2019 ජුනි 01 වන සෙනසුරාදා

සුගතපාල ද සිල්වා කීවා උඹේ ඔය ලස්සන තියෙන්නේ කළුවේ තමයි කියලා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:31 233

වැල්ලම්පිටියේ ගෙවුණු ගීතා කාන්තිගේ ළමා කාලය ගැන අපි මුලින්ම කතා කරමුද..?
මගේ පවුලේ මම අම්මා තාත්තා ඇතුළුව අපේ පවුලේ හත්දෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා මගේ අයියා. ඊට පස්සේ මට තව මල්ලී කෙ‍ෙනකුයි නංගිලා දෙන්නෙකු ඉන්නවා. අපේ ජීවිතේ කලාව කියන දේ පටන් ගත්තේ අපේ ගෙදරින්මයි. ඒක ඇති වුණේ තේරුමක් ඇතිව නෙමේ. ඒ කාලේ අපේ ගෙදර රූපවාහිනියක් තිබුණේ නැහැ. පුංචි රේඩියෝවක් විතරමයි තිබුණේ. ඒකත් අපි උනන්දුවෙන් ඇහුවේ නැහැ. සින්දු ඇහෙනවාට අපි සින්දු ඇහුවා. හැබැයි අපේ අම්මයි, තාත්තායි ඉස්සර වැල්ලම්පිටිය විලාසිනී සිනමාශාලාවට ආපූ හැම චිත්‍රපටයක්ම රෑ ෂෝ එකට අපිව බලන්න එක්කගෙන ගියා. මට තාම මතකයි අපි පස්දෙනාවම බස් එකේ තමයි අම්මයි, තාත්තයි අපිව චිත්‍රපට බලන්න එක්කගෙන ගියේ. සමහරදාට පයින්ම ගිහින් ෆිල්ම් එක බලලා අපි පයින්ම ගෙදර ආවා.

ගීතාගේ ළමා කාලයේදීත් රංගනයට ආසාවක් තිබුණාද?
ඔව්.. ඔව්.. මට තාම මතකයි ඉස්සර අපි හිටපු අපේ මහගෙදර මිදුල හොඳට ඉඩ තිබුණා. මායි මගේ අයියයි පොල් අතුවලින් එහෙම පොඩිහට් එකක් ගහගෙන ඒකේ ඉඳන් සින්දු කිව්වා. අම්මගේ සාරි පටලවාගෙන තාත්තාගේ සරම් පටලවාගෙන අපි අර ෆිල්ම්වල වගේ රඟපෑවා. එතකොට මගේ බාල නංගී වුණු රත්නා හරිම පොඩියි. ඒ නිසා එයා ඒවාට සහභාගී වුණේ නැහැ. ඒ තරමටම එයා පොඩියි. මට තාම මතකයි මගේ අයියා ගමරාළ වගේ ඇඳගෙන හරි අපූරුවට සින්දු කිව්වා. අපි පස්දෙනාටම හරි ලස්සනට සින්දු ගායනා කරන්න පුළුවන්. අයියා ගමරාළ වගේ ඇඳගත්තම අපි දෙන්නම එකතුවෙලා “චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා... කියන ගීතය ගායනා කළා. රඟපානවාටත් වඩා ඒ කාලේ අපි ආසා කළේ සින්දු කියන්න.

ගීතා ඉගෙන ගත්තේ මොන පාසලේදී ද?
මම ඉගෙන ගත්තේ වැල්ලම්පිටියේ සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේදීයි. අපි පස්දෙනාටම ගීත ගායනා කරන්න පුළුවන් නිසාම ඉස්කෝලේදීත් අපි ඒවාට සහභාගී වුණා. මම පාසලේ නෙට්බෝල් කණ්ඩායමේ, සරඹ කණ්ඩායමේ නායිකාව වුණා. ඒ වගේම නැටුම් කළා. නැටුම් ශිෂ්‍යත්වයක් පවා මට ලැබුණා. ඒ හැම බාහිර ක්‍රියාකාරකමක්ම කළාට අපි හැමෝම හොඳට ඉගෙනත් ගත්තා. ඉස්සර හැම විෂයකටම මම ලකුණු අනූවට වඩා ගත්තා. මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ නිසාම තාත්තාට ඕන වුණේත් අපිට හොඳට උගන්වන්නයි. නැටුම් ශිෂ්‍යත්වයක් පවා ලැබුණට මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයනුයි. අම්මයි, තාත්තායි දෙන්නම කලාවට කැමති වුණාට කලා විෂයන් කරනවාට වඩා මම විද්‍යා විෂය කරනවාට තමයි ඒ දෙන්නා කැමති වුණේ.

පාසල් මට්ටමින් තරගවලින් ජය ගත්ත ගීතා කාන්ති ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වුණේ කොහොමද?
අපේ පවුලේ ඥාතිවරියක් වුණු නන්දා රණතුංග ඇන්ටි නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. අපේ අම්මා අපේ ඥාතීන් එක්ක හිතවතුන් එක්ක හරිම සුහදයි. ඒ කාලේ මම හරිම නිහඬ චරිතයක්. ඒ දවස්වල නන්දා ඇන්ටි ගුවන් විදුලියේ වැඩසටහනකට සම්බන්ධ වෙලායි හිටියේ. ඒ නිසා අම්මාගේ ඉල්ලීමට නන්දා ඇන්ටි මාව ගුවන්විදුලියේ “හඳ මාමා වැඩසටහනට එක්කගෙන ගියා. මාසයකට සැරයක් හඳමාමා වැඩසටහනට සහභාගී වෙද්දී අපිට කුරුණාරත්න අබේසේකර මහතාව හදුනාගන්න අවස්ථාව ලැබුණා. මට තාම මතකයි ඒ වැඩසටහනට මාව සහභාගී කරවගෙන කරුණාරත්න අබේසේකරයන් මාව පුටුවක වාඩිකරවලා “සින්දුවක් කියන්නකෝ බලන්න කියලා කිව්වා. මට අද වගේ මතකයි මම එදා “ඕලූ නෙළුම් නෙරිය රඟාලා කියන සින්දුව කියාගෙන යද්දී කරුණාරත්න අබේසේකරයන් මොනවදෝ ලියනවා මම දැක්කා. 

සින්දුව කියලා ඉවර වුණාට පස්සේ “ආ මෙන්න... මේක අරගෙන අදම පටන් ගන්න කියලා කිව්වා. මම බලද්දී අර මම කියපු ගීතයේ තාලයටම “සරස්වතී මණ්ඩපේ අපේ... සති දෙකකින් අද ඇරඹෙන්නා.. කියලා හරි ලස්සන පද ටිකක් ලියලා තිබුණා. එදා ගීත ගයන්න මාලනී බුලත්සිංහල, නිර්මලා රණතුංග, රෝහණ සිරිවර්ධන වගේ අය හිටියා. එදා ඉඳන් මට ඒ වැඩසටහන්වල අත්වැල් ගායනයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු නවයක් විතර ඇති. කරුණාරත්න අබේසේකර මෙහෙයවපු ඒ වැඩසටහන ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, කුසුම් පීරිස් වගේ අය නිවේදනයෙන් සම්බන්ධ වුණා.

ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නත් කලින්ම එච්.ආර්. ජෝතිපාලව මුණගැහිලා ගීතාට සින්දුවක් කියන්නත් අවස්ථාව ලැබුණා නේද..?
අනේ.. ඔව්.. ඒක මම ගොඩාක් පොඩි කාලේ වුණු සිදුවීමක්.. අපේ අම්මගේ මහගෙවල් තිබුණේ කොටිකාවත්තේ. ඉතින් ගංවතුර ගලද්දී, ඉස්කෝලේ නිවාඩුවට එහෙම අපි ටික දවසක් කොටිකාවත්තේ ගිහින් නතර වෙනවා. මගේ අම්මට මල්ලිලා හතර දෙනක් ඉන්නවා. ඒ එක මාමා කෙනෙක්ගේ හොඳම යාළුවෙක් තමයි එච්.ආර්. ජෝතිපාල. ඒ කාලේ අපේ මාමාලගේ ගෙදර කාමරයකත් එච්.ආර්. ජෝතිපාල නතරවෙලා හිටියා. දවසක් මම කොටිකාවත්තේ ගෙදර ගියපු වෙලාවක මගේ මාමා මාව උස්සලා ඒ ගෙදර කෙටි තාප්පේ උඩින් තියලා එච්.ආර්. ජෝතිපාලට පෙන්නලා “මෙයාටත් හොඳට සින්දු කියන්න පුළුවන්නේ. කියලා කියනවා මට අද වගේ මතකයි. “හා එහෙනම් සින්දුවක් කියන්නකෝ කියද්දී මම “පිළිගන්න මම චන්න ඇමැති වෙමි කියන සින්දුව කිව්වා. හැබැයි ඒ ගීතය එච්.ආර්. ජෝතිපාලගේම සින්දුවක් කියලා ඒ වනවිට මම දැනගෙන හිටියේ නැහැ. ගීතය අහගෙන හිටපු ජෝතිපාල හරි ලස්සනට හිනා වුණා.

එහෙම සින්දු කියමින් හිටපු පුංචි කෙල්ල නිළියක් වුණේ කොහොමද?
ගුවන්විදුලියේ විවිධ සංගීත වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න මට ටිකින් ටික අවස්ථාව ලැබුණා. ඉස්සර සුමානයට දවස් පහේම විවිධ ළමා වැඩසටහන් තිබුණා. මම ඒවාට සහභාගී වුණා. ඔය අතරේ ළමා රංගන පීඨය කියන වැඩසටහනෙන් අපි නාට්‍යය කළා. ඩ්‍රාමා කරන්න මාත් එක්ක නෙරංජලා සරෝජනී, රෝහණ සිරිවර්ධන, පරාක්‍රම පෙරේරා, සමන් අතාවුදහෙට්ටි වගේම පසුකාලීනව කමල් දේශප්‍රිය සම්බන්ධ වුණා. ඔහොම නාට්‍යවලට සම්බන්ධ වෙමින් කාලය ගතකරද්දී ළමා පිටියෙන් වයස යාමත් එක්ක අයින් වෙන්න සිද්ධ වුණා. ශනිදා සාදය වගේ වැඩසටහන්වල පවා අපි කවි ගායනා කළා. මේ නිසාම නිතරම අපිට ගුවන්විදුලිය හොඳටම හුරු තැනක් වුණා. ඉස්සර ඉස්කෝලේ ඇරුණු ගමන් යුනිෆෝම් එකෙන්ම අපි ගුවන්විදුලියට ගොඩ වෙනවා. ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ “තරුණ හමුව කියන වැඩසටහනටත් අපි නාට්‍ය කළා.

ගුවන්විදුලියේ නාට්‍ය කරපු ගීතාට “කැලණි පාලම වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ගුවන්විදුලියේ නාට්‍ය බොහෝමයකටම මම සම්බන්ධ වුණානේ. ඒ හැම දෙයක්ම කරන්න ඉස්කෝලේ ඉඳන් යුනිෆෝම් එක පිටින් තමයි මම ගුවන්විදුලියට එන්නේ. ඔය කාලේදී ආර්.ආර්. සමරකෝන් මහත්මයා අලුත් නාට්‍යයකට ඉස්කෝලේ යන ගෑනු ළමයෙක්ව සොයමිනුයි ඉඳලා තියෙන්නේ. ඔය වෙද්දී සුගතපාල ද සිල්වා මහත්මයා විසින් ගුවන් විදුලි නාට්‍යයකටත් මම සම්බන්ධ වෙලයි තිබුණේ. ඉස්සර මම හරි කළුයි. හැබැයි කොණ්ඩේ දිගයි. මට තාම මතකයි මම සුගතපාල මහත්තයාට “මම කළුයිනේ කියද්දී “උඹේ ඔය ලස්සන තියෙන්නේ කළුවේ තමයි කියලා කිව්වා. 

ඉතින් සුගතපාල මහත්මයා මම ගැන ආර්.ආර්. සමරකෝන් මහත්මයාට කියලා තිබුණා. දවසක් සමරකෝන් මහත්මයා නාට්‍ය කරන තැන ඇවිත් මම නාට්‍ය කරන දිහා බලාගෙන ඉඳලා “නාට්‍යයක රඟපාන්න කැමතිද කියලා ඇහුවා. ඒ වෙලාවේ “මම අම්මාගෙන් අහලා කියන්නම් කියලා කිව්වා. අම්මත් කැමති වුණා. හැබැයි ඊට පස්සේ එතුමා මාව මුණගැහෙන්න ආවේම නැහැ. අවුරුද්දකට පස්සේ ගෙදරට “පැමිණ මුණගැහෙන්න ආර්.ආර්. සමරකෝන් කියලා පෝස්ට් කාඩ් එකක් තැපෑලෙන් ලැබුණා. මාත් ඒ දිනයට අම්මා එක්ක මුණගැහෙන්න ගියා. මම කැලණි පාලමේ පිටපත කියවන්න දීලා එයින් දෙබසක් දෙකක් කියවන්න දීලා මුහුරත් උළෙලට එන්න කියලා මම කිව්වා. එහෙම තමයි කැලණි පාලමේ සුරංගනීගේ චරිතයේන් මගේ රංගන ජීවිතයේ ආරම්භය ඇති වුණේ.

වේදිකාවෙන් රූපවාහිනියට සම්බන්ධ වුණු විදිහත් අපි ටිකක් කියමුද?
ඔව්.. ඔහොම වේදිකාවේ කැලණි පාලම වේදිකාගත වෙද්දී රූපවාහිනියේත් නාට්‍ය විකාශනය කරන්න පටන් ගත්තා. වේදිකා නාට්‍ය රූගත කරලා රූපවාහිනියේ පෙන්වන්නත් පටන් ගත්තා. ඔහොම යද්දී විජය ධර්ම ශ්‍රී මහත්මයා මාව එක නාට්‍යයක ප්‍රධාන චරිතකයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යයෙත් මම රඟපෑවේ පාසල් යන දියණියකගේ ඉඳන් නීතිඥවරියක් වෙන චරිතයක්. ඒකේදී මට හොඳම නිළිය සම්මානයත් ලැබුණා. මට මතකයි කැලණි පාලම මුල්ම වේදිකා ගතකරන්න කලින් අපි මාස දෙකක් තිස්සේ පුරුදු වුණා. ලයනල්වෙන්ට් ශාලාවේ පිටිපස්සේ තමයි අපි පුරුදු වුණේ. ඒ පුහුණුවීම් බලන්න ඩී.බී. නිහාල්සිංහයන් දවසක් ආවා. ඒ “රීදි නිම්නය කියන අලුත් ෆිල්ම් එකකට කට්ටිය තෝරා ගන්නයි. අපේ පුහුණුවීම් දැකපු ඩී.බී. නිහාල්සිංහයන් මාවයි, රම්‍යා වනිගසේකරවයි, මැණිකේ අත්තනායකවයි ඒ ෆිල්ම් එකට තෝරාගත්තා. ඒකේදී සනත් ගුණතිලකගේ පෙම්වතියගේ චරිතයට තමයි මාව තෝරාගත්තේ. ඒ තමයි මම රඟපාපු මුල්ම චිත්‍රපටය වුණේ. ඊට පස්සේ ඉතින් දිගින් දිගටම වේදිකා නාට්‍ය ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට රඟපාන්න අවස්ථාව ලැබුණා.

අධ්‍යාපනයට දක්ෂ වුණු විද්‍යා විෂය හදාරපු ගීතා දිගින් දිගටම කලාවට සම්බන්ධ වෙද්දී අධ්‍යාපනය මඟහැරුණේ නැද්ද? ගෙදරින් ඒ සම්බන්ධව දක්වපු ප්‍රතිචාර කොහොමද?
ඒ අයනම් ටිකක් අකමැති වුණා. හැබැයි ඒ දවස්වල මට ටිකක් කරදර ප්‍රශ්නත් ආවා. මගේ අම්මත් අසනීප වුණා. මම පවුලේ ලොකු දුව හැටියට මට ලොකු වගකීමක් පැවරුණා. ගෙදර උයන වැඩ කළෙත් මමයි. ඉස්සර අද වගේ නෙවෙයි කොස් කඩලා ඒ හැම දෙයක්ම සුද්ද කරන්න ඕනේ. පොල් කඩලා ලෙලි ගහන්න ඕනේ. අද වගේ ඒ කාලේ මොන ගෑස් ළිප්ද..? ඉව්වෙම දර ළිප්වලයි. කිසිම පහසුකමක් තිබුණේ නැහැ. හැබැයි ඒ හැමදෙයක්ම මම කළා. අදටත් ඒ ගැන හිතද්දී ඒවා කළේ මම කොහොමද කියලා පුදුම හිතෙන තැන් තියෙනවා. මම විද්‍යා විෂයට ඉතා දක්ෂ වුණාට වැඩිදුර උසස් අධ්‍යාපනයක් ලබන්න මට බැරිවුණා.

ඔබේ සැමියා මුණගැහෙන්නේත් ඔබට ළාබාලම වයසේදී නේද..?
ඔව්නේ... පාසල් ප්‍රසංගයකදී මම සරස්වතී දේවියගේ නර්තනයක් කළා. ඒකේදී මගේ හොඳම යාළුවා, ප්‍රසංගය බලන්න ආපූ පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා. ඉතින් මේ දෙන්නාට උදව් කළේ මම. යාළුවගේ පිරිමි ළමයාගේ යාළුවෙකුත් අපිත් එක්ක නිතරම කතාබහ කළා. එයාත් එදා මගේ නර්තනය බලන්න ඇවිත් තිබුණා. ඉතින් ඔන්න ඒ පිරිමි ළමයා මාත් එක්ක යාළු වුණා. ඔළුවට ඇතිවුණු ප්‍රශ්න, පීඩනයත් වගකීම් එක්ක මම හරිම ඉක්මනට ඒ වගේ සම්බන්ධයකට ඉඩහැදුණා. මම විවාහවෙද්දී මගේ වයස අවුරුදු දහඅටයි. මට පබෝදා ලැබෙද්දී මගේ වයස අවුරුදු විස්සක් විතර ඇති. පබෝදා ලැබෙන්න මාස පහක් තියෙද්දීත් මම කැලණි පාලමේ සුරංගනීගේ චරිතය රඟපෑවා. එදා මම ගතකරපු ජීවිතය එක්ක අද මම ගතකරන ජීවිතය ගැන හිතද්දී ඇත්තටම අද මට සතුටුයි. මම සුඛෝපභෝගී ජීවිතයකට කවදාවත් ආස කළේ නැහැ. අද මට මේ තියන තරම හොඳට ඇති. මම කාටවත් ණයක් නැහැ. කාටවත් කරදරයක් කරන්නේ නැහැ.

මේ දවස්වල කරන නිර්මාණ මොනවාද..?
“අත්තටු නැහැ ඉගිලෙන්න කියන හඬ කැවූ නාට්‍යයක් ජාතික රූපවාහිනි සේවයේ දැන් විකාශනය වෙනවා. ඒ නාට්‍යයේ “හිතොකෝ කියන හරි වීර්යයෙන් නැගිටින ගැහැනියකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. ඉතා වයසක චරිතයක් වුණත් ඇය හරිම වීර්යවන්ත චරිතයක්. ඒ හඬ කවන චරිතය වගේම ධෛර්යවන්ත වයසක ගැහැනියකගේ චරිතයක් රගපාන්නත් මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඊට අමතරව දෙරණ නාළිකාවේ විකාශනය වන “මුතු අහුර ටෙලිනාට්‍යයේ “හේඩීගේ චරිතයටත් මම හඬ කවනවා. ඊට අමතරව ළඟදීම තිරගත වන නිශාන්ත සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කරන “සාම කුමරු කතාව නම් බෞද්ධ ළමා චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. 

► Text - Dishani   /   Pic –Sumudu