2019 මැයි 18 වන සෙනසුරාදා

තාත්තා මාව හැංගුවා

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 118

Art එකේ කැරට්ටුව..

- හඬ: චම්මින්ද වෙලගෙදර

මුළු කොළඹ අහසම අඳුරුයි.. 
හිතේ කොණක මොකක්ද කියාගන්න බැරි දෙයක් හැංගිලා... 

මොනදේ කොහොම වුණත් අපි ජීවිතයට මුහුණ දෙන්න ඕන....  ඒකට නැවතුමක් නෑනේ.. 
හරි අපි සුපුරුදු පරිදි අද මුණගැහෙන්න ආවේ... ටිකක් විශේෂ කෙනෙක්ව. ටිකක් කිව්වට ටිකක්ම නෙමේ... ගොඩක්... ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. ඒ වගේම දක්ෂ ලේඛකයෙක්... සක්කාරං කියන කෘතියේ හිමිකරු ඔහුයි... ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරපු  සක්කාරං චිත්‍රපටයේ තිරපිටපතත් හිමි අද අපි මේ කියන පුද්ගලයාටම තමයි...

හරි හරි වැඩි කතා නැතිවම මම කියන්නම්...
චම්මින්ද.....

චම්මින්ද වෙලගෙදර කියන්නේ ඒ නිරහංකාර ලේඛකයා...
මොහොතකට ඒ කාරණාව පැත්තකට කරලා.... මුලින්ම චම්මින්ද වෙලගෙදරගේ ජීවිතයට පොඩ්ඩක් එබිකම් කරලා මේ දවස්වල මොනවද වෙන්නෙ කියලා දැනගෙන ඉමුද?
හොඳින් ඉන්නවා ඉතින්... නිර්මාණ වැඩ ටිකක් නතරකරලා මගේ විභාගයකට කියවමින් ඉන්නවා. ඒකට තමයි මේ දවස්වල මම මූලිකත්වය දීලා තියෙන්නෙ...
චම්මින්ද වෙළගෙදරගේ නිර්මාණ අපි දැකලා තියෙනවා. ඒවා නැතුව ඔබගේ හදවත සියුම්ව ස්පර්ශ කරපු, පරිකල්පනයේ අතරමං කරපු නිර්මාණයක් මතකයට නගමුද...?
එහෙම නිර්මාණයක් කියන්න කියපුවාම... හරි අමාරුයි එක නිර්මාණයක් තෝරාගන්න...

ඒත් මේ ප්‍රශ්නයට පිළිතුරත් දෙන්න ඕනෙ නිසා මම බලපු හොඳ චිත්‍රපට අතරින් මගේ හදවත කම්පනය කරපු නිර්මාණයක් තෝරගන්න හිතුවා.. සාජි එන්. කරුන් අධ්‍යක්ෂණය කරපු පිරවි චිත්‍රපටය තමයි මම තෝරගන්නෙ...
මේ සිනමා පටයේ කතා තේමාව හරිම සංවේදියි. ප්‍රධාන චරිතය වන රඝවා චක්යර්ට සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.. ටිකක් වයසට ගිහින් තමයි රඝවා විවාහවෙලා තියෙන්නෙ. දරුවන් ලොකු මහත් වෙනකම් බොහෝම ආදරයෙන් තමා රඝවා ඔවුන්ව බලාගන්නෙ. රඝු තමයි පිරිමි දරුවා. ගමෙන් ඈත නගරයක තියෙන ඉංජිනේරු විද්‍යාලයක තමා ඔහු අධ්‍යාපනය ලබන්නේ... රඝුගේ සහෝදරියගේ නම් ප්‍රසිද්ධ කිරීමේ උත්සවය සඳහා රඝු අනිවාර්යයෙන් පැමිණිය යුතුව තිබුණා... රඝු හැමදාම ගෙදර එයි කියලා වයසක පියා ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන මග බලාගෙන ඉන්නවා.. හැමදාම බස් නැවතුම්පොළට ගිහින් ගමට එන අන්තිම බස් එකත් එනකම් මේ අහිංසක පියා නෙත් අයා බලාගෙන ඉන්නවා... ඒත් ඔහුගේ පුතා පැමිණෙන්නේ නෑ.. අවසානයේ ඔහුට පුවත්පතකින් ආරංචි වෙනවා දේශපාලන හේතුන් මත රඝුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන කියලා... මේ පුවත් සැලවීමත් එකක් වයෝවෘද්ධ පියා පුතාව සොයාගන්න අපමණ වෙහෙසක් දරනවා. පුතා වැටී තිබෙන කරදරයෙන් බේරගන්න උත්සාහ කරන සංවේදී සහ අනුවේදනීය කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. පිරවි චිත්‍රපටය පිතෘත්වය, දාරකත්වය, සමාජ අසාධාරණය වැනි හැඟීම් සමුදායක් සිත්තුළට කාවද්දන විශිෂ්ඨ සිනමා කෘතියක්.

පිරවි සිනමා කෘතිය ඔබට මෙච්චරම දැනෙන්න ඔබේ ජීවිතයේ අත්දැකීමක් එකක් මේ කතාව මුසුවෙලා කියලා මට හිතෙනවා...?
ඔව්... ඔබ මගෙන් මේ ප්‍රශ්නය පෞද්ගලිකව ඇහුවත්... පොදුවේ ඇහුවත්.. ඒ වගේ අත්දැකීම් මට ගොඩක් තියෙනවා... එක්දාස් නමසිය හැත්තෑ එක ගත්තත් එක්දාස් නමසිය අසූතුන අසූනමය ගත්තත්... ඒවගේ අත්දැකීම් එකක් ජීවත්වෙච්ච පුද්ගලයෙක් වශයෙන් සාමූහික අත්දැකීමක් බවට මේ වගේ සිද්ධි පත්වුණා. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාට අඩු වැඩි වශයෙන් මුහුණදුන්න අත්දැකීමක් තමයි මේ චිත්‍රපටය වස්තුවිෂය වෙලා තියෙන්නේ... 1971 මම තරුණයෙක්... මගේ තාත්තා ඒ කාලේ මාව හංගන්න දරපු උත්සාය මට තාම මතකයි... 83-89 ඒ භීතිය මගේ තාත්තාගේ ඇස්වල මම දැක්කා... ඒ වගේ දස දහස් ගණන් තාත්තලා දුවාදරුවන් වෙනුවෙන් අපේක්ෂාභංගත්වයට පත්වුණ අවස්ථා බොහොමයක් තියෙනවා. ඇත්තටම මේ අපේ කතාවත් ඒ නිසාම තමයි මගේ හදවත මේ සිනමා කෘතිය තදින් ස්පර්ශ කරන්නෙ... 

මේ නිර්මාණ ඇතුළේ චම්මින්දගේ කැමැත්ත වැඩිපුරම හිමිවුණ චරිතයකුත් ඇති නේද?
විවාදයක් නෑ... මම කැමති චරිතය තාත්තා... ප්‍රේම්ජී අර්චනා කියන නළුවා තමයි තාත්තාගේ චරිතයට පණ පොවන්නේ... ඔහුට අවුරුදු 80 විතර ඇති... මං හිතන්නේ ඔහු වෘත්තීය නළුවෙක් නෙමේ... ඒත් ඔහුගේ අතිවිශිෂ්ඨ රංගනය මට මගේ තාත්තාව මතක් කරන්න තරම් ප්‍රබලයි. මට විතරක් නෙමේ... බොහෝ දරුවන්ට ඒක එහෙමම වෙන්න ඇති කියලා මම හිතනවා. ඔහු රඟපෑවා කියලා මම හිතන්නේ නෑ. ඔහු ඒ චරිතය ඇතුළේ ජීවත් වුණා කිව්වොත් තමයි හරි... 

කතාව ටිකක් වෙන පැත්තට අරන් යන්න මට ඕන වුණා... ඒ නිසාම මම මෙහෙම ඇහුවා..  චිත්‍රපටයේ රඝවා කියන තාත්තා අත්දැකීම්වලට.. චම්මින්ද වෙලගෙදරට මුහුණදෙන්න වුණොත්... මොකෙන් මොකක් වෙයිද?
මගේ තාත්තා මට එයා ලබාගත්තට වැඩිය අධ්‍යාපනයක් ලබාදුන්නා. ඒ නිසාම සමාජයේ වෙන සිදුවීම් සාපේක්ෂව හිතන්න මම ගොඩක් දුරට පෙළඹෙයි රඝුගේ තාත්තාට වැඩිය... මොකද මම දන්නවා මේ සිදුවීම්ට මුහුණදෙන පළමු තාත්තත්, අවසාන තාත්තා මම නොවන වග මම දන්න නිසා... ඒ වේදනාව අඩුවෙන් දැනෙන නිසා නෙවේ... මම අදහන දර්ශනයත් එක්ක මට ඒ දේ දරාගන්න ශක්තිය තියෙනවා කියලා හිතනවා... මේ ගනුදෙනුව මමයි මගේ හිතයි අතර විතරක් තියෙයි. අනිත් අයට ඒ දුක නොදැනෙන්න මම වගබලා ගන්නවා.. 

පිරවි සිනමා සිත්තම ඇතුළේ ඔබව සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද?
ඔව්.. අතිශය සංවේදී තැනක් මට මතකයි... මම මේ චිත්‍රපයට බැලුවේ මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේ... මරදාන කියන්නෙ අතිශය ජනාකීර්ණ, අධික වාහන තදබදයකින් යුක්ත නගරයක්නෙ..  මම චිත්‍රපටය බලලා සිනමා ශාලාවේ ඉදිරි දොරටුවෙන් එළියට ආවා.. මම දැක්කේ අතිශය තරඟකාරී විදියට එකාට එකා පරයාගෙන වාහන යන දර්ශනයක්.. මම එළියට එනකොට මගේ අතේ තිබ්බ ෆයිල් එක ඉබේම ඔළුවට ඇවිත් තිබුණා... මම වටපිට බැලුවා මම වගේම තවත් කීපදෙනෙක්ගේ ඔළුවල දිනපොත්, ෆයිල්කවර, මම දැක්කා..  තවත් කීපදෙනෙක් ඔවුන්ගේ අතින්ම ඔළු අල්ලගෙන... හරිය නිකන් වැස්සකින් බේරෙන්න වගේ... මේ චිත්‍රපටයේ අවසාන රූපරාමුවේදී මහ මොරසූරන වැස්සක් වහිනවා. මේ වැස්සෙත් තාත්තා බස් නැවතුමට වෙලා බලාගෙන ඉන්නවා අවසාන බස් එක එනකන්... එත් එදත් පුතා එන්නෙ නෑ... ඒ ජවනිකාවෙන්ම තමයි අපි එළියට ආවේ... අපේ සිතත් ගතත් ඒ දැහැනෙන් මිදෙන්න සෑහෙන වෙලාවක් ගියා... අවසන් දර්ශනයේදී සාජි එන්. කරුන් කියන අධ්‍යක්ෂවරයා සියුම් ලෙස අපි හැමෝවම එක ලක්ෂයකට එකතුකරලා එකපාරම මුදාහැරියා... මට එක දර්ශනයක් නෙමේ... මේ සෑම දර්ශනයක්ම මට සංවේදීයි...  ඒ තාත්තා කුඹුරට ගියත්, කඩපිලට ගියත්, මහමඟ ඇවිද්දත්.. ඒ පරිසරය, ඒ වටපිටාව අපේ ජීවිතවලට හොඳටම හුරුයි... අපි අත්වින්දෙ අපේ මිනිස්සු, අපේ දෙමව්පියෝ වින්ඳ ඒ යටගිය අතීතයයි.   

ඔබ කී වරක් මේ චිත්‍රපටය බැලුවද?
ඇත්තටම මට මේ චිත්‍රපටය බලන්න හම්බවුණේ එක වතාවයි.. නමුත් ඒ එක මොහොතේම මගේ හදවත පතුලේම ඒ සිනමා සිත්තම තැන්පත් වුණා... ඒ රසය තාමත් මගේ මතකයේ තියෙනවා... ඒ නිසාම නැවත නැවත නොබැලුවා කියලා මට කිසිම හානියක් නෑ. 

මේ සිනමා කෘතියෙන් චම්මින්ද වෙලගෙදර ලැබූ ඵලය මොන වගේ එකක්ද? ඒක වචනවලට පෙරළමුද?
මේ ප්‍රශ්නෙට උත්තරේ මම මෙහෙම පටන් ගන්නම්කො.. 

ජීවිතය දිහා පහන් සංවේගයෙන් බැලීම සහ අටලෝ දහමින් නොසැලී යුතු ජීවිතය ගැන පාඩම් මාලාවක්ම මේ කෘතියෙන් අපිට දීලා තියෙනවා. ජීවිතයේදී මට හම්බවෙන පරාජයදී මගේ හිත හදාගන්න උදව්වෙන්න මේ කෘතියෙන් ලැබුණු පාඩම් තමයි. මේ ජීවිතය කොච්චර නීරසද කියන එක සියුම්ව චිත්‍රපටය ගෙනහැර පානවා... හරියට ඒක මලකින් එන පිවිතුරු සුවඳ වගේ...
චිත්‍රපටයක් කියන්නෙ හිතළුවක් වෙන්න පුළුවන්... පරිකල්පනය තුළ බිහිවෙච්චි නිර්මාණාත්මක ආනිසංසවලින් යුක්ත කෙනෙකුට විශ්වාස කළ හැකි කෘතියක් නම් විතරයි අපේ හද ඇඳ බැඳගන්න පුළුවන් වෙන්නෙ... කෙනෙකුගේ පෙර අත්දැකීමක් නොවුණත් කෙනෙකුට දැකල විඳිය හැකි දෙයක්නෙ අපි අපේ අත්දැකීමක් බවත් පත් කරගන්නෙ.. එහෙම බිහිවෙන පරිසරයෙන් අපිට දැනෙන සංවේදීතාවයේ උච්චත්වය, රූපරාමුවල  හැඩතල, ආලෝකය මෙහෙයවපු ආකාරය, සංගීතය සහ නිසල රූපවලින් අපේ හදවත්වල තිබුණු කිසියම් කතාවක් චිත්‍රණය කරලා තිබුණා.. ඒ චිත්‍රණය ඔස්සේ.. වෙනත් භාෂාවකින් කියන දරු නැලවිලි ගීයක්, මව් ගුණ ගීයක්, ජාතික අභිමානී ගීයක් ගයනකොට දැනෙන හැඟීම වගේ එකක්.. මට මේ චිත්‍රපටය බලනකොටත් දැනෙන්න ගත්තා..  

මට චිත්‍රපටය බලද්දී දැනෙන්නෙම මේක අපේ කියවීමක් විඳීමක් ලෙසටමයි.. සාජිත් අපට ඒ හැඟීම පිරවිතුලින් දෙන්න උත්සාහකර තිබෙනවා.. ඒ නිසාම මගේ හිතේ ඇතිවුණ සියුම් හැඟීම් නිසල කළා කිව්වත් ඒක වැරදි නෑ... 
කතාවෙන් කතාවෙන් අන්තිම ප්‍රශ්නයටත් ආවා.... 

මේ කතාවේ අවසාන තප්පර කිහිපය ගතවෙනකොට.. ඔබේ හිතට ආවේ මොන වගේ හැඟීමක්ද?
මට ආපු හැඟීම තමයි... සමාජයෙන් වෙන අසාධාරණකම් ශ්‍රී ලාංකික කියලා නෑ, බංගලි කියලා නෑ, ඉන්දියා කියලා නෑ, හැමතැනම මිනිසුන් අතර අමනුස්සයෝ ඉන්නවා.. ඒ අමුනුස්සකම් නිසා, සාමාන්‍ය වැසියන් විඳින දෛයිනික සූරාකෑම්, දෛනික වේදනාව, කුතුහලය, සන්ත්‍රාසයෙන් ඉන්නා පිරිස් හැමතැනම ඉන්නවා කියන හැඟීම මට ආවා. හැකි එකා නොහැකි එකාව කොයිතරම් දුරට පාවිච්චි කරනවද? එහෙම පාවිච්චි කරලාත් ඒ මිනිහව මරාදමනවාද? කියන එක මට දැනෙන්න ගන්නවා.. බලය විසින් මිනිසාව උන්මත්තකයෙක් කරනවාද? කියන එක අපි දැකගන්න පුළුවන් වුණා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි.. සියලු දුරාචාරකම්, තක්කඩිකම්, සූරාකෑම් මැද්දේ මනුෂ්‍යත්වය කියන මඳ සුළඟ හමා යනවා.. ඒ සුළඟ මේ කෘතීන් ඔස්සේ ක්‍රමක් ක්‍රමයෙන් ගෙනයන්න පුළුවන්. පරිකල්පනයක් තියෙන නිර්මාණවේදීන් නිසා අපි ඒ කෘතීන්වලට දැඩිලෙස බැඳෙනවා.. පිරවි චිත්‍රපටය තුළත් මානවීය දයාව කියන සියුම් හුය, මේ කතාවෙත් ඉඳිකටු තුඩකින් නූලකට අමුණන මුතුඇට සේ අපිට දකින්න පුළුවන්...

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet