2019 මැයි 18 වන සෙනසුරාදා

සිල් ගත්තද..? කූඩු හැදුවද..?

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 215

කතා පෙට්ටිය ළඟට ගිහින් කෑගහලා බණ කතා කීවා

රොහාන් විජේතුංග

පුංචි කාලේ මම පන්සල් ගිහින් සිල් ගන්නෙ බණ අහන්නම නෙමේ. එදාට සිල් ගත්ත අයට දෙන දානය බලන්න මම හරි ආසයි. වෙසක් දවසට ස්පෙෂල් දානයක් තමයි ලැබෙන්නෙ. ඉතින්.. ඒක කන්න මම හරි ආසයි.
ඒ විතරක් නෙමේ, ඒ කාලේ සිල් ගත්තාම මයික් එකෙන් කතා කරන්න චාන්ස් එකක් ලැබෙනවා. අපේ ගම්වල වෙනදාට මයික් එකෙන් කතා කරන්න චාන්ස් එකක් තිබුණෙ නැහැ. හැබැයි.. වෙසක් එකට එහෙම චාන්ස් එකක් ලැබෙනවා. දවල් දානය අරගෙන ඉවර වුණාට පස්සෙ කතා පෙට්ටිය කියලා පැයක වැඩසටහනක් පන්සලේ පවත්වනවා. ඒකෙදී බණ කතා දන්න අයට මයික් එකෙන් මුළු ගමටම ඇහෙන්න ඒවා කියන්න අවස්ථාවක් ලැබෙනවා. අපේ වයසේ ළමයින්ට කවුරුත් මයික් එක අල්ලන්නෙ නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳන් මිනිස්සු ඉස්සරහට ගිහින් මයික් එකෙන් කතා කරන්න මම හරි ආසයි. ඊට සති දෙකකට විතර කලින් මගේ ආතාට කියලා බණ කතා දෙකක් විතර පුරැදු වෙනවා. කතා පෙට්ටිය පටන් ගත්ත ගමන් මම දුවලා ගිහින් මයික් එකෙන් අර පුරුදු වුණු කතාව කියනවා. මම පොඩි කාලේ හිටියෙ මගේ ආතා ළඟයි. මගේ ආතා මට හරි ආදරෙයි. පොඩි එකෝ.. උඹ ඉස්සරහට ගිහින් ලවුස්පීකරෙන් කතාව කියපං.. මම ගේට්ටුව පහළට වෙලා අහගෙන ඉන්නම් කියලා ආතා මට කියනවා. මම ආතාට ඇහෙන්න මයික් එකට කෑගහලා කතාව කියනවා. 

වෙසක් දවසට වෙසක් කූඩු එල්ලන්නත් මම හරි ආසයි. අදටත් අපේ ගෙදර වෙසක් කූඩු හදනවා. අප්‍රේල් ඉවර වෙද්දීම අපි වෙසක් එකට ලෑස්ති වෙනවා. අපේ ගෙදර අපි පොඩි කාලේ ලයිට් තිබුණෙ නැහැ. අපේ ගෙදර වැඩියෙන්ම එළිය වුණේ වෙසක් දවසටයි. මට එදාට හරියට මැජික් එකක් වගෙයි. අපේ ගෙදර වෙසක් කූඩු දහයක් දොළහක් හදනවාමයි. බකට් හතළිහක් විතර ගේනවා. එදාට තමයි අපේ ගෙදර වැඩිපුරම ඉටිපන්දම් පහන් පත්තු වුණේ. අපි බකට් එල්ලුවෙ මහ ගස් මුදුන්වල නැගලා. ගමේ ඈතටම අපේ බකට්වල එළිය පෙනුණා. ඒ කාලේ හරිම අපූරුයි.

පන්සලේ දානය කාලා 
ගෙදරිනුත් කෑවා

ධනුෂ්ක රත්නායක

මම කිහිප වතාවක්ම පොඩි කාලේ සිල් අරගෙන තියෙනවා. ඉස්සර මට තාම මතකයි.. අපේ වයසේ කොල්ලො ටික එකතුවෙලා සිල් ගත්තාම පන්සලේ දුන්න දානයට අමතරව අපේ ගෙවල්වලිනුත් අම්මලා දානයට කන්න මොනවාහරි අරගෙන එනවා. අපේ දානය වෙලාවට අපිට දානය බෙදුවේ අපේ වැඩිහිටියො. ඉතින්.. කාලයක් ගියාට පස්සෙ අපිට දානය බෙදපු වැඩිහිටියන් සිල් අරගෙන අපි ඒ අයට දානය බෙදන කාලයකුත් උදා වුණා. ගමේ තරුණයන් එකතුවෙලා සිල් ගත්ත අයට දානය පිළියෙල කළා.

ඉස්සර මායි අයියයි වෙසක් එකට බට සොයාගෙන වෙසක් කූඩු හදලා ගෙදර එල්ලුවා. සමහරදාට අපි දෙන්නා වෙන වෙනම කූඩු හැදුවා. එහෙම හදලා අපි දෙන්නගෙන් ලස්සනම කූඩුව මොකක්ද කියලා නෑදෑයන්ගෙන් අහපු කාලයකුත් තිබුණා. අද නම් අපේ ගෙදර කූඩු හදන්නෙ මගේ බිරිය. දරැවන්ට පෙන්නන්න ඕන නිසා එයා අපේ ගෙදරටයි එයාලගේ ගෙදරටයි කූඩු හදනවා. මාත් ඉතින් ගෙදර හිටියොත් පොඩ්ඩක් උදව් වෙනවා.

සිල් ගත්තේම 
කවිබණ අහන්න

පියුමි ශ්‍රීනායක

මම හරි ආසයි කවිබණ අහන්න. ඉතින්.. පෝය දවස්වලට පන්සල්වල කවිබණ කියනවනෙ. මම පන්සලේ සිල් ගන්නෙ ඒ කවිබණ අහන්නම තමයි. බණ අහන්නනම් මම එච්චර ආස නැහැ. සමහර වෙලාවට බණ යද්දී ළමයි නිදි. එහෙම නැත්නම් පන්සල්වත්තෙ සෙල්ලම් කරනවා. හැබැයි ඉතින් කවිබණ කියන වෙලාවටනම් මම ඉස්සරහට වෙලා ඒ කවිබණ අහනවා. මම පන්සලේ, ඉස්කෝලෙ, දහම්පාසලේ සිල් අරගෙන තියෙනවා. මෑත කාලයේනම් සිල් ගන්න ලැබුණෙ නැහැ. හැබැයි පන්සල්නම් යනවා.

පොඩි කාලෙත් මම වෙසක් එකට වෙසක් කූඩු හදලා තියෙනවා. දැනටමත් මම වෙසක් කූඩු හදනවා. මම තනියම හදන්නෙ නැහැ. මගේ නෑදෑයො, අපි කට්ටියම එකතුවෙලා තමයි වෙසක් කූඩු හදන්නෙ. සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙද්දීම අමුතු සුළඟක් එක්ක වෙසක් අසිරිය අපිට දැනෙනවනෙ. ඒක දැනට වඩා ඉස්සර අපිට දැනුණා. අපි පොඩි කාලේ මේ කාලෙට වෙසක් නේද? කියන හැඟීම අපිට දැනෙනවා. මම දන්සල් හැම අවුරුද්දෙම ගිහින් තියෙනවා. සමහර දන්සල්වලින් අයිස්ක්‍රීම් දෙක තුන කාලත් තියෙනවා. ඒ අත්දැකීම් හරි සුන්දරයි.

එක තැන ඉන්න බෑ
පස්සයි කොන්දයි රිදෙනවා

සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ

මම පොඩි කාලෙ වෙසක් එකට සිල් අරගෙන තියෙනවා. ඒ කාලෙ සිල් ගන්න ගියාම මට තිබුණු එකම අවුල වුණේ එකම තැන ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න තියෙන අමාරැවයි. සමහරු උදෙන්ම ඇවිත් බිත්ති අයින අල්ලගන්නවා. එහෙම අල්ලගත්ත දවසට ටිකක් ෂේප්. නැත්නම් ඉතින්.. පස්සයි කොන්දයි රිදෙනවා. එහෙම ඉන්න අමාරු වෙලාවට හෙමින් සීරැවෙ බණ ශාලාවෙන් එළියට ගිහින් පන්සල්වත්තෙ සෙල්ලම් කරපු කාලයකුත් මට තිබුණා. ඒ වෙලාවට ගත්ත සිල් නැහැ. පන්සලේ හාමුදුරුවන් ඈතින් එනවා දකිද්දී දුවගෙන ගිහින් ආයෙත් බණ ශාලාවේ වාඩිවෙනවා. දානය ගත්තට පස්සෙ හිත තියෙන්නෙ ගෙදර. කොයි වෙලේ මෙතනින් යන්න ලැබෙයිද කියලා බල බලයි ඉන්නෙ. ගෙදර එද්දී උතුරුසළුවත් නැහැ. ඒක වෙන කොහෙද..? සමහර වෙලාවට සිල් පවාරණය කරන්නත් කලින් ගෙදර ගිහින් අයිස්පැකට් කාපු කාලයකුත් තිබුණා. මට වෙසක් කූඩු හදන්න පුළුවන්. එක එක විදිහේ කූඩු හැදුවා. දහම්පාසල් කූඩු තරගවලට පවා කූඩු හදලා ජයග්‍රහණය කරලා තියෙනවා. මම වෙසක් කූඩු හදන්න ආසයි. ඒක වෙනමම අත්දැකීමක්.

දඩබ්බරකම වැඩිකමට 
සිල් ගත්තෙ නෑ

දුලීකා මාරපන

මගේ ගෙදර තියෙන්නෙ පන්සල ඉස්සරහයි. ඉතින්.. පොඩි කාලේ මට පන්සලේ බණ කතා, කවිබණ, බෝධිපූජා හැමදේම ඇහුණා. මට පොඩි කාලෙ ඉඳන් හිතුණු දෙයක් තමයි බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සමාජගත කරද්දී එක එක්කෙනා විවිධ උප්පරවැට්ටි කරනවනෙ. ජාතික කතාවලින් කට්ටියට බණ කියනවා. කවිබණ කියනවා. ඒ ඔක්කොම එක්තරා විදිහකට හරි වෙන්න පුළුවන්. නමුත්.. මම ධර්මය තේරැම් ගන්න උත්සාහ කළේ ඒ හරහා නෙමෙයි. මට තාම මතකයි.. මම ඉස්සර හරි දඩබ්බරයි. අපේ පන්සලට වනවාසී ස්වාමින් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේ ගමේ හිටපු බොහෝ දෙනෙකුට කමටහන් දීලා භවනා කරන්න පුරැදු කළා. ඒ නිසා අපේ අම්මත් දඩබ්බර වෙච්ච, කියන දෙයක් අහන්නෙ නැති මාවත් බලෙන්ම ඒ ස්වාමින් වහන්සේ ළඟට එක්කගෙන ගියා. කවදාවත් මේ දරුවා බලෙන් අරගෙන එන්න එපා. මේ දරුවට හිතුණු දවසට මේ දරුවා ධර්මය අවබෝධ කර ගනීවි. කියලා මාව දැකපු ස්වාමින් වහන්සේ කිව්වා. 
අදටත් ඔය තොරණ ගහලා කරන කෙළිවලට මම එච්චර කැමති නැහැ. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ තුළ තිබුණෙ නැහැ. සිල් ගන්න හැමෝම ඒ සීලයේ පිහිටුවා සිටිනවාද කියන එක මට ගැටලුවක්. ඒක දැන් මෝස්තරයක් වෙලා. මිනිස්සු ධර්මය ඇසුරේ සිටිය යුතුයි. ස්වාමින් වහන්සේලාගෙන් ධර්මය අවබෝධ කරගත යුතුයි. හැම මනුස්සයෙකුටම ධර්මයක් තිබිය යුතුයි. ධර්මයේ පිහිටා කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා. එහෙම ධර්මයක් නැති තැන තමයි සමාජයේ බොහෝ වැරදි සිද්ධ වෙන්නෙ.

 

► Text - Dishani / Pic – Sumudu & Internet