2019 මැයි 25 වන සෙනසුරාදා

ඒ කාලේ මෙන්න වෙසක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ඔන්න සහෝ අපි මේ පාර අරගෙන ආවා මේ කාලෙට සෙට්වෙන Y Trend එකක්. පසුගිය සතියේ වෙසක් තොරණ් තිබ්බේ නෑ. ඒ නිසා අපේ සහෝලට තොරණ් බලන්න යන්න බැරි වුණානේ. ඒ නිසා මේක කියවන්න කෝ...  ඉස්සර ඉඳන්ම ඉතින් එක එක Y Trend ගොඩක් තියෙනවා නේ මචෝ. 

අද ඒ ගැන තමා Story ය. කොහොම වුණත් මේ දේවල්වල හොඳ නරක දෙපැත්තක් තියෙනවා. වෙසක් එක පටන් ගන්න කලින් ගමේ ටවුමේ කොල්ලෝ සෙට් එක ප්ලෑන් කරන දේවල් ටිකක් තියෙනවා ඔන්න. මචෝ මේ පාර දන්සලක් දෙමුද..? කියලා එක සෙට් එකක් කල්පනා කරනකොට දිගින් දිගටම කරගෙන එන දන්සල් දෙන සෙට් එක කල්පනා කරනවා මේ පාර අපේ දන්සල ලොකුවට දෙන්න ඕන කියලා... ඔන්න ඉතින් සෙට් එක පොතක් එහෙම අරගෙන ගම වටේ යනවා සල්ලි එකතු කරන්න. නැත්නම් බඩු එකතු කරන්න. ගමේ දළ කාරයන්ගෙන් වැඩිපුර ගාණක් ගලවාගන්න තමා Try එක. ගම වටේ යන එක ආතල් සීන් එකක්. කට්ටිය පිරිවරාගෙන තමා යන්නේ. යන ගමන් ගෙවල්වල අඹ ගස්වලට ජම්බු ගස්වලට හීන් සැරේ වග කියනවා සමහර වෙලාවට. හොඳට ටෝක් කරන්න පුළුවන් ඩයල් එක තමා ඉස්සරහට දාන්නේ කතා කරන්න. 

මේ සීන් එකේ වගේම තමා ලොකු කූඩු, තොරණ් ගහන සෙට් එකත් ගේමට බහින්නේ. ඒ දන්සල වඩා සංකීර්ණයි. වැඩිහිටියෝ සෙට් එකක් කොයි වෙලාවෙත් ඉස්සරහින් ඉන්නවා.  ලොකු ගාණක් යනවා. ව්‍යාපාරික සංගම්, ලොකු ලොකු ඩයල් සෙට්වෙලා කරන දන්සල්වල,  තොරණ්වල, කූඩුවල තත්ත්වයනම් මීට  වෙනස්. ඒවාවල සල්ලිවලට තමා මුල් තැන. හැබැයි නෝමල් සෙට් එක බහින වැඩවල තියෙන්නේ සල්ලි සීන් එකම විතරක් නෙවෙයි. 

ඉස්සර කොල්ලෝ සෙට් එකක් තොරණක් ගහනවා කියන්නේ පට්ට කට්ටක් වගේම ආතල් වැඩක්. දැන්නම් ලයින් එක වෙනස් සහෝ... ගමේම තියෙන පුවක් ගස් කපන්න ඕන. ඊට පස්සේ කර ගහගෙන එන්න ඕන තොරණ ගහන ප්ලේස් එකට. පට්ට කට්ට. ඊට පස්සේ වළවල් හාරනවා. පුවක් කඳවල් ඉන්දනවා. පුවක් පටි පලනවා. එකම සීන් එකක්. තොරණ් බැඳීම කියන්නේ වෙනම කලාවක්. ඒකට ගමේ ඉන්නවා වැඩේ ප්‍රගුණ කරපු ලොක්කෝ සෙට් එකක්. එයාලා තමා වැඩේ හැඩල් කරන්නේ. ඔන්න එතකොට කොල්ලන්ට බැණුම් එහෙමත් අහන්න වෙනවා. ඒවානම් ෂේප්. මේ වගේ වැඩවලට අත ගැහුවාම ගෙවල්වලිනුත් බැණුම් නේ... ඒ වුණාට වැඩ කරලා එකට කාලා කහට එක බීලා ගන්න ආතල් එක ලොවෙත් නෑ. පොදු වැඩ ලයින් එකේ ඉන්න සෙට් එක තමා ඒ ආතල් එක දන්නේ.

දැන් අපි එමුකෝ වෙසක් දවස් ටිකට. ඔන්න පුතේ මේ තොරණ් බලන්න යන සෙට් එකේ සීන් කෝන් ටික. සමහරු පුටාර්වලින්, ඒ කියන්නේ පාපැදිවලින් තමා වෙසක් බලන්න යන්නේ. එහෙන් මෙහෙන් දාලා දන්සල් හත අටක් වැඳගෙන තමා ගමන. පාරේ මිනිසුන්ගෙන් බැණුම් අහන්න එහෙමත් වෙනවා. ඔන්න පහුගිය කාලේ පොලිස් මාමලා දුන්නා මේ වගේ බයික් සෙට්වලට පට්ට ආතල් එකක්. ආතල් කිව්වාට මාර කට්ටක්. ඉස්සර බයික් එකට අනිවා තියෙන්න ඕන ලයිසන් එකක්. ඩයිනමෝ එකක්. ඉතින් ඕක නෑ මචෝ කොල්ලන්ගේ බයික්වල. පොලිස් ලොක්කෝ ලෙඩේ දානවා. බයික්වල වෑල් කර ගලවලා හුළං යවනවා. දුක තමා එතකොට. තල්ලු කරගෙන පලයල්ලකෝ. ලෑන්ඩ්මාස්ටර් එකේ තොරණ් බලන්න යන්නේ පවුල් පිටින් සමහරු. කොල්ලොත් සෙට්වෙලා යනවා හූ කිය කියා. පිස්සු නට නටා. 

මේ ගමන්වල ප්‍රධානම සීන් එකක් තමා කෑලි බැලීම. ඒ කියන්නේ ගෑනු ළමයින්ට බැල්ම දාන එක. සමහරු ඉන්නවා ෆෝන් නම්බර් කොළ කෑලි දෙන උන්. ඒ අස්සේ පට්ට කියුම් කියන උනුත් ඉන්නවා. පාරෙ දී මිනිසුන්ට ආතල් දෙන උන්, එක එක ජාතියේ ඩයල් ඉන්නවා. මේ අස්සේ සමහරු ඔලුබක්කෝ නටවනවා. ඒකනම් එකම පිස්සුවක්. තැන් තැන්වලට සෙට්වෙලා මේ සීන් එක කරන්නේ කොල්ලෝ තමා. සමහර එවුන් ගෑනු විදිහට අඳිනවා. ඩොල්කි එහෙම අරගෙන තොරණ් බලන්න යන සෙට් ඉන්නවා. පාරේ තැන් තැන්වල සින්දු කියනවා. වෙස්මුහුණු එහෙමත් ප්‍රසිද්ධ ආතල් එකක්. කොහොම වුණත් මේ සීන් කෝන්නම් අපිට අනුමත කරන්න බෑ.

ඔන්න දන්සල් දෙන කොල්ලෝ සෙට් එක ඉස්සෙල්ලා දවසෙ රෑ ඉඳලා පට්ට වැඩ. බත් දන්සලක්නම් ලූනු සුද්ධ කරනවා. හාල්මැස්සන් කඩනවා. පොල් ගානවා. එක වැඩ ගොඩක්. හැබැයි මේවා කරන්නේ කවුද මචෝ. ගෙදර බත් කාපු පිඟානවත් හෝදන්නේ නැති අපේ සහෝලා තමා. කින්ඩියට නෙවෙයි කිවේ ඒක තමයි ඇත්ත... පොදු වැඩවලදී මාර කික් එකක් නේ බ්‍රෝ තියෙන්නේ... ඔන්න දන්සල දෙන දවස කියන්නේ පට්ට හැපි දවසක්. ඒ වුණාට එදාට වැඩ තමා. පාර්සල් දීම කියන්නේ ඩිස්ටබ් වැඩක්. තව පෝලිම පැනලා හොර පාරෙන් ඇතුළට එන්න  අහන අඳුරන කොල්ලෝ සෙට්, නෑදෑයෝ ඇනයක් තමා ඉතින්. කේන්ති ගන්නේ නෑ මහන්සිවෙලා කරන වැඩේනෙ. ඒවාත් ඉතින් ෂේප් කර ගන්නවා. ඔන්න අම්මලා එක්ක එන කෙල්ලෙක් දිහාත් බත් බෙදන ගමන් බලන්න අමතක කරන්නේ නෑ. 

තොරණ ගහපු කූඩු හදපු සෙට් එක ආසා මිනිස්සු බලන්න ආවම වැඩේ ළඟ දැවටි දැවටි ඉන්න තමයි. සමහරු ආධාර කාර්යාලේ වැඩ. මෙතන දී තොරණ් ගහපු කොල්ලොයි තොරණ් බලන්න එන කොල්ලොයි කරන චාටර් වැඩක් තියෙනවා. එයාලටනම් ඒක ආතල්. තමන් එක්ක ඉන්න සෙට් එකෙන්ම දෙනවා විවාහ සුබ පැතුමක්. නැත්නම් පින් පැතුමක්. ඉතින් ආධාරයක් දුන්නම විරිඳු කියන කෙනා මේ බොරු  සෙත්  පැතුම විරිඳුවකින් කියනවා. ඔන්න එතකොට කස්ටියට හරි හිනා. සිඟිති ආතල් එක තමා. අපි කිව්වා ඔය සීන්වලට අමතරව පාරවල්වල කොඩි දාන, පන්සල් සුද්ධ කරන එක වගේ වැඩත් කරන්නේ ගමේ කොල්ලෝ සෙට් එකම තමා. භක්‌ති ගීත කියන්නේ තොරණ් කාලෙට තැන තැන කෙරෙන අපූරු කටයුත්තක්නෙ. ඔන්න ඒකටනම් කොල්ලෝ කෙල්ලෝ හැමෝම සහභාගි වෙනවා. හැබැයි භක්‌ති ගීත විරලයි. 

මේවා තමා තොරණ් කාලෙට තියෙන Y Trend. අර කිව්වත් වගේ මේ හැමදේකම දෙපැත්තක් තියෙනවා. අද වෙනකොට ඔය පාපැදි සවාරි, මෝටර් බයිසිකල් සවාරි වෙලා සමහරැ තමන්ගේ Girl ව පිටිපස්සේ තියාගෙන මහ පාරේ ඉගිල්ලෙනවා මිනිස්සු අස්සෙන්. දන්සල්වලින් තාරැණ්‍ය ඈත්වෙලා. පුවක් කොට තොරණ් වෙනුවට යකඩ පලංචි තොරණ් ඇවිල්ලා. කොහොම වුණත් අපි අද Y Trend එකෙන් කිව්ව සමහර Trend බුදු දහම අනුවනම් ගැලපෙන්නෙම නෑ.
සහෝ... අපේ  මිනිස්සු අල්ලගෙන තියෙන්නෙ ගොඩක් වෙලාවට වැරදි තැන්වලින්. ආගම දහමත් එහෙමයි. දැන් තියෙන වැරදි අඩුපාඩු තේරුම් ගන්න කාලේ හරි. මේ පාරනම් මේ දේවල් අඩුයි. ඒ රටේ තත්ත්වේ නිසා. ඒත් ලබන පාර ඉඳන් සුදු පුතාලා හොඳ නරක තේරුම් අරගෙන වෙසක් කාලෙට සුදුසු දේ විතරක් කරමු නේ...
 

► Text - Nisal   /   Pic – Internet