2019 මැයි 18 වන සෙනසුරාදා

බණ ඇහෙද්දී කවදාවත් චූටි දුව අර විදිහට නටන්නෙ නැහැ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 220

ඉතින් ඉෂාරා.. ජීවිතේ කොහොමද..?
ජීවිතේ සුන්දරයි. දැන් දෙන්නා තුන්දෙනා වෙලානෙ. ඒ අලුත් වෙනසත් එක්ක වෙනස්ම සුන්දරත්වයකින් ජීවිතය ගත කරනවා. මේක අපි දෙන්නටම අලුත්ම අත්දැකීමක්. ඒ සුන්දරත්වය ඇතුළේ බොහොම කාර්යබහුලයි. ඒත්.. මම ඒකට කැමතියි.

ඒ අලුත් ලෝකය.. අලුත් සුන්දරත්වය ඔයාගෙයි අනුරගෙයි ජීවිතවලට ගෙනාවෙ කවුද..?
ඒ තමයි අපේ චූටි දුව. එයාගේ නම ඉසස්යා සිදුප්‍රි සඳුමිණී පතිරණ. දැන් චූටි දුවට වයස හරියටම අවුරුද්දයි. චූටි දුව අපිට එකතු වුණාට පස්සෙ අපේ ජීවිත ටිකක් කාර්යබහුල වුණා. අපි දෙන්නා ගතකරපු නිදහස් ජීවිතය පොඩි කාර්යබහුලත්වයකට හැරිලා තියෙනවා. එයාට අවුරුද්දක් වෙද්දී අපි හිතුවටත් වඩා එයා ටිකක් වෙනස්. දැන් එයා වැටි වැටී නැගිටිනවා. ඇවිදින්න හදනවා. එයාම හිනාවෙනවා. කතා කරන්න, මොනවාහරි වචනයක් කියන්න උත්සාහ කරනවා. අම්මා කියන්න හදනවා. තාත්තා කියන්න හදනවා. ඒ දේවලුත් එක්ක සතුටක් හිතට දැනෙනවා.

අනුර.. ඔය දෙන්නා අතරට චූටි පැටියෙක් එන්න ළඟයි කියලා දැනගත්ත කාලෙදී ආසාවෙන් හිටියෙ දුවෙකුටද.. පුතෙකුටද..?
ඇත්තටම මම ආසාවෙන් හිටියෙ දුවෙකුට. හැබැයි ඉෂාරානම් පුතෙකුට තමයි වැඩියෙන්ම කැමතිවෙලා හිටියෙ. (අනුර එහෙම කියද්දී ඉෂාරානම් කිව්වෙ නෑ.. නෑ.. මාත් දුවෙකුට කැමැත්තෙන් හිටියා කියලයි) ඩොක්ටර් ස්කෑන් කරලා බලන්නත් කලින් මමනම් ඉෂාරාට කිව්වෙම අපිට ලැබෙන්නෙ දුවක් කියලයි. ඒ විදිහටම අපිට හරිම හුරතල් දූ පැටියෙක් ලැබුණා.

චූටි දුව මුලින්ම දකිද්දී තාත්තා කෙනෙක්ට දැනෙන හැඟීම වචනවලට පෙරළන්න හරි අමාරුයි. චූටි දුව ඉපදෙද්දී අනුරත් ඉෂාරා ළඟින්ම හිටියද..?
ඔව්.. ඇත්තටම ඒක වචනවලට පෙරළන්න හරිම අමාරුයි. ඉෂාරාට දුව ලැබෙද්දී තියටරි එකටම යන්න මටත් අවස්ථාව ලැබුණා. තියටර් කාමරය පිටිපස්සට වෙලා මම බලාගෙන හිටියා. ඒ හැඟීම කියන්න බැහැ. දුව සිසේරියන් එකකින් ගත්තත් ඊට කලින් ඉෂාරාට දැනිච්ච වේදනාව දකිද්දී ගොඩක් දුකයි. මුල ඉඳලම මට ඉෂාරා ළඟින්ම ඉන්න පුළුවන් වුණා. හැබැයි.. අන්තිමට චූටි දුව ළඟට එද්දී ඒ හැඟීම වචනවලින් කියන්න තරම් වචන නැහැ.

චූටි දුවට නම තිබ්බෙ කවුද..?
දුවට නම තියන්නත් මට හිතෙන විදිහට මාස දෙකක් විතර කාලයක් ගත වුණා. දුව ඉපදුණාට පස්සෙ අපි අපේ නෑදෑයන්ට, යාළු මිත්‍රාදීන්ට කියලා එයාට නමක් හෙව්වා. අන්තිමට අපේම යාළුවෝ කිහිප දෙනෙකුත් එක්ක එකතුවෙලා අපිම හදාගත්ත නමක් දුවට තිබ්බා.

අනුරට මතකද චූටි දුව මුලින්ම අතට ගත්ත මොහොත..?
හොඳට මතකයි. ඒ හැඟීම වචනවලින් කියන්න හරිම අමාරැයි. ඉෂාරාව තියටරි එකෙන් එළියට ගනිද්දී බබාත් එක්ක මාත් ගියා. චූටි දුවව පිරිසුදු කරනවාත් මම බලාගෙන හිටියා. ඊට පස්සෙ රෙදි කැබැල්ලකින් ඔතලා එයාව අරගෙන ආවා. ඒ වෙලාවෙදී ඒ නර්ස් මගේ අතට බබාව ටිකකට දුන්නා. ඉෂාරාටත් කලින් මම තමයි චූටි දුවව මුලින්ම අතට ගත්තෙ. ඇත්තටම ඒක හිතාගන්නවත් බැහැ. ඊට කලින් මම තත්ත්පර ගාණකට උඩදී, විනාඩි ගණනකට උඩදී ඉපදුණු චූටි බබෙක් වඩාගෙන තිබුණෙ නැහැ. ඒක වෙනමම අත්දැකීමක්. ඒක ගැන කියන්න වචන නැහැ.

ඉෂාරා.. මේ ප්‍රශ්නයට උත්තර දෙන්න හොඳම කෙනා තමයි ඔයා. රෑට චූටි දුව ඇහැරෙනවද..?
අම්මෝ.. ඔව්. රෑට ඇහැරෙනවා. මෙයා චූටි කාලෙදී රෑට වාර කිහිපයක්ම ඇහැරෙනවා. සූප්පුව හොයාගෙනම තමයි නැගිටින්නෙ. සමහරදාට බෙරිහන් දීලා අඬාගෙනම තමයි නැගිටින්නෙ. හැබැයි ඉතින් සූප්පුව දීපු ගමන් ආයෙත් නිදාගන්නවා.

දරුවාගෙ වැඩවලට උදව් කරන්නෙ කවුද..?
දරුවාගෙ වැඩවලට අනුරගෙ අම්මත් ඉන්නවා. මගේ අම්මත් ඉන්නවා. එයා චූටි දවස්වල එයාව නාවන, කවන, ඒ හැමදෙයක්ම අපි හතරදෙනා එකතුවෙලා තමයි ගොඩ දාගන්නෙ. දැන්නම් මට වගේම අනුරටත් ඒ වැඩ හොඳට හුරැයි.

දැන් ඉසස්යා දඟයිද..?
අම්මෝ.. හොඳට දඟයි. දරුවෙක් නිරෝගීනම් දඟලන්න ඕනනෙ. ඉතින්.. ඒ නිසා දැඟලිලිනම් හොඳටම තියෙනවා. එයා හරිම හුරතල් දරුවෙක්. ටී.වී. එකේ සින්දුවක් ගියොත්, එයාට ඇහුණොත් එයා ටක්ගාලා එයාගේ මූඩ් එක වෙනස් කර ගන්නවා. ඉඳගෙන හිටියොත් ටක්ගාලා නැගිටලා නටන්න ගන්නවා. පැද්දෙන්න ගන්නවා. තවම එයාට හරියට හිටගන්නත් බැහැ. හැබැයි එයාටම ඒක අමතක වෙලා නටනවා. සින්දුවක් යද්දී වචන කියන්න තේරෙන්නෙ නැතිවුණත් කටින් මොනවදෝ මුමුණනවා. ඒවා හරිම සුන්දර දේවල්.

ඔන්න.. ඔහොම ඉෂාරා චූටි ඉසස්යා ගැන කියද්දී අනුර ඒ කතාවට තවත් දෙයක් එකතු කළා. 
සින්දුවක් යද්දී විතරක් නෙමේ.. ගෙදර ටී.වී. එකේ හරි රේඩියෝ එකේ හරි බණ ඇහෙද්දී කවදාවත් චූටි දුව අර විදිහට නටන්නෙ නැහැ. ඒ වෙලාවටත් හිමිහිට මොනවද කියනවා. බුදු පිළිමයක් දැකපු ගමන් අත්දෙක එකතු කරලා සාදු කියලා කියනවා. ඒ වෙලාවටත් එයාගෙ මූඩ් එක වෙනස්. ගෙදර පහන පත්තු කරන එක අපි කොහොමත් කරනවා. ඒක එයාට පේන තැනකයි අපි කරන්නෙ. අපි වඳිනවා එයා දකිනවත් ඇති. ඒ දැකපු දේවල් එක්ක එයත් ඒවාට හුරුවෙන්න ඇති.

ඉෂාරා.. කාලයක් ඔබේ පෙම්වතා වුණු අනුර දැන් ඔබේ සැමියා.. ඒ චරිත දෙක අතරේ අද යම් වෙනසක් තියෙනවද..?
එයා පෙම්වතා වෙලා සැමියා වුණු එක අතරේ ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ. සමහරු බැන්දට පස්සෙ හිටපු පෙම්වතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා කියනවනෙ. හැබැයි මට ඒ චරිත දෙක අතරෙ ලොකු වෙනසක් තේරෙන්නෙ නැහැ. එදා ඉඳන් අද වෙනකම් මාව හොඳින් බලාගන්නවා. මාව විශ්වාස කරනවා. ඒ රැකවරණය තියෙනවා. චූටි චූටි නෝක්කාඩුකම් ඇතිවුණත් ඒවා හරියට බත ඉදෙනකම් විතරයි. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ.

ඉෂාරා ඇත්ත කියන්න.. දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නෙ කාටද..?
(ඔන්න.. ඒ ප්‍රශ්නය ඇහුවට පස්සෙනම් ඉෂාරා පොඩ්ඩක් කතාව නතර කළා. අනුර දිහා බලලා හිනාවුණු හැටියටනම් කේන්ති යන කෙනා කවුද කියලා මටම තේරුණා. ඒ නිසාම මම ඒ ප්‍රශ්නෙම ආයෙත් අනුරගෙන් ඇහුවා.)

අනුර.. ඉෂාරාට කේන්ති ගියාම මොකද කරන්නෙ..?
(දැන් ඔයාලටම තේරෙන්න ඇති නේද කාටද වැඩියෙන්ම කේන්ති යන්නෙ කියලා..) ඉෂාරාට කේන්ති යන එක මම හොඳට තේරුම් අරගෙනයි ඉන්නෙ. කේන්ති යන දේ අනුව එයාගෙ ප්‍රතිචාරය වෙනස්. සමහර වෙලාවට ඔහේ කියවනවා. සමහර වෙලාවට මූණ වෙනස් කරගෙන ඉන්නවා. එයාට කේන්ති ගියාම මම සද්ද නැතුව ඉන්නවා. මගෙන් ප්‍රතිචාරයක් නොලැබුණාම ඉෂාරාගෙ කේන්තියත් නිවිලා යනවා.

අනුර.. පෙම්වතිය විදිහට දැකපු ඉෂාරාමද අද මේ ඉන්නෙ..?
ඔව්.. ඇත්තටම ඒකෙ වෙනසක් වුණේ නැහැ. අපි දෙන්නගේම තේරුම් ගැනීම හොඳයි. මේ ලෝකෙ සීයට සීයක්ම ගැලපෙන දෙන්නෙක් නැහැනෙ. කවුරුහරි දෙන්නෙක් කියනවද එහෙම සීයට සීයක් ගැලපෙනවා කියලා. ඒක ලොකු බොරුවක්. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයෙ ඉන්න නිසා ඒක දැනෙනවා ඇති. අපි දෙන්නම රඟපානවා. දෙන්නම නිවේදනය කරනවා. දෙන්නම තව වෘත්තීන් දෙකක් කරනවා. මෙයා වෛද්‍ය වෘත්තියේ. මම නීතිඥ වෘත්තියේ නියැලිලා ඉන්නවා. කෑම ගත්තත් එක එක කෑම කන්න අපි දෙන්නම කැමතියි. කෑම හදන්නත් අපි දෙන්නම කැමතියි. ඒ වගේම තැන් තැන්වල යන්න අපි දෙන්නම කැමතියි. චූටි දුව ඉපදුණාට පස්සෙනම් එහෙම නිතර යන්න ලැබුණෙ නැහැ. හැබැයි.. ඊට කලින් අපි දෙන්නම කොහේහරි රවුම් ගහනවා. පාටිවලට යන්න ආසයි. අපිට ඒවත් ඕන තරම් තිබුණා. ඉතින්.. දෙන්නගේම සිතුම් පැතුම් එක්ක තාමත් එදා වගේම ප්‍රේම කරනවා කියලයි මටනම් හිතෙන්නෙ.

ඔබ දෙන්නම වෘත්තීන් කිහිපයක් කරන කලාකරැවන් දෙපළක්. අද එකම රස්සාවක් කරන අයත් කියන දෙයක් තමයි අම්මෝ මහන්සියි. ජීවිතේ එපාවෙලා.. වගේ දේවල්. මේ සම්බන්ධයෙන් අනුරට කියන්න තියෙන්නෙ මොකක්ද..?
ඒකෙ පොඩි වාසනාවක් තියෙනවා. රඟපෑම හා නිවේදනය කියන්නෙ ඇත්තටම කලාවක්. ඒක ආසාවෙන් කරන දෙයක්. ඒ නිසා ඒකෙ එපාවීම හරි අඩුයි. මම නීතිඥ වෘත්තියේ නියැලෙද්දී මගේ බොස් මමයි. ඉෂාරා ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට වැඩ කටයුතු කරන්නෙ. ඒ නිසා අපේ වෙලාව කළමනාකරණය කරගන්න අපිට හැකියාව ලැබුණා. අනිත් හැමෝටම වගේම අපිටත් පැය විසිහතරයි තියෙන්නෙ. ඒ කාලය තුළදී අපි කැමති විදිහට බෙදාගෙන වැඩ කටයුතු කරනවා. බබා එක්ක ඉඳිද්දී සමහර දවස්වල අපි වැඩ කරලා ඉවරවෙද්දී පහුවදා පාන්දර තුන විතර වෙනවා. හැබැයි.. අපි දෙන්නම කතාවෙලා අවුරුද්දක් විතර වෙනකම් වෙන කිසිම දෙයක් කළේ නැහැ. අපිට චූටි දුව එක්ක ගෙවපු ඒ කාලය ආයේ කවදාවත් එයත් එක්ක ගත කරන්න ලැබෙන්නෙ නැහැ.

ඉෂාරා.. ගෙදර වැඩවලට අනුරගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
අපේ ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරයි. අපිට අවශ්‍ය වෙලාවට අම්මලා අපිට උදව්වට එනවා. ඒ නිසා අපි දෙන්නා තනියම තමයි බබාව බලාගන්නෙ. අපි දෙන්නා විවාහ වුණේ ආදරය කරලයි. එදා ඉඳන් අද වෙනතුරු අපි දෙන්නා අපේ වැඩ එකතුවෙලා කර ගන්නවා. ඒවාට අම්මලාගේ උදව් ලැබෙනවා. නමුත් පවුල් ජීවිතේ ගෙනියන එක, බබා බලාගන්න එක, ගෙදරට සල්ලි හොයන එක, ඒ හැමදෙයක්ම අපි දෙන්නා එකතුවෙලා තමයි කරන්නෙ.

සමහරු ගෙදර කෑම බීම හදන එක, අස්පස් කරන එක බිරියට පවරනවා. ඉෂාරාගෙත්, අනුරගෙත් නිවෙසේ ඒ වගකීම් දෙන්නටම පැවරෙනවද..?
ඔව්.. අනිවාර්යයෙන්ම. අපේ ගෙදර කිසිම දෙයක් බෙදාගෙන නැහැ. දෙන්නම එකම විදිහට මහන්සි වෙනවා. මම උයන දවස් වගේම අනුර උයන දවසුත් තියෙනවා. අනුරට හරි රසට කෑම හදන්න පුළුවන්. මම වැඩට යද්දී මෙයා ගෙදර ඉඳන් බබාව බලාගන්නවා. එයා වැඩට ගියාම මම ගෙදර ඉඳගෙන බබාව බලාගෙන, උයන පිහන හැමදෙයක්ම කරගෙන ඉන්නවා. ඒක තවත් කෙනෙක්ට මදිපුංචිකමක් වගේ දැනෙනවා ඇති. ඒත් අපේ ගෙදර අපි දෙන්නම උපරිමයෙන් මහන්සි වෙනවා.

ඉෂාරායි අනුරයි ලස්සනට පිළිවෙලට අඳින දෙන්නෙක්. විලාසිතා, ඇඳුම් පැළඳුම් තෝරද්දී දෙන්නා එකතුවෙලාද ඒ දේවල් තෝරන්නෙ..?
ඔව්.. එදා ඉඳන් අද වෙනකම් අපි දෙන්නා උපරිමයෙන් උත්සාහ කරන්නෙ ගැලපෙන විදිහට ඇඳුම් පැළඳුම් අඳින්න. අපි දෙන්නම ලස්සන ඇඳුම් අඳින්න හරි ආසයි. අපි දෙන්නම නිතරම ෆොටෝ ගන්න, සෙල්ෆි ගන්න හරි ආසයි. ඒවා අරගෙන සතුටු වෙන්න අපි හරි ආසයි.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු..?
බලාපොරොත්තුනම් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ලොකුම බලාපොරොත්තුව තමයි අපේ චූටි දුව. මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට වැඩ කරන්න පටන් ගන්නයි ඉන්නෙ. ඒ අතර රංගන කටයුතු හා නිවේදන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඒත් චූටි දුව නිසා අවුරුදු එකහමාරක් විතර වැඩ නතර කරලා තිබුණෙ. ඒ කාලය අපිට ආයෙත් එන්නෙ නැහැ. බබාට ආයෙත් එන්නෙ නැහැ. ඒ නිසා දුවට තමයි මුල්තැන දෙන්න ඕනෙ. ඉදිරියේ දී මායි අනුරයි ව්‍යාපාර කටයුත්තක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ වසර චූටි දුවගේ මුල්ම වෙසක් සැමරුම නේද..?
ඔව්.. ගිය අවුරුද්දෙ එයා ගොඩක් චූටියි. දැන් එයාට ටිකක් තේරෙනවනෙ. එයාට වෙසක් කූඩු දකිද්දී හරි වෙනස්. පුදුමයි. පාට පාට වෙසක් කූඩුවලට එයා හරි ආසයි. හැබැයි අද පවතින වාතාවරණය එක්ක වෙසක් අසිරිය බලන්න ලැබෙන්නෙ නැහැ. ඒ හින්දා ගෙදර වෙසක් කූඩු හදලා එයාට ඒ දේවල් අපි පෙන්වනවා.

 

► Text - Dishani   /   Pic - Sumudu