2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

නොබෙල් තෑග්ගට ඔන්න මෙන්න ළංවූ පුංචිම කෙල්ල

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

පාකිස්තාන දැරිවියන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දිවි නොතකා සටන් කළ මලාලා යුසුෆ්සායිට ඒ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයට ලැබුණේ 2014 අවුරුද්දෙදියි. ඒ වෙද්දි ඇගේ වයස අවුරුදු 17යි. ඒ නිසාම නොබෙල් ත්‍යාගයක් දිනාගත් ළාබාලතම පුද්ගලයා විදිහටත් ඈ වාර්තා පොත් අතරට පිවිසුණා. කොහොම වුණත් ඒ වාර්තාවට බිඳදැමීමට ඔන්න මෙන්න සිටින දැරිවියක් ගැන මේ දවස්වල ස්වීඩනයෙන් වාර්තා වෙනවා. ඒ තමයි 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග්.

තවමත් පාසල් යන දැරිවියක් වන ග්‍රේටා ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ පටන් අපූරු විප්ලවයක් පටන් අරගෙන තියෙනවා. කාලගුණ විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් තරුණ පෙරමුණත් නිර්මාණය කරගෙන තිබෙන ඈ තමන්ගේ විරෝධතා ව්‍යාපාරය දියත් කරන්නේ පාසල් පන්ති කාමර විරෝධතා හරහායි. ඇය තමන්ගේ සෙසු පන්ති කාමර සගයන් සමඟ එකතු වෙලා පන්ති වර්ජනය කිරීමත්, දැනුම්වත්භාවය වැඩිකිරීමේ වැඩසටහන් ආදියත් දියත් කරනවා.

නෝර්වීජියානු සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆ්‍රෙඩී ඇන්ඩ්‍රි පවසන ආකාරයට දේශගුණ විපර්යාස නිසා ඉදිරියේදී ලොව පුරා යුද්ධ සහ ගැටුම් වගේම දරුණු සරණාගත ප්‍රශ්නයකුත් එළඹීමට ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි ග්‍රේටාගේ දේශගුණ විපර්යාස වළක්වාගැනීමේ අලුත්ම රැල්ලට නොබෙල් සාම තෑග්ග ලබාදීම ගැන නොබෙල් කමිටුවේ අවධානයත් යොමුවෙලා තියෙන්නෙ.

මුලදී ග්‍රේටාගේ කටයුතුවලට දේශපාලකයන්ගේ යම් අකමැත්තක් පළවුණත්, ග්‍රේටාගේ වැඩපිළිවෙල ලෝක නායකයන්ගේ පැසසුමට ලක්වී තිබෙනවා. විශේෂයෙන්ම ජර්මනියේ චාන්ස්ලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ග්‍රේටා පසසමින් පහුගිය දිනවල කතාබහ කරලා තිබුණා. ඊට අමතරව අයර්ලන්ත අගමැති, පැරිසිය, මිලානෝ, සිඩ්නි, ඔස්ලෝ, බාසිලෝනා, පෝට්ලන්ඩ් වැනි ලොව පුරා නගරවල නගරාධිපතිවරු වගේ ගොඩක් අය ග්‍රේටාව අගය කරලා තිබුණා.
“මාව නොබෙල් සාම තෑග්ගට යෝජනා වීම ගැන මට ගොඩක් සතුටුයි. කොහොම වුණත් මම මේ පටන් ගත් කටයුත්ත අවසානයක් දකිනතුමු කරගෙන යනවා. මොකද අපි කැමැති වුණත් අකමැති වුණත් අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා”, ග්‍රේටා ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශ කරතිබුණා. 

මේ වසරේ දෙසැම්බර් මාසයේදී පිරිනැමීමට නියමිත නොබෙල් සාම ත්‍යාගය සඳහා මේ වනවිට නිර්දේශ නාම 301ක් ඇතුළත් වී තිබෙනවා. ඒ පුද්ගලයන් 223ක් සහ සංවිධාන 78ක් වශයෙන්. 
“අපි හැමවෙලේම දරුවන්ව හඳුන්වන්නේ අනාගත ලෝකයේ භාරකරුවන් විදිහටයි. හැබැයි ඔවුන් ලෝකය භාරගන්න අනාගතය උදාවන තුරු හිටියොත් ඔවුන්ට භාරගන්න ලෝකයක් ඉතිරිවන එකක් නැහැ. ඒ නිසා ග්‍රේටාගේ මේ වෑයම ඉතා ප්‍රශංසනීයයි. මේ වැඩකටයුත්ත හරහා පුංචි දරුවන් ඔවුන්ගේ රාජ්‍ය නායකයින්ව ලැජ්ජාවට පත්කරවලා තිබෙන බවත් නිසැකයි” යනුවෙන් ඇමිනෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රධානී කුමි නයිදෝ පවසනවා.  

ද ගාඩියන් සඟරාව ඇසුරෙන් 

► Text - Suranga