2019 මැයි 25 වන සෙනසුරාදා

හිනාවේවි බැලුවත් ගැඹුරක් නැත්තෙ නෑ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 172

හෙළමුතු සංස්කෘතික පදනමේ සභාපති හා නිෂ්පාදක තිලක් සමරසිංහ පසුගියදා සිය කුළුදුල් වේදිකා නාට්‍ය වන බෝඩිම මාරයි - සියල්ල හමාරයිහි මුහුරත් උත්සවය නාරාහේන්පිට ධර්මායතනය විහාරාධිපති උලපනේ සුමංගල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී පැවැත්වීය. හෝම් මූවීස් තුනක් නිෂ්පාදනය කළ තිලක් සමරසිංහ ටවර් රඟහලේ දී පසුගිය දිනෙක හෙළමුතු රාත්‍රිය නමින් දැවැන්ත නර්තන ප්‍රසංගයක් ද නිෂ්පාදනය කළේය.

වේදිකා නාට්‍යයක් කරන්න මගේ හිතේ කාලයක පටන් බලාපොරොත්තුවක් තිබුණා. බෝඩිම මාරයි - සියල්ල හමාරයි මගේ මුල්ම වේදිකා නාට්‍ය සඳහා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරමින් පිටපත ලිව්වෙත් මමයි. මේ සඳහා මට උදව් කළා ප්‍රවීණ කලාවේදී එරික් අබේවර්ධන.

අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මිනිසුන්ගෙ මානසික ආතතිය ගොඩක් වැඩිවෙලා. මට වුවමනා වුණේ මේ මිනිසුන්ගෙ ප්‍රශ්න සියල්ල මොහොතකට අමතක කරන්න හොඳ විනෝදාත්මක නාට්‍යයක් කරලා ඒ අය හිනා ගස්සන්න. මේක විකට නාට්‍යයක් වුණත් සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙනවා. මේක මට අලුත්ම අත්දැකීමක් වගේම අලුත් අභියෝගයක්. මේ නාට්‍යයේ මංගල දර්ශනය ජූලි 25 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේ දී පවත්වන්නට අපි සැලසුම් කරලා තියෙනවා. මට ඒ සඳහා උපදෙස් දුන්නෙ නාරාහේන්පිට ධර්මායතනය විහාරාධිපති උලපනේ සුමංගල හිමිපාණන්. මේ නාට්‍යයේ රඟපානවා අත්දැකීම් බහුල නළු නිළි කැලක්. එරික් අබේවර්ධන, ධනුෂ්කා ජයරත්න, ධනංජි තාරුකා, රුක්ෂානා දිසානායක, නන්දකුමාර් සහ ඉමේෂාන්, රවීන්ද්‍ර, පියුමි ඉමල්ෂා, ධනුෂ්ක අබේකෝන් ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා. හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙක් නුවර පදිංචිවෙලා ඉන්නවා. දුවගෙ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා දෙන්නටම කොළඹ එන්න සිද්ධ වෙනවා. ඒ දෙන්නා කුලියට ලබාගන්න නිවස ඉස්සරහ බෝඩිමක් පවත්වාගෙන යනවා. එහි අයිතිකාරිය කර්නල්ව දැලේ දාගන්න හදනවා. කර්නල්ගෙ දුව ඒ බෝඩිම් ගෙදර පවත්වාගෙන යන නැටුම් පන්තියකට යනවා. මේ සියල්ල මැද අවසානයේ දී දුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා. සමාජයට වගේම වැඩිහිටියන්ට හා මව්පියන්ට වැදගත් පණිවිඩයක් මේ තුළින් අපි ලබාදෙනවා. ඒත් මේක ඉදිරිපත් කරන්නෙ හාස්‍යමය මුහුණුවරකින්. ඒ නිසා මේ මිනිත්තු 90 කාටත් සුන්දර, විනෝදාත්මක අත්දැකීමක් වේවි, නිෂ්පාදක, අධ්‍යක්ෂ තිලක් සමරසිංහ කීය.

මෙම නාට්‍ය ගැන ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙකු ද අදහස් දැක්වීය.

එරික් අබේවර්ධන

තිලක් මහත්මයාගෙ අදහසක් අනුවයි මේ වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නෙ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සමාජ අපරාධ ගැන තමයි මේ නාට්‍යයෙන් කියවෙන්නෙ. විශ්‍රාම හමුදා නිලධාරියාගේ චරිතය රඟපාන්නෙ මමයි. ගොඩක් මව්පියෝ කරන්නෙ පුංචි කාලෙ ඉඳන් ළමයි ළංකරගෙන හදලා වුවමනා කාලෙදී ළමයි ඈත් කරන එක. ඒකෙ ප්‍රතිවිපාක තමයි නාට්‍ය තුළින් හාස්‍යජනක අන්දමින් ඉස්මතු කරන්නෙ.

පී.එම්. නන්දකුමාර්

මගේ සිනමා කලා ජීවිතයට අවුරුදු 30ක් පිරෙනවා. මම විවිධ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරලා තියෙනවා. ඒත් තිලක් සමරසිංහ මහතාගෙ තියෙන මනුස්සකම මම කොහෙවත් දැකලා නැහැ. ඔහු දක්ෂයාට නිසි තැන දෙන්නෙ කිසිම ජාති භේදයකින් තොරව. වරදක් දැක්ක තැන බැන්නට ඔහු මිනිස් වෙසින් ආපු දෙවියෙක් කියලයි මට හිතෙන්නෙ. මම රඟපාන්න හරිම ආසාවෙන් හිටියෙ. මට රඟපාන්න මුල්ම අවස්ථාව ලබාදුන්නෙ තිලක් මහත්මයා ඔහුගේ හෝම් මූවී DVD චිත්‍රපටවල. මේ මම රඟපාන මුල්ම වේදිකා නාට්‍ය වෙනවා. සිංහල චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක මම නර්තනය අධ්‍යක්ෂණය කළත් මට සිංහල අකුරක්වත් කියවගන්න බැහැ. ඒත් මේ නාට්‍යයේ දෙබස් කොහොම හරි කටපාඩම් කරගෙන මගේ උපරිම දායකත්වය ලබාදෙනවා.

ධනුෂ්ක ජයරත්න

තිලක් මහත්මයා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන මේ නාට්‍යයට එකතුවෙලා ඉන්නෙ ක්ෂේත්‍රයේ ජනප්‍රිය, එකට වැඩ කරන්න පහසු කට්ටියක්. මේකට සම්බන්ධ වෙන්න මම ආසාවෙන් බලන් ඉන්නවා. මේකෙ මම රඟපාන්නෙ බෝඩිමේ අයිතිකාර ඇන්ජලාගේ චරිතය. ඇන්ජලා කියන්නෙ නවීන පන්නයේ ඇඳුම් අඳින, වයස පොඩ්ඩක් වහගන්න දඟලන මැදිවිය ඉක්මවූ කාන්තාවක්. මේකට හොඳ ගමනක් යන්න පුළුවන් නාට්‍යයක් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

ධනංජි තාරුකා

මම හරිම කැමැත්තෙන් මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ. නිෂ්පාදක, අධ්‍යක්ෂ හා පිටපත් රචක තිලක් සමරසිංහගේ සිට රංගන ශිල්පීන් ශිල්පිනියන් හා කාර්මික අංශයේ සියලු දෙනාම හොඳ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කට්ටිය. මම මේකෙ රඟපාන්නෙ බෝඩිමේ ඉන්න දඟකාර කටකාර ගෑනු ළමයෙකුගෙ චරිතයක්. මටනම් වැඩිය රඟපාන්න දෙයක් නැහැ. මගේ සාමාන්‍ය හැසිරීම් රටාව දැනගෙන වෙන්නැති මට මේ චරිතය ලබාදුන්නෙ. මේක අතිසාර්ථක වේදිකා නාට්‍යයක් වේවි. අපි මේක ලස්සනට කරන්න බලාපොරොත්තු වෙනවා.

රුක්ෂානා දිසානායක

මේක හාස්‍යමය නාට්‍යයක් වුණාට ලොකු ආදර්ශයක් ලබාදෙනවා. වංශක්කාර පවුලක දියණියක් හැටියට තමයි මම මේකෙ රඟපාන්නෙ. මව්පියන්ගෙ වරදින්, ඔවුන්ගේ රැකවරණය නොලැබීමෙන් සමාජයේ දූෂිත පැත්තට යොමුවෙලා අවසානෙ දී මේ කෙල්ලගෙ ජීවිතය අගාධයට යනවා. කතාව ලියලා මේ වේදිකා නාට්‍ය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කරන තිලක් සමරසිංහ මහතාට මේ නිර්මාණය ගෙන ඒම ගැන ස්තූතිවන්ත වෙනවා. මාව මේ චරිතයට තෝරාගැනීම ගැනත් සතුටු වෙනවා.

 

► Text - Ramesh Uvais  /   Pic -  Internet