධි අපේ ජීවිතවල සිද්ධවෙලා තියෙනවා. ඒකත් හේතුවක් වෙන්න ඇති මගේ ජීවිතයට මේ නිර්මාණය සමීප වෙන්න.. 

පරසතුමල්වල ඔයාට වැඩියෙන්ම දැනුණු විශේෂ චරිතයක් ඉන්න ඇති නේද ?
මෙහෙමයි.. මේ චිත්‍රපටයේ චරිත ගොඩාක් තියෙනවා... ප්‍රධාන චරිතය කරන ගාමිණී ෆොන්සේකා මහත්මයගේ චරිතයට මම කැමතියි... ඒත් ටෝනී රණසිංහ රඟපාන සිරිසේනගේ චරිතයටත් මම ගෝඩාක් ඇලුම්කරනවා.. පුණ්‍යා හීන්දෙණිය, අනුලා කරුණාතිලක, ජෝ අබේවික්‍රම, බන්දු ගුණසේකර වැනි විශිෂ්ඨ රංගන ශිල්පීන්ගේ දක්ෂතා ගැනත් කියන්නම ඕනෙ... ඔවුන් ඒ  ඒ චරිතවල ගැඹුරටම කාවැදිලා රංගනයේ යෙදෙනවා.. කොයිම වෙලාවකවත් අපිට හිතෙන්නෙ නෑ ඒවගේ රඟපෑම් කියලා... ඒ තරමට තාත්ත්විකයි.   මගේ ජීවිතේ  සුවිශේෂි අවස්ථාවක් තමයි මට සරසවි සම්මානය ලැබුණු එක. ඒ සම්මානය  මම ඇලුම්කරන පුණ්‍යා හීන්දෙණිය කියන ප්‍රවීණ නිළිය අතින්ම ලැබුණු එක මට ලොකු භාග්‍යක්. ඒ නිසා ඒ සම්මානයේ වටිනාකම දෙගුණ තෙගුණ වුණා.

පරසතු මල් නරඹද්දී ඔයා වැඩිපුර සංවේදී වුණු තැනක් දෙකක් මතක් කරමුද? 
මේ නිර්මාණයේ ගොඩක් තැන් සංවේදී හිතට දැනෙන තැන් තමයි... ඒ අතරිනුත් මට ගොඩක් දැනුණා සහ මට මතකයේ තියෙන තැනක් තමයි පරසතුමල්වල සුවඳ අතීතේ කියන ගීතය... ඒ ගීතය වාදනය වෙනකොට යන රූප පෙළටත් මම හරිම ආසයි..  ඒ ගීතය ඇහෙද්දී පවා අමුතුම හැඟීමක් හිතට එනවා.. ඒක වචනවලින් විස්තර කරන්න අමාරුයි... අදටත් මම නිදහසේ ඉන්න වෙලාවට අන්තර්ජාලයෙන් ඒ සින්දුව අහනවා.. 

මේ නිර්මාණය ඔබට මුණගැහෙන්නෙ කොහොමද? කවුද ඔබට මේ නිර්මාණය බලන්න කිව්වේ...?
මුලින්ම මට මේ චිත්‍රපටය දකින්නේ පොඩි කාලේ... තාත්තා මේ චිත්‍රපටය බලද්දී මමත් ඒ එක්කම බැලුවා... ඒ කාලේ මට ලොකු තේරැමක් තිබුණේ නෑ.. ඊටපස්සෙ මම බැලුවේ අවුරුදු 13–14 වෙද්දී... ඊට පස්සෙ මම මේ වෙනකොට හතර පස්පාරක් බලලා තියෙනවා... 

මේ වගේ නිර්මාණයකින් මොනවගේ ඵලයක් සමාජයට ගන්න පුළුවන් කියලද දිනක්ෂිට හිතෙන්නේ....?
සාමාන්‍යයෙන් අපි ලෞකික දේවල්වලට ගොඩක් ආකර්ෂණය වෙනවා... නමුත් ජීවිතයේ යථාර්ථය තේරැම් ගන්න මේ චිත්‍රපටය බලලා පුළුවන් වෙනවා.. ජීවිතය කියන්නෙ මොකකක්ද කියලා හිතන්න ඉඩහසර හදපු නිර්මාණයක් කිව්වොත් මම වැරදි නෑ කියලා හිතෙනවා... ලෝකයේ හොඳම විතරක් කරන සුදු චරිත නෑ... මේ ලෝකයේ නරක විතරක් තියෙන කළු චරිතත් නෑ. අපි හැමෝගෙම හොඳ සහ නරක දෙකම තියෙනවා... නමුත් අපිට යම් යම් දේවල් ජීවිතයට එකතුවෙද්දී ඒ දේවල්වලින් උද්දච්ච වෙන්න හොඳ නෑ... අපි නිහතමානී වෙන්න ඕනෙ... නිහතමානී වුණේ නැත්නම් ජීවිතේ මොන මොන ලොකුකම් කළත් එක තැනක් ජීවිතේ වරදිනවා.. ඒතැනදී අපිට අර කරපු දේවල්වලටත් එක්ක විඳවන්න වෙනවා...  සරලවම කිව්වොත් මේ නිර්මාණය ඇතුළේ තියෙන්නේ මානව හැඟීම් එක්ක කරන ගනුදෙනුවක්.. නමුත් වර්තමානයටත් වලංගුයි මේ කතාවේ හරය. 

සිනමා කෘතිය බලලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට දැනුණේ?
ඇත්තටම දුකක් දැනුණා... නමුත් ජීවිත ගැන වෙනස් විදියට බලන්න... ජීවිතය ගැන නැවත වතාවක් හිතන්න ඉඩ ඉතුරුකරපු අවසානයක් තමයි මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉඩහසර සලසන්නේ...
එහෙම තමයි දිනක්ෂි නිහඬ වුණේ...

 

► Text - Danushka Wijesiri   /   Pic –Channa Kassapa