පහුගිය දවස්වල රට තුළ තිබුණු අවිනිශ්චිත තත්ත්වය නිසා අපේ කලාවටත් විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා.
ඒ කෙසේ වෙතත් කලා නිර්මාණ කටයුතු නතර වෙලත් නැහැ.
පසුගියදා අලුත් වේදිකා නාට්‍යයක මුහුරත් උත්සවයක් කොළඹදී පැවැත්වුණා.
ඔන්න උත්සවය දවසේ නැකැත් වෙලාවත් ළං වුණා. ප්‍රධාන චරිතයක් රඟපාන තරුණ නළුවෙක් තාම ඇවිත් නැහැ. අධ්‍යක්ෂකවරයා ඔහුට කෝල් එකක් දුන්නා.
අනේ සොරි අයියේ මට එන්න බැරිවෙයි අද. අපේ අම්මා බයයි මම කොළඹ යනවට
අධ්‍යක්ෂකට ආපු කේන්තිය පාලනය කරගන්න බැරි වුණාලු.
බයනම් ඉතින් මේ වැඩේට ඔයා නාවත් කමක් නැහැ. ඔයා ගෙදරට වෙලාම ඉන්නකෝ.
අධ්‍යක්ෂකවරයා කිව්වලු.
එක්තරා කලා ශිල්පියෙක් නිදහසේ ගෙදර හිටිය දවසක හවස පොඩි දෙකකුත් දාගෙන රෑ කෑම කන්න ලෑස්ති වුණාලු.
එතකොටම එයාව හම්බවෙන්න ආවලු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් හා නිෂ්පාදන කළමනාකරුවෙක්.
ඇවිත් තියෙන්නේ ඒගොල්ලෙන්ගේ අලුත්ම නිර්මාණයේ මෙයාට චරිතයක් ලබලා දෙන්න.
ඒ තුන්දෙනත් එකතු කරගෙන මේ ශිල්පියා තවත් සප්පායම් වුණාලු. දැන් කට්ටියටම හොඳ ගණන්.
ඇයි මේකට මාවම තෝරගන්න හිතුවේ ශිල්පියා ඇහුවලු. හොඳටම වැඩිවෙලා හිටිය නිෂ්පාදන කළමනාකරැ තමයිලු උත්තර දුන්නේ.
ඇත්තම කියන්න අපි තුන් හතර දෙනෙක් ගාවට ගියා, ඒත් ඒ අය අකමැති වුණා. මේ වගේ චරිතයක් මෝඩයෙක් මිසක් වෙන කෙනෙක් බාරගන්න කැමති වෙන්නෙ නැහැ කියලයි ඒ අය කිව්වේ
නළුවට තරු පෙනුනලු.
එක්තරා දර්ශන තලයකදී ලැබුණු කෙටි විවේකයක් අතරතුර කලා අංශයේ ශිල්පියෙක් ඇහුවලු කොහෙහරි මීයෝ, කැරපොත්තො විකුණන තැනක් කවුරුහරි දන්නවද කියලා.
පිස්සුද අයිසේ? ඔළුව නරක් වෙලාද? කියලා ප්‍රවීණයෙක් ඇහුවලු.
නෑ. නෑ. හදිසි උවමනාවකට මට මීයෝ 20ක් විතර කැපොත්තො 40ක් විතර ඕන වෙනවා ලබන සතිය වෙද්දි
ඒ මොකටද බං?
මගේ ගේ හදනකල් අපි අවුරුදු දෙකකට ගෙයක් කුලියට ගත්තා. දැන් අයිතිකාර ගෑනු කෙනා ගේ ආපහු ඉල්ලනවා ලබන සතියේ. තිබුණු විදිහටම ගේ ආපහු බාරදෙන්න ඕනලු. ඒකයි මම මීයො, කැරපොත්තො ටික හොයන්නේ
► Text - Mithra