2019 මැයි 11 වන සෙනසුරාදා

ගොල්ෆ් රජුට ට්‍රම්ප්ගෙන් සම්මාන

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

ගොල්ෆ් ලෝකෙ රජ්ජුරුවෝ විදිහට හැඳින්වෙන ටයිගර් වුඩ්ස්ට පහුගියදා හරිම විශේෂ සම්මානයක් හිමිවුණා. ඒ තමයි අමෙරිකානු පුරවැසියෙකුට හිමිවන සුවිශේෂී සම්මානයක් වන Medal of Freedom සම්මානය. ඔහුට ඒ සම්මානය පිරිනැමුවේ තවත් විශේෂ පුද්ගලයෙක්. ඒ තමයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්! 

වුඩ්ස් සම්මානය පිරිනමමින් ට්‍රම්ප් බොහොම ලොකු ඇගයීමකුත් කළා. දැනට හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන ටයිගර් වුඩ්ස් කියන්නේ ලෝකයේ බිහිවූ අති දක්ෂම ක්‍රීඩකයෙකු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. ඒ වගේම අනේකවිධ බාධක ජයගනිමින් ඉදිරියට ගොස් සාර්ථකත්වය අත්පත් කරගැනීම වෙනුවෙන් වුඩ්ස් තරුණ පරම්පරාවට මහඟු ආදර්ශයක් සපයන බවත් ට්‍රම්ප් කියා සිටියා. 

වුඩ්ස්ට මේ සුවිශේෂ සම්මානය හම්බවුණේ මේ වසරේදී දීර්ඝ නිහැඬියාවකට සමුදෙමින් ලබාගත් ගොල්ෆ් මාස්ටර්ස් තරගාවලි ජයග්‍රහණයත් සමඟයි. ඒ සමඟින් වුඩ්ස් දිනාගත් මුළු මාස්ටර්ස් තරගාවලි සංඛ්‍යාව පහක්. 
1999 දී ඔහු පළමුවරට මාස්ටර්ස් තරගාවලියක් ජයගත්තේත් වාර්තා තබමිනුයි. ඒ මාස්ටර්ස් තරගාවලියක් ජයගත් පළමු කළු ජාතිකයා සහ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමිනුයි. මීට අමතරව වුඩ්ස් PGA තරගාවලි 81ක ශූරයා බවට පත්ව තිබෙනවා. 
“මගේ සතුටුදායක දවස්වලදී වගේම අසතුටුදායක දවස්වලදීත් ඔයාලා මාත් එක්ක හිටියා. ඔයාලාගේ සහයෝගය නැතිනම් මම අද මෙතැන නැහැ” වුඩ්ස් හරිම සංවේදී විදිහට ඒ අවස්ථාවට එක්වෙලා හිටි තමන්ගේ අම්මා, බිරිඳ සහ දරුවන් අමතමින් පැවසුවා. 

මේ අතර ටයිගර් වුඩ්ස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දිගුකාලයක පටන් පවතින මිත්‍රත්වය ගැනත් මාධ්‍යයේ කතාබහ කෙරුණා. 97 අවුරුද්දේදී වුඩ්ස් තමන්ගේ පළමු මාස්ටර්ස් ජයග්‍රහණය ලබාගත්තායින් පසුව එය සැමරීමට ගිහින් තිබුණේත් ඇට්ලන්ටා නගරයේ පිහිටි ට්‍රම්ප්ගේ ටාජ් මහල් කැසිනෝ ශාලාවටයි. ඒ වගේම මේ මිත්‍රත්වය 2014 අවුරුද්දේ පටන් ව්‍යාපාර මිත්‍රත්වයක් දක්වාත් වර්ධනය වී තිබුණා. 

කොහොම වුණත් පසුකාලීනව ටයිගර් වුඩ්ස් ගොල්ෆ් පිටිය තුළ දකින්න ලැබුණේ නැහැ. ඒ වගේම ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වී හිටි බවටත් තොරතුරු වාර්තා වුණා. නමුත් අවුරැදු 11කට පස්සේ නැවතත් ගොල්ෆ් පිටියට ඇවිදින් තමන්ගේ සුපුරුදු ක්‍රීඩා රිද්මයට අවතීර්ණ වෙලා මාස්ටර්ස් ශූරතාව නැවත දිනාගන්න ඔහු සමත්වුණේ තමන්ගේ විශිෂ්ටත්වය ලෝකය ඉදිරියේ සැක නැතිව ඔප්පු කරමිනුයි. 

“ටයිගර් වුඩ්ස් කියන්නේ අමෙරිකානු විශිෂ්ටත්වයේ, කැපවීමේ සහ ධෛර්යයේ සංකේතයක්” ට්‍රම්ප් තමන්ගේ මිතුරා, ටයිගර් වුඩ්ස් ගැන ලොකු අභිමානයකින් කතාකළා. 

ඩේලිමේල් ඇසුරෙන්

► Text - Suranga