2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඉස්පිරිතාලෙන් පැනලා ඇවිත් හොරෙන් රඟපෑවා

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:31 173

ඔබේ ගම බදුල්ලේ.. මුලින්ම ඔබේ ළමා කාලය පිළිබඳව මතකය අවදි කරමුද?
ඔව්.. මම ඉපදුණේ බදුල්ලේ. මම ඉගෙන ගත්තේ බදුල්ලේ ශාන්ත බීඩ්ස් විද්‍යාලයේ. මගේ පවුලේ පිරිමි ළමයින්ම තුන්දෙනයි. මම පුංචි කාලෙම මගේ පියා මිය ගියා. ඒ නිසා අපි තුන්දෙනාගේ ලොකුම හයිය වුණේ මගේ අම්මා. මගේ ලොකු අයියා මට වඩා හුඟාක් වැඩිමල්. මම ඉස්කෝලේ ගියේ මගේ අයියලා දෙන්නා එක්කයි. ඇත්තටම ඒ ළමා කාලය හරිම සුන්දරයි.

ඔබට කලා හැකියාවන් පුංචි කාලේ ඉඳන්ම තිබුණු දෙයක්ද?
ඔව්.. මට ඉස්සර හොඳට සින්දු කියන්න පුළුවන්. අපි කතෝලිකයින් නිසා මම පල්ලියේ ගීතිකා ගායනා කළා. ඒ නිසා ගායනයට ආසාව වගේම කැමැත්ත ඒ ආභාෂයෙන් මට ලැබුණා. මට අවුරුදු හතේදී පැවැති එක්තරා ගීත ගායනා කිරීමේ තරගයකින් මම “ඌවේ හොඳම ගායකයා ලෙසින් සම්මාන දිනාගත්තා. ඒ සම්මානය මම ලබාගත්තේ එවකට පළාත් පාලන ඇමැති වුණ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා අතිනුයි. ඒ තරගයෙන් පස්සේ බොහෝදෙනා මගේ හැකියාවන් අගේ කළා. ඇත්තටම ඒක මට ලොකු සතුටක් වුණා. ඊට පස්සේ පාසලේ තිබුණු හැම සංගීත වැඩසටහනකටම මාව ඉදිරිපත් කළා. පාසලේ පැවැති නාට්‍ය සංගමයටත් මම එකතු වුණා.

ඒ නාට්‍ය සංගමය හරහා නාට්‍ය බොහෝමයක් ඉදිරිපත් කළා නේද?
ඔව්.. ඒ නාට්‍ය සංගමය මමයි මගේ යාළුවෝ කිහිපදෙනෙකුයි එකතුවෙලා තමයි නිර්මාණය කළේ. ඒකෙන් අපි නාට්‍ය කිහිපයක්ම හදලා ඌව පළාතේ බොහෝ තැන්වල පෙන්නුවා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. අපේ වේදිකා නාට්‍ය අගේ කරලා බොහෝ දෙනා කතා කළා.

ඔබ කාලයක් හමුදා පොලිසියෙත් සේවය කළා නේද?
ඔව්.. 1957 අවුරුද්දේ තමයි මම යුද හමුදා පොලිසියට බැඳු‍ණේ. ඇත්තටම ඒක මගේ ජීවිතේ අපූරු කාලයක්. ඒ කාලය තුළදී මම හමුදා පොලිසියේදී නොකළ ක්‍රීඩාවක් නැති තරම්. මම බොක්සින් ක්‍රීඩා කළා. පාපන්දු, හොකී, රෙස්ලින් ක්‍රීඩා කළා. ඒ කාලේදී මම පිහිනුම් නායකයා වුණා. මගේ නායකත්වය යටතේ අපි සහභාගී වුණ පිහිනුම් තරගයෙන් අපේ කණ්ඩායම පළමු තැනට තේරුණා. ඒ විතරක් නොවේ යුද හමුදා පොලිසියේදී විවිධ දක්ෂතාවලට සම්මාන දිනාගත්තා. ඔය කාලේදීත් අපි පටන්ගත්තු “රෝහණ ඩ්‍රැමටික් සොසයිට් කියන නාට්‍ය සංගමයෙන් අපි හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, වැලිමඩ වගේ ප්‍රදේශවල නාට්‍ය පෙන්නුවා. ඒ නාට්‍ය කණ්ඩායමේ අපි හතර දෙනෙක් හිටියා. මම අවුරුදු පහක් විතර හමුදා පොලිසියේ සේවය කළා. ඊට පස්සේ මම එකේන් අයින් වුණා.

හමුදා පොලිසියෙන් ඉවත් වෙලා රෙක්ස් මොනවද කළේ?
හමුදා පොලිසියෙන් අයින් වෙලා මම හෝටල් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. හෝටල් කිහිපයකම මම වැඩ කළා. ගෑස්පහ හන්දියේ තිබුණ මරීනා හෝටලයෙත්  මම වැඩ කරන්න පටන් ගත්තා. ඒ කාලේ ගෑස්පහ හන්දියේ ඔය මැරයෝ, චණ්ඩියෝ එහෙම හිටියනේ. ඒ අය නිතර නිතර ඉතින් මගේ හෝටලයටත් ආවා. මම නිතරම ඒ අයගේ හැසිරීම් එහෙමත් දැක්කා. ඔය කාලෙදී මම ගායකයෙක් ලෙස මගේ යාළු මිත්‍රයින් අතරේ ටිකක් ජනප්‍රියයි. ගෑස්පහ හන්දියේ හෝටලයේ ඉදිද්දී මට “සලාකා ආයතනයේ අධිපතිතුමාව මුණගැහුණා. ඒ දැනහැඳුනුම්කමක් එක්ක ඔහු මට සලාකා හෝටලය බාර අරගෙන වැඩ ටික කරගෙන යන්න කියලා ආරාධනා කළා.

සලාකා හෝටලයේදී ඔබට රංගනයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
ඔව්... හැබැයි ඒක හරිම අහඹු සිදුවීමක්. රංගනයට පිවිසෙන්න මගේ කිසිම අවශ්‍යතාවයක්වත් කැමැත්තක්වත් තිබුණේ නැහැ. ඒ හෝටලේ වැඩ කරද්දී මම කලා ලෝකේ ඒ කාලේ හිටපු දැවැන්තයින්, ජනප්‍රිය අය මුණගැහුණා. ඔවුන් නිතර නිතර හෝටලයට ආවා. ඔවුන් එක්ක මම සුහඳව කතා බහ කරනවා. අනෙක මට ගායන හැකියාවකුත් තියෙනවා කියලා ඒ අය දැනගෙන හිටියා. දවසක් ඔස්වල්ඩ් ජයසිංහ හරි හදිස්සියෙන් හෝටලයට ආවා. එයාගේ කාර් එක කැඩිලා නිසා මගේ කාර් එකේ ෂූටිං තියෙන තැනට ගිහින් බස්සවන්න පුළුවන් ද කියලා මගෙන් ඇහුවා. මාත් ඉතින් හෝටලයේ අනිත් අයට කියලා ඔස්වල්ඩ්ව මගේ කාර් එකෙන් අර ෂූටිං තියෙන තැනට ගිහින් බැස්සුවා. මට තාම මතකයි එදා සේනාධීර රූපසිංහ, නීලා ලියනගෙදර වගේ නළු නිළියන් මේකප් කරගෙන ඔස්වල්ඩ් එනකන් බලාගෙන හිටියා. ඔස්වල්ඩ් හරි හනිකට වාහනයෙන් බැහැලා ස්තූති කරලා ගියා. හැබැයි මම වාහනයෙන් බැස්සේවත් නැහැ. මාත් අපේ වාහනය හරවගෙන එන්න හදද්දී ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වාහනය ළඟට ඇවිත් පහත්වෙලා කාර් එකට එබිකම් කරලා. “රඟපාන්න කැමතිද කියලා මගෙන් ඇහුවා. 

ඉතින් ඔබ කැමැති වුණාද?
නැහැ.. මම ඒ ආරාධනාව සුහඳව ප්‍රතික්ෂේප කරලා වාහනය හරවාගෙන හෝටලයට ආවා. ඒ වෙනකොට මම කසාද බැඳලත් හිටියේ. ඒ කාලේ බොහෝදෙනා කිව්වේ “බැඳපු අය එච්චර  රඟපාන්න යන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් පහුවෙනිදා මේ අය මාව හොයාගෙන හෝටලයට ආවා. දින දෙක තුනකම ආවත් මම කිව්වෙම “මට බැහැ කියලයි. ඔය සිද්ධිය සලාකා හෝටලයේ අධිපති වුණු නෙත්තිකුමාර මහත්තයාත් දැක්කා. මම ඉතින් ඇත්ත සිද්ධිය කිව්වා. “මේ චාන්ස් එක අතහරින්න එපා. ඔයා රඟපාන්න. කියලා මට නෙත්තිකුමාර මහත්තයා කිව්වා. ඉතින් මම ගෙදරට හොරා ඒ කොටස රඟපාන්න ගියා.

ඒ චරිතය මොකක්ද?
ඇත්තටම ඒක බොහෝම පොඩි චරිතයක්. ඒ දර්ශනය රූගත කිරීම් කරන්න තිබුණේ කොළඹමයි. මට කරන්න තිබුණේ නීලා ලියනගෙදරගේ පර්ස් එක අරගෙන දුවගෙන යන තරුණයෙක්ගේ චරිතයකුයි. මම ඉතින් අධ්‍යක්ෂවරයා කියලා දුන්නු උපදෙස් හිතට අරගෙන ඒ කොටස හොඳට කළා. ඒ වැඩේ කරන්න මට මිනිත්තු දහයක්වත් ගියේ නැහැ. ඔන්න ඉතින් ෂූට් කළා. මාත් හරියට සතුටු වුණා. ඒකට හේතුව වුණේ “දැන් මට ගෙදර යන්න පුළුවන්නේ. කියලා හිතපු නිසයි. හැබැයි අධ්‍යක්ෂවරයා මම ළඟට ඇවිත් “ඔයා ඒ කොටස හොඳට රඟපෑවා. “අපි ඒ චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතයට ඔයාව තෝරාගන්නවා. අපිත් එක්ක වැඩ කරමු. කියලා කිව්වා. ඔන්න ඉතින් ඒ විදිහට මම “කතුරු මුවත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණා.

“කතුරු මුවත් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයා වුණු ඔබ නිර්මාණ බොහෝමයකම රඟපෑවේ දුෂ්ඨයාගේ චරිතය නේද?
ඔව්නේ.. “කතුරු මුවත් චිත්‍රපට රඟපාද්දී මට තව චිත්‍රපට හතරකම රඟපාන්න අවස්ථාව ලැබුණා. මුල් දවසේ ගෙදරට හොරා රඟපාන්න ආවම මාව “කතුරු මුවත් චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ඨයාගේ චරිතයට තෝරා ගත්තාට පස්සේ මම ඒ ගැන ගෙදරට කිව්වා. ඒ අයගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. රඟපාන්න උපරිම සහයෝගය මෙන්ම නිදහස මට නෙත්තිකුමාර මහත්තයා ලබලා දුන්නා. ඒ නිසා හිතේ නිදහසෙන් මම රංගනයට එකතු වුණා. ඒකාලේ “හතර දෙනාම සූරයෝ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ ත්‍රසජනක බයිසිකල් පැදිල්ල පවා කළේ මමයි. ඒ නිසා ඒ කාලේ එක දිගටම සිනමාවේ දුෂ්ඨයා වුණේ මමයි.

ඔය වගේ ත්‍රාස්සජනක සිදුවීම් කරද්දී අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද?
අම්මෝ වෙලා තියෙනවා. සමහර සිදුවීම් ගැන අද හිතද්දී මට පුදුමත් හිතෙනවා. “ලොකුම හිනාව චිත්‍රපටය කරද්දී කවදාවත් අමතක වෙන්නේ නැති සිදුවීමක් මට වුණා. ඒ චිත්‍රපටයේ උණබම්බු ගොඩාක් ගොඩ ගහලා ඒ උඩින් බයිසිකලයක් පැදගෙන යන දර්ශනයක් කරන්න තිබුණා. මම මෝටර් සයිකල්වලින් කරනම් ගහන්න ඒ කාලේ හරි දක්ෂයි. ඔන්න ඉතින් ෂූට් කරන්න හැමදෙයක්ම ලෑස්තියි. මමත් ලෑස්තියි. විධානය ලැබුණා. මාත් බයිසිකලේ පැදගෙන උණබම්බු ගොඩෙන් ආවා. 
එකපාරටම බයිසිකලේ ලිස්සලා මාව උණබම්බු ගොඩ ඇතුළට වැටුණා. මගේ ඇඟ උඩ බයිසිකලේ වැටුණා. මට සිහිය නැතිවුණා. කට්ටිය මාව ඉස්පිරිතාලේට ගෙනිහින් තිබුණා. මට රෝහලේදී සිහිය එද්දී වෛද්‍යවරු මගේ කකුල ඔපරේෂන් කරන්න සූදානම් වෙලා තිබුණා. ඒ අනතුරෙන් මගේ කකුල දෙකට කැඩිලා තිබුණා... ලොකු ඔපරේෂන් එකකට පස්සේ මාස නවයක් විතර මට ඒ කකුලට ප්‍රතිකාර ගන්න සිද්ධවුණා.

ඇයි ඉස්පිරිතාලෙන් හොරෙන් පැන්නේ?
ඒකත් රඟපාන්න තිබුණු ඕනෑකම නිසාම තමයි. අද කාලේ වගේ ඒ කාලේ රෝගීන් බලන වෙලාවට සෝදිසියෙන් බලන්නේ නැහැ. චිත්‍රපටයේ හැම දර්ශනයක්ම රූගත කිරීම් කරලා තිබුණට එක දර්ශනයක් විතරක් ඒ අයට මම නැතිව රූගත කිරීම් කරන්න බැරිවුණා. ඒ ගැන මම දැනගත්තා. ඔන්න දවසක් මම චිත්‍රපටයේ කිහිපදෙනෙක්ට එන්න කියලා ලෙඩ්ඩු බලන වෙලාවට හොරෙන් ඉස්පිරිතාලෙන් පැනලා ආවා. රූගත කිරීම් කරන්නත් බැහැ කකුලේ ප්ලාස්ටර් එක නිසා. මම දන්නා හමුදාවේ යාළුවෙක්ට කියලා කකුලේ ප්ලාස්ටරේ කපවාගෙන රූගත කිරීම් කරන තැනට ගියා. 
මම යද්දී හැමදේම සූදානම් කරයි තිබුණේ. මම ගියපු ගමන් ඒ දර්ශනය රූගත කළා. මෝටර් සයිකලේ නැගලා ලීවලින් හදපු ගේට්ටුවක් කඩාගෙන ගිහින් තමයි ඒ දර්ශනය අවසන් කළේ. ඊට පස්සේ ආයෙත් කකුලට පාලාස්ටරයක් දාගෙන මම හොරෙන්ම ඉස්පිරිතාලේ ඇඳට නැග්ගා. ඔය වගේ සිදුවීම් මගේ ජීවිතයට වෙලා තියෙනවා. කොහොමටත් මම අභියෝග බාරගන්න හරි ආසයි. මම මේ වනවිට චිත්‍රපට දෙසීය පනහකට කිට්ටු ගණනාවක් රඟපාලා තියෙනවා. ටෙලිනාට්‍ය කිහිපයක් රඟපාලා තියෙනවා.

අදටත් ඔබ නිර්මාණවල ඇඳුම් පැළඳුම් ඔබම තමයි නේද සපයා ගන්නේ? ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. කොහොමටත් එදා ඉඳන්ම මම අඳින ඇඳුම් මගේම ඒවා තමයි. පොලිස් නිලධාරින්ට, හමුදා නිලාධාරීන්ට අඳින ඇඳුම් පැළඳුම් පවා මම ඇන්දේ මගේම ඒවා තමයි. මම පිළිවෙළට සහ පිරිසිදුකම ගැන ගොඩාක් හිතනවා. අනික මම ෂූටින් යද්දී මගේ ඇඳුම් අයන් කරගෙනමයි යන්නේ. ඒකටත් කාටවත් කරදර කරන්න මම කැමැති නැහැ.

 අද ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද?
මේ දවස්වල නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලයි තියෙන්නේ. මම විවාහ වුණේ 1962 අවුරැද්දේ. මීට අවුරුදු දෙකකට කලින් මගේ බිරිඳ නැතිවුණා. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. එක පුතෙක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අනිත් පුතාත් එක්ක තමයි මම ඉන්නේ. ඉතින් මම දවස ගෙවන්නේ කලා කටයුතු එක්කයි. මගේ දරුවන්ගේ දරුවන් එක්කයි. 

 

► Text - Dishani  /   Pic -  Sumudu