2019 මැයි 25 වන සෙනසුරාදා

නැවතත් ලෝක සම්මානයෙන් පිදුම් ලද පාංශු අම්මා

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 261

- නීටා ප්‍රනාන්දු

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු (Pangshu) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔබට විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙසින් සම්මානයක් හිමි වුණා. මුලින්ම දේශය හදසර අපේ සුබ පැතුම්..?
බොහොම ස්තූතියි. ඇත්තටම අපේ පාංශු චිත්‍රපටය මැයි මාසේ දහඅට වැනිදා පැවති නීස් ජාත්‍යන්තර සිනමා උළෙල (Nice International film festival) නියෝජනය කළා. මෙම සම්මාන උළෙලේ දී පාංශු චිත්‍රපටයට විශිෂ්ට සම්මාන දෙකක් දිනාගැනීමට හැකි වුණා. දක්ෂතම ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කුමාර කරව්දෙණියටත් විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම නිළිය ලෙස මටත් සම්මානයක් ලැබුණා. ඒ විතරක් නෙමේ.. මෙම සම්මාන උළෙලේ දී විදේශ භාෂිත සිනමා අංශයේ හොඳම තිර රචනාවට හිමි සම්මානයට නිර්දේශ වීමටත් විසාකේස චන්ද්‍රසේකරම්ට හැකියාව ලැබුණා. ඇත්තටම මේ හැමදෙයක් ගැනම ගොඩක් සතුටුයි.

පාංශු නිර්මාණය වුණේ කොයි කාලෙදිද..?
අපි මේ චිත්‍රපටය රූපගත කිරීම් කළේ 2017 අවුරුද්දෙ ජූලි මාසෙදී. 2018 ජනවාරි මාසය වෙනකොට චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වුණා. මේ කතාව දිගහැරෙන්නෙ 1988/89 කාලයෙ දී සිදුවුණු භීෂණ වාතාවරණයක් අළලායි. 

පාංශු නිර්මාණයේ දී ඔබ රඟපාන්නෙ පුතෙකු සොයන මවකගේ චරිතයක්..?
ඔව්. ඒ කාලෙ දී අතුරැදන් වුණු තම පුතා සොයමින් යන අම්මා කෙනෙකුගේ චරිතයක් තමයි පාංශු චිත්‍රපටයෙ දී මම රඟපාන්නෙ. තම පුතා වෙනුවෙන් යුක්තිය සොයා යන අම්මා කෙනෙකුගේ සංවේදී කතාවක් තමයි පාංශු නිර්මාණය තුළ දිගහැරෙන්නෙ. මේ කතාවේ බොහෝ තැන් හරිම සංවේදීයි.

මේ චරිතය වෙනුවෙන් විසාකේස ආරාධනා කළාම ඔබට මොකද හිතුණෙ. ඒ වනවිටත් විසාකේස හිටියෙ විදෙස්ගත වෙලයි..?
ඔව්. එක දවසක් විසාකේස මට කෝල් කරලා මේ ෆිල්ම් එක ගැන කිව්වා. ඒ වෙලාවෙ දී විසාකේස මගෙන් අහපු දෙයක් තමයි පීනන්න පුළුවන්ද? කියලා. හැබැයි ඒ වෙනකොට මට පිහිනීමේ හැකියාවක් තිබුණෙ නැහැ. මම වතුරට බයයි. ඒ නිසා මම මීට කලින් පිහිනලා තිබුණෙ නැහැ. විසාකේස මගෙන් පිහිනන්න ඉගෙන ගන්න කැමතිද? කියලා අහද්දී මම ඔහුට කිව්වෙ මම ට්‍රයි කරන්නම් කියලා. මම ඒකට මාස හයක් විතර ඉගෙන ගත්තා. ඒ අතරතුර දී විසාකේස ලංකාවට ඇවිත් ෆිල්ම් එකේ හැම රූප රාමුවක්ම එකින් එක චිත්‍රයට නගලා මුළු කතාවම මට පෙන්නුවා. ඒකෙන් ඒ චරිතය මට හොඳින් පැහැදිලිව පෙනුණා. අනික විසාකේස කියන්නෙ නිර්මාණයක් වෙනුවෙන් උපරිමයෙන්ම කැපවෙන අධ්‍යක්ෂකවරයෙක්. ඒක ඔහුත් සමඟ කතා කරද්දී වගේම ඔහුත් එක්ක වැඩ කරද්දී මට හොඳටම තේරැණා. චිත්‍රපටය රූපගත කිරීම් කරන්නට පෙර විසාකේස වැඩමුළු කිහිපයක්ම කළා. ඒ හරහා ඔහු නිර්මාණය පිළිබඳව අපි හැමෝටම හොඳ අවබෝධයක් ලබා දුන්නා.

කොපමණ කාලයක් පාංශු චිත්‍රපටය රූපගත කිරීම් කළාද..?
මේ චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රූපගත කළේ ගල්ගමුව ප්‍රදේශයේ. ඊට අමතරව එක දවසක රූපගත කිරීමක් කොළඹ තිබුණා. කොහොමත් මේ චිත්‍රපටයෙ රෑපගත කිරීම් තිබුණෙ දවස් දාහතක වගේ කාලයක්. සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටයක් ඒ වගේ කෙටි කාලයකින් කරන එක අසීරු දෙයක්. හැබැයි විසාකේසගේ අපූරු සැලසුමක් තිබුණා. ඒ සැලසුම ඇතුළෙ වැඩ කරන්න අපි හැමෝම පුළුවන් තරම් උත්සාහයක් ගත්තා. ඒක සාර්ථක වුණා. අවසානයෙ දී දවස් දාහතකින් මේ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් වුණා.

ඔබේ මේ දෙවැනි ජාත්‍යන්තර සම්මානයයි. මීට පෙර 1998 වසරේ සිංගප්පූරු ජාත්‍යන්තර සම්මාන උළෙලෙ දී පවුරු වළලු චිත්‍රපටයට සම්මාන ලැබුණා. රට තුළ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ මිනිසුන්ගෙ මානසිකත්වය වැටුණු මොහොතක පාංශු දිනාගත් මේ සම්මාන පිළිබඳව ඔබට මොකද හිතෙන්නෙ..?
ඒ ගැන නම් යමක් කියන්නම ඕනෙ. පසුගිය පාස්කු ඉරිදාවෙ රටේ සිදුවුණු ප්‍රහාරය හමුවේ අපේ ආදරණීය මිනිසුන් අපෙන් ඈත් වුණා. අදටත් සමහරුන් ඉන්නෙ රෝහල්ගත වෙලයි. මේ හැමදෙයක්ම අදටත් අපේ හිතට ලොකු කම්පනයක්. ඒක දරාගන්න හරි අමාරුයි. එවන් පරිසරයක මෙවැනි ජයග්‍රහණයක් රටේ කලාව වෙනුවෙන් ලැබීම තුළින් මිනිසුන්ගෙ හිතට පුංචි හරි සැනසීමක් ලැබේනම් ඒකත් ලොකු දෙයක්. ඇත්තටම මම රඟපාපු චරිත අතරින් මම කරපු දුෂ්කරම චරිතයක් තමයි මේ. ඒ වෙනුවෙන් මට මඟපෙන්වූ විසාකේස ඇතුළු පාංශු කණ්ඩායමට මම ස්තූති කරනවා.

 

► Text - Dishani / Pic –  Internet