2019 මැයි 18 වන සෙනසුරාදා

දැහැන

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 79

මහා සාගරයට ඔයා ආදරය කරන්නෙ ඇයි? මුව දොරින් පිළිගන්නා හැම දිය බින්දුවක්ම ලුණු රසකට පරිවර්තනය කරන ඒ දිය ගැඹරට ආදරය කරන්න පුළුවන්ද? ඒත් ඔයාගෙන් එහෙම අහන මාත් ඒ මහා සාගරයට ආදරෙයි. වචනයට නගන්න බැරි මහා වේදනාවකින් හඬ නගන ඒ මහා සාගරය ඕනෑම හදවතක ආත්මීය වේදනාවන් ඕනෑම තත්ත්පරයක අසන්න සූදානම් වූ දෙවියන් වහන්සේ හා සමානයි කියලා මට හිතෙනවා. සාගර දියවර පතුලේ හැංගී ගිය එවන් දහසක් කතා ඇති මහා සාගරය කවදාවත් වචනවලට නොපෙරළෙන... මට හිතෙනවා ස්වභාවධර්මය  මහා සාගරයේ ඒ දියවර ලුණු රසකට පෙරලූයේ ඒ හැම දිය බිඳුවක්ම ආත්මීයව මනුෂ්‍ය සන්තානයේ ඉපදෙන වේදනාවන් වෙනුවෙන්ම කැප කරන්න... මහා සාගරයේ එක දිය බිඳුවකින්වත් පවස නිවාගන්න බැරි වුණාට ඒ හැම දිය බිඳුවක්ම ආත්ම දාහය නිවනවා කියලා මට හිතෙනවා...

ඔයා මාතා කියන නවකතාව කියවලා තියෙනවද? මාතා ජීවිතය අබිමුව මහා කන්දක් වගේ ගොඩගැහෙන හැම වේදනාවක්ම කීවේ මහා සාගරයට... ඇය හැම හැන්දෑවකම ඇස් අස්සේ කඳුළු හංගාගෙන මහා සාගරය හොයාගෙන දුවනවා. ඇය කතා කළේ මහා සාගරයත් එක්ක, මාතාව තමන්ගේ ජීවිතයම කරගෙන ඇයට ආදරය කරන්න කවුරුත් හිටියේ නෑ... අනන්ත දුප්පත්කම් මැද්දේ හැමදාමත් මාතා වින්දේ වෙනස්කම්... හිරිහැර... අම්මා කියන්න අම්මෙක් මාතාගේ ජීවිතේට නැති වුණා... ඒ හිත පිරිමදින්න ජීවිතේ එක කොණක හිටියේ එයාගේ සීයා විතරයි... ඒත් මාතා විඳින දුක් ගැහැට දරාගන්නම බැරි මොහොතක ඒ සීයත් ජීවිතේ අත්හැරලා යනවා... එදාත් මාතා මහා සාගරය ළඟට දුවගෙන යනවා. සීයත් මාව දාලා ගියා මගේ දුක අහන්න කියලා. මහා සාගරයට කියන්න... දුප්පත්කම් බඩගින්න අනාදරය මහා මාරුතයක් වගේ ජීවිත කුසුමේ පෙති ඉහිරුවා දාන්න හදන හැම මොහොතකම මහා සාගර උරහිසේ හිස තියාගෙන මාතා නිරුදක කතරකින් දිය උල්පත් මතු කරනවා. 

මාතාහරී... කවදාවත් ජීවිතේ අත්හැරියේ නැහැ... මාතා ජීවිතය වෙනුවෙන් සියලු භෞතික යස ඉසුරු ගොඩනගනවා... ඈ ළය ලෙය කිරි නොකළ දරැවන් වෙනුවෙනුත්  ඇය අම්මා කෙනෙක් වෙනවා... ඇය දේශ දේශාන්තරවල ඇවිදිනවා... ඇය සෙවූ ආධ්‍යාත්මික ප්‍රේමය හැරෙන්න ගැහැනියකට ජීවිතයේ ලද හැකි හැම ඉසුරක්ම ඇය ලබනවා... ඒ දුප්පත්කමේ බුමුතුරුණු මහා ඉසුරක රතු පලස් බවට පරිවර්තනය කරගන්න ඇය ජීවිතය කියන මහා කන්දේ මුදුනත සොයා යන ගමන මහා සොඳුරුසාර වෙහෙසක්. ඇයට කවදාවත් ඇය සෙවූ ආදරය ඇයට ඉරණම් වත්කමක් විදිහට ලැබුණේ නැහැ... එහෙත් දුප්පත් මාතාට කෝවිලක දී හමුවුණු කපිල් වෙන්කඩේශ්වර කියන මහා පෞරුෂත්වයක් තිබුණු ආදරණීය මිනිසා ඇයට කවදාවත් ඇය හිමිකරගන්න බැරි දුරක ඉඳන් ඇයට ආදරය කරනවා. මාතා සෙවූ දිව්‍යමය ආදරය වෙන්කඩේශ්වර ළඟ තියෙනවා... වෙන්කඩේශ්වර සෙවූ මව්වත් ගුණ සදිසි ප්‍රේමය මාතා ළඟ තියෙනවා. ඒත් ඉරණම ඒ ප්‍රේමයට අයිතියක් ප්‍රදානය කළේ නැහැ... ළඟින් ඉඳන් ආදරය විඳින්න පපුවේ හිස තියාගෙන ජීවිතයේ භාග්‍යවන්ත ගීතිකාව ගයන්න ඉඩහසරක් දුන්නේ නෑ... ඒත් වෙන්කඩේශ්වර මුළු ජීවිත කාලයම ආදරය දුටුවේ ආදරය හඳුනාගත්තේ මාතාගෙන්ම විතරයි... වසන්තයේ අත්තටු පාට හේදී ගිම්හාන ශ්වේතයෙන් මුනිවර දැහැනක් සොයන බවද ඔබ හිතන්නේ... නැහැ ප්‍රේමය අස ජීවිතය හැමදාමත් වසන්තයක්... ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද? ඒ හිතුවිල්ල ඔබේ ජීවිත සත්තාවක් බවට පත්වූ දිනයක ඔබත් ඒ වසන්තය අත්විඳියි. මාතා කියවද්දී මගේ ඇස් දිලිසුණා. වෙන්කඩේශ්වර වගේ දෙවියන් වහන්සේ සදිසි පිරිමියෙක් මේ ලෝකයේ ඉන්නවද මම මගේ ආත්මයෙන්ම අහන්න ගත්තා... ඉන්නවා ඔබම පමණක්..

දෙවියන් වහන්සේ ප්‍රේමය ගැන බයිබලයේ කියපු හැම වදනක්ම හරි උත්තරීතරයි... අවසානයේ ජේසුස් කියනවා සියල්ලට වඩා ප්‍රේමය ශ්‍රේෂ්ඨයි කියලා... මට හිතෙන්නෙ ප්‍රේමය වීදුරු පාට මුහුදු රළක් වගේ විනිවිද විය යුතුයි... සැඟවීමකට රහසකට ප්‍රේමය තුළ ඉඩක් තියෙන්න බැහැ... මහා සාගරය වගේ ප්‍රේමය අනන්තයක් විය යුතුයි... අවසානයක් මිස කෙළවරක් තියෙන්න බැහැ... මහා සාගරය සේ රස දියවරක් විය යුතුයි ප්‍රේමය.... අන් කිසිවෙකුට පවසකට දිය දෝතක්වත් බොන්න බැහැ ඒ දියවරෙන්... ජීවිතයේ අනිත් හැම ආදරයක්ම බෙදලා දෙන්න පුළුවන්... ඒත් ගැහැනියක හා පිරිමියෙකු අතර ඇතිවෙන ප්‍රේමය කියන උත්තරීතර බන්ධනය බෙදන්න බැහැ... ඒ ප්‍රේමයට සිටිය යුත්තේ අයිතිකරුවන් දෙදෙනෙකුම පමණයි... බෝධිසත්ත්ව පාරමිතා පුරන මහා වනස්පතියක් වෙන්න ඔබ නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන ඒ ප්‍රේමය හැරුණු විට අන් සියලු ජීවිත බැඳීම් අස...

කපිල් වෙන්කඩේශ්වර... ඔබ ප්‍රේමය ගැන කියලා දෙන්නේ එවන් සොඳුරු අකලංක සත්තාවක්... ලයිම් වීදුරුවක් තොල ගාමින් මහා සාගරය එක්ක කතා කරන හැම මොහොතකම මාතා ඔබ මගේ ළඟ... ජීවිතය ඔබෙන් දැන වෙන්කඩේශ්වරගෙන් ප්‍රේමය ගැන ඉගෙනගන්න සම්පූර්ණ එපමණකටම අසම්පූර්ණ සුසම්පූර්ණ සිහිනයක වෙළෙන ගැහැනියයි මම...
මාතා... ඒ හීනයට... ඒ ප්‍රේමයට... ඒ ලයිම් වීදුරුවට... ඒ මහා සාගරයට... හුස්මක් වැටෙන හැම මොහොතකම මම ආදරෙයි... ඔව් ප්‍රේමයෙන් නිර්වාණය මුණගැසෙන තුරු මම ආදරෙයි...