2019 මැයි 25 වන සෙනසුරාදා

ආචි බබාට ඉන්දියාවෙන් තෑගි

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

ඉන්දියාවේ මුම්බායි නුවර ඉන්න දබ්බලාවාවරු කියන්නේ හරි අපූරු ජන කොට්ඨාසයක්. ඒකට හේතුව තමයි මුම්බායි නගරයේ තිබෙන දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් ඔවුන් ගෙනැවිත් තිබීම. කාර්යාලවල වැඩ කරන උදේට ගෙදරින් කෑම ගේන්න පරක්කු වුණු අයට දවල් කෑම එක එයාලගේ ගෙදර ඉඳන් කාර්යාලයට ගෙනැවිත් දීම තමයි ඔවුන්ගේ රැකියාව. හැබැයි මේ කතාකරන්න හදන්නේ ඒ හැරුණු විට ඔවුන් කරන තවත් අපූරු වැඩක් ගැනයි. 

මේ දබ්බලාවාවරුන්ට බ්‍රිතාන්‍ය රාජකීය පවුලත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ වරක් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා මොවුන් මුණගැහිලා කතාකළාට පස්සේ තමයි මේ විශේෂ බැඳීම ඇතිවෙලා තියෙන්නේ. 2003 වසරේ චාල්ස් කුමාරයා ඉන්දියාවේ කළ සංචාරයක් අතරතුරදී ඔහුට මේ දබ්බාලාවරු මුණගැහිලා තිබුණා. ඔවුන්ගේ කාර්යක්ෂම සේවාව ගැන පැහැදුණු චාල්ස් කුමාරයා ඔවුන්ගෙන් දෙදෙනෙකුට 2005 වසරේ පැවැති තමන්ගේත් කැමිලාගේත් විවාහ මංගලෝත්සවයටත් ආරාධනා කර තිබුණා. අන්න ඒ විදිහට තමයි මුම්බායිවල ඉන්න මේ අපූරැ ජන ‍කොටසත් එංගලන්ත රජ පවුලත් අතර බැඳීම ඇති වෙන්නෙ. 

ඉතින් ඒ බැඳීම හින්දම බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී - මේගන් යුවලගේ පුත් ආච් මවුන්ට්බැටන් වින්ඩ්සර් වෙනුවෙන් තෑග්ගක් යවන්න දබ්බලාවාවරු මේ දිනවල හරියට මහන්සි වෙනවා.
ඒ සඳහා ඔවුන් තෝරාගෙන තියෙන්නේ සාම්ප්‍රදායිකව බිළිඳෙකුට දෙන රිදී භාණ්ඩ කට්ටලයකුයි. මහාරාෂ්ට්‍ර සම්ප්‍රදායට අනුව ලබාදෙන මේ රිදී භාණ්ඩ කට්ටලයට රිදී හවඩියක්, රිදී පා සලඹක් සහ අත් පළඳනාවක් ඇතුළත්.
මුම්බායි දබ්බලාවාවරැන්ගේ සංගමයේ  සභාපති තලේකාර් පවසන ආකාරයට ඔවුන්ට මුලදී වුවමනා වෙලා තියෙන්නේ, රත්තරන් භාණ්ඩ කට්ටලයක් අලුත් රාජකුමාරයාට යවන්නයි. ඒත් මුදල් අඩුපාඩුකම නිසා රන් භාණ්ඩ යවන්න ඔවුන්ට නොහැකි වෙලා.

“වැදගත් වන්නේ තෑග්ගේ වටිනාකම නෙවෙයි. තෑග්ගක් යැවීමේ පරමාර්ථයයි” යනුවෙන් තලේකාර් පවසනවා.
ගිය අවුරුද්දේ හැරී - මේගන් යුවල අතිනත ගත් වෙලාවෙදිත් මේ දබ්බලාවාවරු ඔවුන්ට තෑග්ගක් තැපෑලෙන් යවා තිබුණා. ඒ මහාරාෂ්ට්‍ර සම්ප්‍රදායානුකූල මංගල ඇඳුමක්. ඊට අමතරව ඉන්දියාවේ රෝහල් දෙකක රෝගීන්ට එම මංගලෝත්සවයේ ප්‍රීතිය නිමිත්තෙන් රසකැවිලි පිරිනමන්නත් ඔවුන් කටයුතු කරලා තිබුණා.

 

► Text - Suranga