2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

එච්.එම්. ඔබ යන්න ගියා මැකිලා

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 199

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරයට... 

එච්.එම්. දෙසවන් අයදින ගී තනු නෑසෙන යුගයක ඒ ගී පද ඔබ වෙනුවෙන් ගයන්නට මට සිත්වෙයි. අසන්නට නෑවිදින් සිටියත් ඔබ, පියාගත් නෙතු නැවත නොහැරියත් ඔබ ක්ෂණයක් ක්ෂණයක් පාසා මියැදෙන මේ කුණු කයෙන් නිදහස්ව ස්වර්ග අවකාශයක් සොයා ගිය ඔබේ සංගීතාත්ම විඥානය කොහේ හෝ හිඳ ඒ ගී පද අසා සිටින්නේයැයි මට සිතේ. මතකද එච්. එම්. ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයට ඔබ තනු නිම වූයේ අගහිඟකම් උතුරපු කොළඹ ජීවිතය අත්හැරලා ඇවිත් මැණික් ගැරූ කාලයේය.

මා හඬනා කඳුළු ගලා
හැදූ කඳුළු සාගරේ...

එවන් දහසක් ගී පදවලට ඔබ ගැඹුරු හුස්මක් එක්කළේ ඔබ සරිගමපදනි සප්ත ස්වරයෙන් මැවූ අපූර්වත්වයෙනි. අපූර්ව යනු පෙර නොවූ විරෑ බවයි. දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවීම වැනි සංකල්පයක් හැර අන් යමක් අපූර්ව වන්නේ කෙසේදැයි සිතුණත් ඔබ මැවූ ස්ව අනන්‍ය වූ තනු අතර සැරිසරද්දී සිය දහස් ගී අතර මේ එච්.එම්. ගේ තනුවක්යැයි අරුත් පසිඳින්නට තරම් එච්.එම්. ලකුණෙහි මුද්‍රාව ඒ ගී මත විය. එ සඳ ඒ ගී තනු වෙනුවෙන් අපූර්ව යන සංකල්පය දායාද කරන්නට සිතෙයි මට.
එච්.එම්. ඔබ කවදාවත් ප්‍රසිද්ධිය හිඟා නොකෑ කලාකරුවෙකි. සම්මාන ඉල්ලාන ගී තනු නොමැවූ අතිවිශිෂ්ඨ, අනුපමේය ගී තනු නිර්මාණවේදියෙකි. නොකියා කෙළසද ඒ වග.... ඔබේ ගී තනු සේම ඔබද ඔබේ ක්ෂේත්‍රයේ සඟයන් අතර අපට වෙනස්ම සඟයෙකු වූයේ එබැවිනි. කමිස කොළරයේ සිට බොත්තමක් දෙකක් හැරදමා කමිසය හැඳ උරහිස දක්වා වැසූ හිතුවක්කාර කොණ්ඩය හිතට කතා කරමින් මුව මත ඇඳෙන නොඇඳෙන සිනාව එච්.එම්. ඒ ඔබය.

අමරදේව මාස්ටර්, නන්දා මාලිනියගේ සිට පරම්පරා කිහිපයක පද හා හඬ ඔබේ මැවුම්කාරක රිද්මයන් වෙතින් ගීතාත්ම ලැබුවෝය. නිශ්චිතවම කියන්නට නොදනිතත් ඒ මැවූ ගී තනු සංඛ්‍යාව දහසකට නොඅඩු වන්නට හැටියක් නැත.
සඳ තරැ නිහඬයි, ඔබයි රම්‍ය සඳකිරණ, මා හඬනා කඳුළු ගලා, පූජාසනයේ ඔබ හිඳුවා, පෙම් ලොවදී දුටු ඔහුම ද මේ, ප්‍රේමය නම්, කඩමණ්ඩියේ දොළ අයිනේ, නවාතැන්පළ ඔබයි ඔබගේ සිනාවයි, විලක් වුණත් නිල් දිය පිරි, පිළිම නෙලා නැති විරුවන්, ඉස්සර මං ගිය පාසල ඇරිලා, මිනිසෙකු පිට නැඟි අසරුවෙකි, සයුරක් නොදුටු ගඟුලක්, නුඹේ සිතට පුන්සඳ පායලා වගේ, දෙවොලේ නොකැළැල්, හිමි සණරාමර ලෝක සිවංකර, ප්‍රේමයේ විල්තෙරේ, අහසින් තරුවක් කඩා වැටෙනවා, පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්, සැන්දෑ අහස වගේ සැරසී, මා එක්කලා අමනාපව, වසන් කරන්නට බෑ මගෙ සිත අද, මළපොතේ අකුරු, ඔබට මා ආදරය කළ බව මෙතරම්, සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ, කන්ද කෙන්ද කරනු පිණිස, සීතල පිනි බින්දු බින්දු, ඇය යන්න ගියා මැකිලා, බණ කියන රටක්, සියක් ආයු ලැබ, මේ පුංචි රටේ, රත්තරන් නෙත් දෙකින්, දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට, මාල ගිරවියේ, සඟවන්න එපා හසරැල්, කොහේ යන්නෙද කොහේ ඉන්නෙද?, ඔබ ඈත සඳ වී පායා, බාලිකාවියන් තක්සලා දොරින්, කිරුළ මුතු ලිහී, වී පැදුරෙන් ඉගිලී යන, සඳක්නම් බැස යන්න තිබුණා..

මේ ඔබ තාල මැවූ ගී අල්පයක් පමණි. පළමු ගී තනුව මාලනී බුලත්සිංහල වෙනුවෙන් නිර්මාණය කළ ඔබ එදා මෙදා තුර ගී තනු ඔස්සේ රූපණය කළ රසභාවය ජීවිත යථාර්ථය අසංඛ්‍යාත්මකය. එච්.එම්. ඇයි මෙතරම් මධුවිතට පෙම් කළේයැයි අසමින් ඔබට දොසක් කියන්නට මට කිසිදා අවැසි වුයේ නැත. වරද දකින්නට වරදට පළමු ගල ගසන්නට පෙළගැසෙන ලෝකය වරදට හේතුව සහේතුවක නොවිමසන අහේතුව තුළ ඔබටත් දොස් නැගුණා මතකය. ඔබත් දොස් ඇසුවා මතකය. එහෙත් ඒ හැම අබිමුව ඔබ නිහඬ වෘත්‍රයක්ම රැක්කා මිස පිළිවදන් දුන්නා මට මතක නැත. ඔබේ ඒ අකම්පිත පෞරුෂයට අදටත් මම ආදරය කරමි. එච්.එම්. සමහරවිට 

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී
නැගිටින්නේ

සුනිල් ආරියරත්නයන් ලියූ යථාර්ථවාදී ජීවන සත්තාවක් මැනවින් හෙළිදරව් කළ ඒ ගීයට ඔබ සංගීතවේදී මැවුම්කාරයකු ලෙස අපූරු තනුවක් මවද්දී ඔබ ඒ වදන් වියමන ඔස්සේ කැඩපතකින් සේ ලෝකය දකින්නට ඇත. කලාවට ගැරහුමක්, සෝබන ආලයක් මිස දේවත්වයක් නොදුන් කුහක සෞන්දර්යවාදී හිත් කිසි ලෙසකවත් කිසි කලෙකවත් විරල නොවූ බමුණු සමාජයක පාරන්නට රිදවන්නට සැදී පැහැදුණු විස ඉදිකටු තුඩු සදිසි සිත් අපමණය. එහෙත් රිදුම් පිරිමැද ඔබ හැමදාමත් අකම්පාව උන්නේය. කසුන් මට සලකන්නෙ නෑ කියන්නෙ බොරුවක්.. කසුන්ට ඒ චෝදනාව කරන්න එපා කසුන් මට දරුවෙක්වගේම මගේ යාළුවෙක් වගේ. මට බෙහෙත් ටික අරන් දෙන්නේ වියදමට සල්ලි දෙන්නේ කසුන්. මම මොන දේ කීවත් කසුන් මට කරලා දෙනවා. ඔබ ඉවසාගත නොහී යමක් කීවානම් එපමණකි. ඔබට සේම අකම්පිත කෑදර නොවූ හදවතක් කසුන්ට ද හිමි වග අපි දනිමු. කසුන් ඔබ වෙනුවෙන් යුතුකම් ඉටුකළා පමණි. කරන කියන දෑ ගැන පම්පෝරි ගැසුවේ නැත. මගේ අම්මා හරිම නිදහස් චින්තනයක් තිබුණු පරිණත ගැහැනියක්. මාලිනී බුලත්සිංහලට කසුන් හැමදාමත් ඒ ගෞරවය පිරිනැමුවේය. හලෝ... හායි... කොහොමද අසන බොරු ළෙන්ගතුකමක් නොව හදවතින්ම කියපන් මචං කියන ළෙන්ගතුකමක් ඔබ තුළ මෙන්ම කසුන් ළඟද වූයේය.

එච්.එම්. ධනයට බලයට වන්දනාමාන කරන සමාජයක තව තවත් දිස්න දෙමින් දුල විහිදන්නට ඔබ ඔපමට්ටම් කෙරූ ගී මිණකට ආත්මගත ප්‍රේමයෙන් බැඳුණෝද සුලභ නොවෙත්. එච්.එම්. ඔබ සත් ස්වරයෙන් නව මං සෙවුවේ එකී තුච්ඡ නීරස යථාර්ථයක් තුළය. එහෙත් කටු අත්තක මල් පුදන්නට ඔබ හැමදාමත් සොඳුරු වෙහෙසක් ගත්තේය.

ඔබ මධුවිත කෙරේ බැඳි ප්‍රේමය ගැන කතා කළ බොහෝ උන්ට කතා කරන්නට අමතක වූ කාරණයක් විය. ඒ ඔබ සිහින් සිරුර තුළ අරක්ගෙන සිටි ඍජු යෝධ විරල නිමල පෞරුෂත්වයේ අසිරිමත් මිනිසා ගැනය. මම එක් සාක්ෂියක් ලියා තබමි. මුහුදු ළිහිණි චිත්‍රපටයේ දක්ෂතම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය එච්.එම්. ඔබට හිමිවිය. හොඳම චිත්‍රපට ගී තනු නිර්මාපකයාට හිමි ජනාධිපති සම්මානයත් ඔබට හිමි බව සැලවෙද්දී ඔබ ඔබේ සංගීත සුවිසැරියේදී ඔබට හිමි වූ විසල් ජයග්‍රහණය දෙවරක් නොසිතා ප්‍රතික්ෂේප කළේය. ජනාධිපති සම්මානය ප්‍රතික්ෂේප කළ ඔබ කවදාවත් ඒ ගැන පසුතැවුණේ නැත. ඒ ඔබේ සරල පිරිපුන් බවයි. සම්මානය ප්‍රතික්ෂේප කළ ඔබ ඒ උදෙසා හේතු දැක්වූවේය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස තුන්වැනි යාමය චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය මා නිර්මාණය කළ සංගීතයට වඩා විශිෂ්ටයි.. මමත්වය රජයන සිත් සුවහසක් අතර තමන්ට වඩා තවකෙක් විශිෂ්ටයි කියා අගයන්නට තරම්.. ඒ වෙනුවෙන් තමා වෙත ලද සම්මානය ප්‍රතික්ෂේප කරන්නට තරම් මනුෂ්‍යත්වයට අවනත හෘදසාක්ෂියක් ඔබට තිබුණි. කලා නිර්මාණ විනිවිද දෝරේ ගලන සෞම්‍ය ගුණ දහර, සෞන්දර්යයේ නිර්ණායක ඒ නිර්මාණවේදීන් තුළ කලාවේදීන් තුළ අතිශය විරල සඳ එච්.එම්. ඔබ එදා දුන්නේ මහා පරමාදර්ශයකි.

සම්මානනීය විනිශ්චයකි. පසුව ඒ අවංකත්වයම ඔබට පරහට සිටියේය. ඒ සම්මාන ප්‍රතික්ෂේප කරනු ඇතැයි මනස්තාපයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරු ඔබට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය නොදී හිඳීමයි. එහෙත් ලාභ සත්කාර වරප්‍රසාද උදෙසා හෘදසාක්ෂිය පාවා නොදුන් පොහොසත් කලාකරුවා සරස්වතී දෙවියන්ගෙන් සංගීතයේ අනුහස ලද්දකු සේ ස්වර අතර නන් වෙසින් සැරිසැරුවේය. අාකෘතිගත සිරකාර සංගීතයකට කොටු නොවූ සොඳුරු හිතුවක්කාරයා හැම ගී පද රචනයකටම අනන්‍ය හුස්මක් ලැබ දුන්නේය.

සියඹලාණ්ඩුවේ ගම්මාන හතර මුතුකණ්ඩිය ඈත ගම්මානයක දුප්පත් ගොවි පවුලක 1960 මාර්තු 12  වැනිදා එච්. එම්. විජේසුන්දර පියාණන්ටත් - රන්මැණිකා මෑණියන්ටත් පුතු වී ඉපදුණු එච්.එම්. පස්සර මධ්‍ය මහා විද්‍යාලයට ගියේ පහේ ශිෂ්‍යත්වයෙනි. පස්සර ඉස්කෝලෙට යන්න ඉස්සර මම ගියේ සියඹලාණ්ඩුව ගමේ ඉස්කෝලෙට. මට මතකයි මගේ තාත්තා කලිසමට පිනි බිංදුවක් හරි වැටිලා මගේ කලිසම තෙමෙයි කියලා මාව කරේ තියාගෙන තමා ඉස්කෝලෙ එක්ක ගියේ ඔබ දවසක් කීවා මට මතකය. පස්සර ඉස්කෝලයේදී මුණගැසුණු ටී.එම්. සුබසිංහ නම් සංගීත ගුරුවරයාට අවැසි වූයේ එච්.එම්. ට එස්රාජ් වාදනය ඉගැන්වීමටය. එහෙත් එච්.එම්. ළෙන්ගතු වූයේ බටනලාවටය. පාසල් වාද්‍ය කණ්ඩායමේ නායකයා ලෙස සංගීතය කෙරේ මහා ඇල්මකින් කටයුතු කළත් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්නට ඔහුට නොහැකි විය. එතෙකින් ලැබී තිබූ ශිෂ්‍යත්වය අහෝසි වූයෙන් නේවාසිකාගාර නවාතැනද ඔහුට අහිමි විය. එහෙත් ජීවිතය යන අතිශය සංකීර්ණ විභාගයෙන් හේ අසමත් වූයේ නැත. ජීවිතය නිරුදක කතරක් සේ අනේක නේක දුක් පීඩා, වද වේදනා කැන්දාගෙන ආවත් ඒ සියල්ල මැද ජීවිතය අතනෑර ජීවන කතර සාරභූමියක් සේ අස්වද්දනට ඔහු අප්‍රමාණ වෙහෙසක් ගත්තේය.

වරෙක ඔහු කුලීකාරයෙක් විය. ලියුම් බෙදන්නෙක් විය. හේන් කුඹුරු කොටන්නෙක් විය. කොන්ත්‍රාත් වැඩ කළ පොඩ්ඩේ අයියා ළඟ ඇලවල් කපන්නෙක් විය. මැණික් පතල්කරුවන්ට අත්උදව් දුන්නේය. අව්වට වැස්සට මහපොළොවට හුරු මහ කන්දක් සේ ඔහු ජීවිතය දෑතට දිගුකළ දුක් පිරිපත දරාගනිමින් ජීවිතය උදෙසා ඇවිද යන්නට පාරක් සෙව්වේය. තමන් සන්තක එකම වස්තුව වූ බටනලාව පමණක් රැගෙන ඔහු කොළඹට ආවේ මේ සියලු අරගල මධ්‍යයේය. කොළඹ ඔහු දන්නා කියන පුද්ගලයෙකුට සිටියේ එකල පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු වූ වසන්ත ඔබේසේකර පමණි. බම්බලපිටියේ ලෝරිස් පාර දිගේ නන්නාඳුනන උන්ගෙන් නොදන්නා මඟක මං ලකුණු විමසමින් පාරක් සොයා ගිය එච්.එම්. ට වසන්ත ස්නේහයෙන් දෑත් දිගු කළේය. වසන්තගේ ඇතුළු හදවත් පිළිගත්තේ එච්.එම්. යන දුප්පත් කුලීකාරයා නොව අතිදක්ෂ බටනලා වාදකයාය. වසන්ත ඔබේසේකර මෙන්ම අමරදේව මාස්ටර් ද එච්.එම්. ට ගුවන්විදුලි සංස්ථාවේ නිත්‍ය නොවූ වාද්‍ය ශිල්පියෙකු ලෙස බැඳෙන්නට අත දුන්නෝය. ඒත් නැතිබැරිකම් දරනු නොහී ඔබ යළිත් ගමට පැමිණ මැණික් ගැරුවේය. එහෙත් සත් වසරක් අපමණක් දුෂ්කර ක්‍රියා කළ ඒ ජීවිතයේ කිසිදාක එච්.එම්. බටනලාව අත්නොහැරියේය. ගිම් නිවන්නට හදවතට තුරුල් කරගත් සදාකාලික මිත්‍රයා ඒ බටනලාව විය. පසු යුගයක මාලිනී බුලත්සිංහල හා ජීවන චාරිකාව ඇරඹූ ඔබ-ඔබ වැනිම සොඳුරු හිතුවක්කාරයෙකුට 

පීතෘත්වය දුන්නේ ඒ ස්නේහයේ මහා ඵලයක් ලෙසය. ඒ ආදරණීය කසුන්ය. එලෙසින්ම අකල්හි ඇකයෙන් ගිලිහී ගිය දියණියකට ද ඔබ තාත්තා වූයේය. ඒ වියෝව දරණු නොහැකිව ඔබ දියණිය මිහිදන් කළ සොහොන් කොත මත නොනිදා පහන් කළ රැය අනන්තවත් තිබුණි. ඔබ සන්තක සංවේදී පීතෘ ගුණයේ හැඩරුව එහෙමය.

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද 
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

ආ දුර කොතෙක්ද යා යුතු කොතෙක්ද නොදන්නා සංසාර සුවිසැරියේ අප සසර බන්ධන මූල ලිහී යන තෙක්ම සරන්නෝ වෙමු. ඉඳින් සසර මෙතෙකින් නිමනොවන සඳ හඬා කුමකට... ඔබ නිදන්න.. එච්.එම්. එදත් අදත් හෙටත් ආදරෙයි මම ඔබ මැවූ තාල අනන්තයට... එච්.එම්. ඒ තාල සාගරයේ රිද්ම රැව් පිළිරැව් දී ඇසෙන තාක්... ඔබ නොමියන මිනිසෙකි. නොමළ මිනිසෙකි.

ගොසින් බැරියැයි සිතෙනමුත්
නොගොසිනුත් බැරිය
නොගොසින් එන්නටත් බැරිය
ඒ නිසා ගිහින් එන්න එච්.එම්...

I සංජු 

Pic – Sumudu, Samantha, Internet