2019 මැයි 25 වන සෙනසුරාදා

දැහැන

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස තීරණය කරන්නට මට නොසිතෙයි. ඉරණම දෙවියන් වහන්සේ වෙත බාර දෙන්නට මට නොසිතෙයි. දෙවියන් වෙතින් ආදරය හැරෙන්නට අන් කිසිවක්ම නොඉල්ලන්නට මට සිත්වෙයි.... සුවපත් වනු පිණිස සරණක් ඇවැසිද කිසිවෙක්ගෙන් හෝ... ඔබේ උත්තරය.. 

මගේ උත්තරය.. නැහැ...

ලෝකය මැව්වද... නිර්මාණය වුණාද කියන එක වැඩක් නැහැ.. ලෝකයේ ජීවත් වෙන්නේ කෙළෙසද කියන කාරණයයි වැදගත්... මගේ ජාතිය මනුෂ්‍යත්වය මගේ ආගම ආදරය.... මගේ මාධ්‍ය මිත්‍රයෙක් එහෙම post එකක් දැම්මේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දේව මන්දිරයේ ගීතිකා මර ලතෝනියක් බවට පත්කළ සහරාන්ගේ IS ත්‍රස්තවාදය ත්‍රස්තවාදීන් නොවන ශ්‍රී ලාංකිකයන් හඬවපු දවසේ.... පොළොව තෙත් කළ ඒ අසීමිත හැම රුහිරු අංශු මාත්‍රයක් වෙනුවෙන්ම, අපි හැමෝටම ගෙවන්න ණයක් ඉතුරු වී තියෙනවා... යුතුකමක් වගකීමක් තියෙනවා.. එය ජාති ආගම් බෙදීම්වලින් වියුක්ත යුතුකමක්.. වගකීමක්.. ශ්‍රී ලාංකිකයන් ලෙස.. මේ රටේ පුරවැසියන් ලෙස අප සතු වගකීමක් සේම යුතුකමක්...

එදා ත්‍රස්තවාදී මානසිකත්වයෙන් වියුක්ත හැම ඇස් අග්ගිස්සකම කඳුළක් දිලිසුණා.. හැම හදවතක්ම නම ගමවත් නොදන්න මිනිස් සමූහයක් වෙනුවෙන් සුසුමක් හෙලුවා... එහෙත් මුළු ලෝකයම තමන් පාමුල කඩා වැටුණත් ඊළඟ මොහොතේ අපි ශක්තිමත්ව නැගී සිටිය යුතුයි.. දැල්වෙන ඉටිපන්දමකින් ගලාගෙන යන ඉටි ඉටිපන්දම පාමුල ගල්ගැසුණම හරිම ඝනකම්... අපේ කඳුළුත් ඒ ඉටි බවට පරිවර්තනය කරන්න අපට හැකිවිය යුතුයි.. සංවේදී වන හදවත් පවුරු කළුගල් බවට පෙරළන්න අපට හැකිනම්.. එතන තමයි ජයග්‍රහණයේ සේද මාවත..

අමතක කරන්න එපා මහා කළුගල් ගැඹුරේ දියසීරා ගලාගෙන යනවා
සිදුවූ සංසිද්ධීන් නැවත නැවත ආවර්ජනය කරන්නට, මතක අතර සැරිසරන්නට අප වැය කරන කාලය ත්‍රස්තවාදීන් තවත් ශක්තිමත් වීමට ඔවුන්ගේ අරමුණු කරා සේන්දු වීමට වැය කරන්න පුළුවන්. අප හඬන්නට සොයන කාලය ඔවුන් අප නැවත නැවතත් හඬවන්නට වැය කරන්න පුළුවන්.

ලෝකයේ ඇති වූ මහ සංහාර භුමියේ අයිතිය සහ ආගමේ පරමාර්ථ වෙනුවෙන් ඒ සංකල්ප කේන්ද්‍රගතව ඇතිවූ සංහාර... ඒ හැම යුද්ධයක්දීම මානව සංහතිය අමතක කළ පොදු කාරණාවක් තිබුණා... ඒ තමයි අපි සියලු දෙනාම සියල්ල කරන්නේ තිඹිරි ගෙයි සිට සුසානය දක්වා යන ගමන අතරතුර කියන එක... හෘද සාක්ෂිය හමුවේ නිර්මල විය හැකිනම් ඔබට..

ඉන් එහා අධිකරණයක් අභිමුව ඔබ වෙනුවෙන් යුක්තිය පසිඳිය යුතු නෑ...

දෙවියන් සිටින්නේ කොහෙද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න එපා...
දෙවියන් දෑසින් දකින අවකාශ සොයන්නත් එපා. දෙවියන්ගෙන් උත්තර ඉල්ලනත් එපා. ඒත් දෙවියන්ට ළඟාවෙන්න දෙවියන්ගේ ආදරයට ආදරය කරන්න දෙවියන්ගෙන් ආදරය ගැන ඉගෙනගන්න.