2019 මැයි 25 වන සෙනසුරාදා

නයා වෙසක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

වෙනත් අවුරුදුවල වගේ නෙවෙයි මේ පාර වෙසක් මංගල්‍ය සැමරුණේ ඉතාම චාමෙට. අසිරිමත් වෙසක් තෙමඟුලට වෙනමම හැඩයක් දෙමින් මේ පාර ජාතීන් හැමෝම වගේ මෙය සමරන්න විශාල උද්‍යෝගයකින් ඉදිරිපත් වුණා.
වෙනදාට වඩා ගෙවල්වල වෙසක් කූඩු හැදුණා. කුඩා දරුවො වැඩිහිටියොත් එක්ක එකට වාඩිවෙලා වෙසක් කූඩු හදන්න උදව් කළා, හැදුවා.

හවස් වුණා විතරයි ඔය කූඩුවලට ලයිට් දාලා හරි ලස්සනට තිබුණා. ඔන්න එතනින් පස්සෙ එක්කෙනා දෙන්නා ඔය ආලෝකමත් කළ වෙසක් කූඩුවල ලස්සන පින්තූර අරන් මූණුපොතේ පෝස්ට් කළා.
වැඩි වෙලාවක් ගියෙ නැහැ, අපේ ගෙදර වෙසක් කියලා fb පෝස්ට් එන්න එන්නම වැඩි වුණා. ඒවා බලපු එක්කෙනෙක් මූණුපොතේම මේ වගේ අදහසක් පළ කරලා තිබුණා.

වෙසක් කූඩු කෙසේ වෙතත් අපේ ගෙදර වෙසක් කිය කියා ඔයාලගෙ ගෙවල්වල වාහන, ලස්සන සෝෆා එහෙම පෙන්නුවා එහෙනම්.

 

චෙක් නිසා ගජරාමෙට වැඩලු

පසුගිය දවස්වල රටේ ඇතිවුණු ත්‍රස්තවාදී උවදුරු නිසා දැන් බොහෝ තැන්වල ආරක්ෂක අංශ විසින් නිවෙස් සෝදිසියට ලක් කරනවා.
ඔන්න ඔය හේතුව නිසා අපේ ප්‍රවීණ කලා ශිල්පිනියක් අමතර වෙහෙසක් ගන්නවලු ගේ දොර හොඳට සුද්ධ පවිත්‍රව තියාගන්න. ගෙදර ඉන්න දවස්වල දවසට දෙතුන් පාරක් ගේ අස්පස් කරනවලු, අල්මාරිවල ඇඳුම් අස්පස් කරනවලු, නාන කාමර සුද්ධ කරනවලු. එයාගෙ දරුවන්ටත් මේක ලොකු වදයක් වෙලා.

මොකක්ද අම්මෙ මේකෙ තේරැම? රෑ දවල් ගෙවල් අස්පස් කරලම ඔයාගෙ හොඳ පණ යනවනෙ.
එහෙම නෙවෙයි දරුවො, ගෙවල් චෙක් කරන්න ආවම ඒ නිලධාරී මහත්තුරු හිතයි ටී.වී.වල ජැන්ඩියට පෙනී හිටියට මේ ගොල්ලන්ගෙ ගෙවල් කොච්චර අවුල්ද කියලා. ඔය අපේ යාළුවෙකුගෙ ගෙදරට ළඟදී චෙක් කරන්න ඇවිත් කාමරේ එයාගෙ අල්මාරිය ඇරපු ගමන් ඒකෙ තිබුණු ඇඳුම් ගොඩම අර නිලධාරියාගෙ ඇඟට පෙරළිලා, ශිල්පිනිය කිව්වලු.

 

හිසරදේට තේ

අපේ දක්ෂ කලා ශිල්පිනියකට කාලෙක ඉඳලා සමහරදාට උදේට තද හිසේ කැක්කුමක් හැදෙනවලු. සමහර දවස්වල උදේට ෆෝන් එකත් ඕෆ් කරලා ඉන්නෙ. දවසක් එයාගෙ හොඳම යාළුවෙක් මේ ගැන දැනගත්තට පස්සෙ ලංකාවෙ ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයෙකු චැනල් කරලා මේ තනිකඩයව එක්කරගෙන ගියාලු ඔහුට පෙන්නන්න.

මිනිත්තු කිහිපයක් මේ ගැන අපේ තරුණ ශිල්පියා එක්ක කතා කරපු දොස්තර මහත්තයා, එයාට පිටට තට්ටුවක් දාලා කිව්වලු ඔයාට බෙහෙත් අවශ්‍ය වෙන්නෙ නැහැ. කියලා.
ශිල්පියාත් එක්ක දොස්තර හමුවට ගිය යාළුවට මේක ලොකු ප්‍රහේළිකාවක්ලු.

ඩොක්ටර් ඇයි මෙයාට බෙහෙත් අවශ්‍ය නැහැයි කිව්වෙ..?
මෙයාට ඔළුව කැක්කුම හැදෙන්නෙ උදේ හවස වෙලාවට තේ එකක් බිව්වෙ නැති වුණාම. එයාට කියන්න කම්මැලි නොවී වෙලාවට තේ හදාගෙන බොන්න කියලා, ලෙඩේ ඉබේටම හොඳ වෙයි, දොස්තර කිව්වලු.

 

► Text - Mithra