2019 මැයි 18 වන සෙනසුරාදා

බොම්බායේ බෝම්බ 24ක්!

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 44
මේ කියන්න හදන කතාව සිද්ධවෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරය ආශ‍්‍රිතවයි. හනීෆ් කියන්නේ තමන්ගේ ආගමේ නාමයෙන් ලෝකයා හමුවේ පෙනී ඉන්න ත‍්‍රස්තවාදියෙක්. එයා  නියෝජනය කරන්නේ තැහැරීර් අල් හින්ද් කියන ත‍්‍රස්තවාදී කල්ලියයි. ඒ ත‍්‍රස්තවාදී කල්ලිය කිසිම දෙයක් නොදන්න අහිංසක සාමාන්‍ය ජනතාව මරාගෙන මැරෙන බෝම්බ විසි හතරක් තැන් තැන්වල පුපුරවලා මරාදාන්න මේ වෙද්දී මුම්බායි නගරයට ඇවිල්ලා ඉන්නේ. අන්න ඒ ගැන හොයන්න ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිර්භීත නිලධාරියෙක් විදියට පත් කරන්නේ එස්.එස්. දේවන්ව. බෝම්බ විසි හතරක් මරාගෙන මැරෙන බෝම්බකරැවන් පුපුරවාගෙන මැරෙන්න ගියත් එයින් එක්කෙනෙක් මුම්බයි නගරයේ දී රිය අනතුරකට ලක් වෙනවා. එහෙම අනතුරට පත්වෙන්නේ හනීෆ්. 
 
දේවන් - ත‍්‍රස්තවාදයට කිසිම මුහුණුවරක් නැහැ. ත‍්‍රස්තවාදීන්ගේ ධර්මය සල්ලි විතරයි. ඒත් අපේ ධර්මය ඩියුටි එක.
දේවන් තමන්ගේ යටතේ සේවය කරන විශ්වාස කනිෂ්ඨ නිලධාරීන් වන රෝහිත් සහ හුස්නා එක්ක බරපතළ සාකච්ඡාවක නිරත වෙමින් ඉන්නේ.
රෝහිත් - රාජ්‍ය බුද්ධි අංශය මාස දෙකක ඉඳන් මනුස්සයෙක්ව ට‍්‍රැක් කරලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා එයා ස්ලීපර් ඒජන්ට් කෙනෙක් කියලා.
හුස්නා - මේ අලුත් ත‍්‍රස්තවාදී කල්ලියක්. ඒකේ නම තැහැරීර් අල් හින්ද්.
 
ඒ ත‍්‍රස්තවාදී කල්ලිය තැන තැන නගරවල මරාගෙන මැරෙන බෝම්බ පුපුරවලා කිසිවක් නොදන්නා, කිසිවකට සම්බන්ධ නැති විවිධ ආගම් අදහන අහිංසක ජනතාව ඝාතනය කරනවා. කිරි බිබී ඉන්න දරුවා කිරි ඉල්ලලා අඬද්දී අම්මා මැරිලා. ඒ සිඟිති අතදරුවගේත් ඇඟ හැමතැනම තුවාල සහ රුධිරය වැගිරෙනවා. ඒ වගේ ඛේදජනක සිද්ධි හැමතැනම සිද්ධ වෙද්දී ගිරි ශිඛරයක රැවුල වවාගෙන හිසට තලපාවක් බැඳි සැප විඳින පුද්ගලයෙක් බව ඔහුගේ පෙනුමෙන්ම පේන්න තියෙන පුද්ගලයෙක් අවි අමෝරා ගත්ත සෙබළ කැලකගේ ආරක්ෂාව යටතේ ඉඳගෙන සුදු ලෝගුවලින් සැරසිලා ඉන්න ළමා සොල්දාදුවන් පිරිසක් ඉදිරියේ වාඩිවෙලා, 
ත‍්‍රස්තවාදී නායකයා - නාරායන් තක්දීර් 
ළමයි පිරිස - අ...හ් හු...ර් 
ඒ ළමයි තමයි මිනිස් බෝම්බ විදියට ඒ හිතක් පපුවක් නැති ආගමේ නාමය ඉස්සරහට දාගෙන සල්ලි හම්බකරන්න හදන ඒ ත‍්‍රස්තවාදී කණ්ඩායමට යොදාගන්නේ. මේ අතරේ දේවන් තම නිලධාරීන් එක්ක සාකච්ඡාවක නිරත වෙමින් ඉන්නවා. 
දේවන් - කිලෝ 25ක එච්.එම්.එස්. අපේ නගරෙට ගෙනල්ලා තියෙනවා. 
 
දේවන්ගේ අණදෙන නිලධාරියා රාහුල් ගුප්තා - ඒකේ තේරුම දහ පහළොස් දාහක් අඩුම ගාණේ.
වෛද්‍යවරිය - ඇක්සිඩන්ට් එක හින්දා ඒ අහුවෙලා ඉන්න මනුස්සයට කිසිදෙයක් මතක නැහැ. ඒ වගේම එයාගේ පපුවේ බෝම්බයක් තියෙනවා. 
ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරී දේවන් රිය අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කරලා ඉන්න හනීෆ්ගෙන් ප‍්‍රශ්න කරනවා. 
දේවන් - දන්නවද ඔයාගේ පපුවේ තියෙන්නේ මොකක්ද කියලා?
හනීෆ් - ඒක මම දැන් කොච්චර වෙලාවක ඉඳන්ද අහන්නේ මහත්තයෝ. මේ මොකක්ද? කවුද මේක හයි කළේ? කවුරුවත් මට උදව් කරන්නේ නැත්තේ ඇයි සර්?
දේවන් - උඹ මරාගෙන මැරෙන බෝම්බකාරයෙක්.
 
අණදෙන නිලධාරිනිය - දේවන් තමුන් ඒ ත‍්‍රස්තවාදියාව නගරෙන් එළියට අරගෙන ගිහිල්ලා ඉවරයක් කරලා දාන්න. 
දේවන් - ඔයා ඔයාගේ ප්‍රොසීගියර්ස් ෆලෝ කරන්න. මම මගේ ඩියුටි එක කරන්නම්.
එහෙම කියලා දේවන් හනීෆ්ව අරගෙන දැඩි ආරක්ෂාවක් මැද්දේ යන්නේ කාන්තාර ප‍්‍රදේශයකට. ඔහුව ආරක්ෂිතව වාහනයේ තියාගෙනම දේවන් ඔහුගෙන් ප‍්‍රශ්න කරනවා.
දේවන් - මට උඹේ හිතේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඕන. 
හනීෆ් - මට වෙන කිසිදෙයක් මතක නැහැ සර්. 
 
ඒ අතරේ දේවන්ගේ සමීතම නිලධාරිනියක් වන හුස්නා හනීෆ්ගේ ගෙදරට ගිහිල්ලා හොයාගන්නේ වෙනමම දෙයක්.
වෛද්‍යවරිය - මේ මරාගෙන මැරෙන බෝම්බකාරයගේ බෝම්බයේ බැටරි එක එයාගේ හදවතේ ගැස්මයි. අනිත් එක මෙයා මැරුණොතින් අනිත් මරාගෙන මැරෙන බෝම්බ විසි හතරෙම ටි‍්‍රගර් එක වෙන්නෙත් මෙයා. එයා මැරුණත් අනිත් මරාගෙන මැරෙන බෝම්බ විසි හතරම පුපුරනවා. මෙයාට හයි කරලා තියෙන බෝම්බය ගන්න හැදුවත් පුපුරනවා. එයා කොහොමටත් මැරිච්ච මනුස්සයෙක්.
 
 
මේ අතරේ හනීෆ්ව බේරගන්න ත‍්‍රස්තවාදී කණ්ඩායමක් ත‍්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ප‍්‍රහාරයක් දියත් කරනවා. හනීෆ් ඔහු රඳවා ඉන්න ගොඩනැගිල්ලේ බිම් මහලට යනවා. එතනදී හනීෆ්ට ඔහුගේ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා මක්සූද්ව හමුවෙනවා. කතාවේ ඉතුරු ටික ගැන අපි කියන්නේ නැහැ. කතාවේ ඉතුරු ටික දැනගන්නනම් 2019 මැයි 03 වැනිදා මිනිත්තු 107ක ධාවන කාලයකින් යුතුව තිරගත වුණු බෙහ්සාද් ඛම්බතා අධ්‍යක්ෂණය කළ ශ්‍රීකාන්ත් භාසී, නිශාන්ත් පිට්ටී, ටෝනී ඩී සූසා සහ විශාල් රානා නිෂ්පාදනය කරලා තියෙන බ්ලෑන්ක් හින්දී සිනමාපටය නරඹන්න වෙනවා. මේ සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ බෙහ්සාද් ඛම්බටා. තිර රචනය කරලා තියෙන්නේ ප‍්‍රනාව් ආදර්ෂ්. ආදායම් වාර්තා තියමින් තිරගතවෙන මේ සිනමාපටයේ චරිත හැඩ කරන්න එකතුවෙලා ඉන්න ඔබ අප ආදරය කරන පිරිස ගැන කියන්නයි මේ සූදානම. මුලින්ම ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරී එස්.එස්. දේවන් ගැන කියලා ඉන්නම්. මේ චරිතය හැඩ කරන්නේ මෙන්න මේ කියන සිනමාපටවලින් ඔබ දැකලා තියෙන ඔබ ආදරය කරන කෙනාමයි.
 
Betaab (1982), Manzil Manzil (1984), Saveray Wali Gaadi (1986), Sultanat (1986), Dacait (1987), Yateem (1988), Veerta (1993), Imtihaan (1994), Salaakhen (1998), Farz (2001), Gadar: Ek Prem Katha (2001), Apne (2007), Yamla Pagla Deewana (2011), Ghayal Once Again (2016)
 
1956 ඔක්තෝබර් 19 වැනිදා ඉන්දියාවේ නැගෙනහිර පන්ජාබයේ සහ්නේවල්වල ඉපදුණු ඔහු මේ වෙනකොටනම් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයේ. ඔහු 1983 වසරේ පටන් නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් විදියට හින්දී සිනමාව නියෝජනය කරන අතරේ දේශපාලනඥයෙක් විදියටත් මේ වෙද්දී ඉන්දියාවේ ජනප‍්‍රිය චරිතයක්. ඔහු භාරතයේ ජනතා පක්ෂය තමයි නියෝජනය කරන්නේ. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් බොහෝ සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට වෙන්කරගන්න සමත්කම් දක්වලා තියෙන මේ පුද්ගලයා වෙන කිසිවෙක් නෙවෙයි, හින්දී සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් වන ධර්මේන්ද්‍රගේ සහ ප‍්‍රකාෂ් කෞර්ගේ වැඩිමහල් පුතු වන සනී ඩියෝල්. සනී ඩියෝල් දේවන්ගේ චරිතයට පණ පොවද්දී දැන් කියන්න හදන්නේ හුස්නාගේ චරිතයට පණ දෙන ඇය ගැනයි. 1990 අගෝස්තු 26 වැනිදා ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ ජම්ශේල්පූර්වල ඉපදුණු මැය 2011 වසරේ පටන් නිළියක් විදියට හින්දී සිනමාව නියෝජනය කරනවා.
 
හින්දී සිනමාවේ ජනප්‍රිය නිළියක් වන තනි ශ්‍රී දත්තා මේ කියන කෙනාගේ අක්කා අතර මෙයා 2017 වසරේ දී වත්සල් ශෙත් එක්ක තමයි විවාහ වුණේ. මෙන්න මේ සිනමාපටවලිනුත් ඇයව මීට පෙරාතුව දකින්න ලැබුණා. 
Drishyam (2015), Telugu film Chanakyudu (2012), Raja Rajendra (2015), Firangi (2017), Lashtam Pashtam (2018), Setters (2019)
 
ඇය නමින් ඉෂිතා දත්තා. හනීෆ්ගේ චරිතයට පණ පොවන්නේ නවක නළුවෙක්. ඔහුගේ නම කරන් කපාඩියා. කරන් එක්ක බ්ලෑන්ක් කියන හින්දී සිනමාපටයේ කරන්වීර් ශර්මා, ජමීල් ඛාන් රංගනයේ යෙදෙනවා වගේම මෙහි තියෙන ගීත හැඩ කරන්න ආක්ෂය කුමාරුත් එකතුවෙලා තියෙනවා. තව දෙයක් කියන්නම ඕන. මේ හනීෆ්ගේ චරිතයට පණ පොවන කරන් කපාඩියා ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් වුණු ඩිම්පල් කපාඩියාගේ බෑනා කෙනෙක්. ඒ නිසාම ආක්ෂය කුමාර් ඔහුගේ මස්සිනා වෙනවනේ. බ්ලෑන්ක් හින්දී සිනමාපටය ගැන කතා කරද්දී එහි තියෙන සංගීතය ගැන කතා නොකරම බැහැනේ. මේ සිනමාපටයේ තියෙන ගීත සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ රාඝව් සචර්, ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී සහ සෝනල් ප‍්‍රධාන්. ඒ ගීතවල ගී පද රචනය කරලා තියෙන්නේ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී, අදීප් සිං, කුමාර් සහ සෝනල් ප‍්‍රධාන් විසින්. ඒවාට පණ දෙන්න තමන්ගේ කන්කළු හඬින් ඒවාට ජීවය දීලා තියෙන්නේ අමිත් මිශ්රා, ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී, බී ප‍්‍රාක්, නව් රාජ් හන්ස්, සෝනල් ප‍්‍රධාන් සහ රොමී විසින්.
 
► Translation — Chandana Waravitage