2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

සුද්දාගේ හැමදේම බදාගෙන අපි අපිව නැතිකර ගන්නවා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 327

රොෂාන් මුලින්ම අපි දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරනවා?
එසේම වේවා... මේ රටේ සියලුම දෙනාටම පිටරට ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රර්ථනා කරනවා.

මේ වසරේදී රොෂාන්ගේත්, කුශ්ලානිගේත් අවුරුද්ද සමරන්නේ කොහොමද?
මේ අවුරුද්දේත් සුපුරුදු පරිදි අපි අපේ අවුරුදු චාරිත්‍ර කරනවා. සමහර වෙලාවට අවුරුදුවලදී රූපවාහිනි නාළිකාවල වැඩසටහන්වලට සහභාගී වෙද්දී නම් ඒ චාරිත්‍ර ගෙදර කරන්න අපිට බැරි වෙනවා. හැබැයි එහෙම මම ගෙදර හිටියේ නැතත් කුශ්ලානි ගෙදර ඉඳන් එයාගේ අම්මවත් එකතු කරගෙන ඒ චාරිත්‍ර තනියම හරි ගෙදර කරනවා. මේ අවුරුද්දෙත් එහෙම ආරාධනා තිබුණා. නමුත් අපි දෙන්නම හිතුවා ගෙදර ඉඳන් දෙන්නම එකතුවෙලා ඒ අවුරුදු චාරිත්‍ර සිදුකළොත් හොඳයි කියලා. මම පොඩි කාලේ ඉඳන් ඒ චාරිත්‍ර ටික මව්පිය ආභාෂයත් එක්ක සිදුකළා. ඒ නිසා අවුරුදු නැකැත් වෙලාවට එහෙ මෙහේ යන්න මම කැමති නැහැ. ඉතින් මේ අවුරුද්දේ අපි දෙන්නම එකතුවෙලා ඒ නැකැත් චාරිත්‍ර ටික කරනවා.

ළමා කාලයේදී අවුරුද්ද හරි අපූරුයිනේ... රොෂාන්ගේ ගෙවුණ ළමා කාලයේදී ඒ ගතකරපු අලුත් අවුරුද්ද මොනවගේද?
ඇත්ත... ඒ කාලේ අපි ගතකරපු අවුරුද්ද හරි සුවිශේෂයි. පොඩි කාලේ ඉඳන් අම්මලා එක්ක එකට ඉඳලා අම්මලා එක්ක අවුරුදු සැමරුවා. ළමා කාලේදී එක වතාවක්  විතරයි මම ලංකාවෙන් පිට තාත්තා එක්ක හිටියේ. ඒ හැර හැම අවුරුද්දකම අම්මලත් එක්ක තමයි අවුරුදු සැමරුවේ. මම ඒ කාලේ මගේ ආච්චියි සීයයි දෙන තෑග්ග මොනවද කියලා හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ. අම්මා තාත්තා තෑගී දෙද්දී වුණත් ඒවා අපිට වටිනවා. අද කාලේ අපි හම්බකරගත්තු මුදලින් අපි ඇඳුම් ගත්තාට ඒ කාලේ දෙමව්පියෝ දෙන දේ තමයි අපිට හොඳටම වටින්නේ. ඒක ඇත්තටම කියන්න බැරි අපූරු අත්දැකීමක්. ඒ අලුත් ඇඳුම්වල සුවඳ හරිම වෙනස්.

ඒ කාලේදී රොෂාන් ඔයා අවුරුද්දට ආසාවෙන් කළේ මොනවාද?
ඔව්.. ඔව්.. මට තාම මතකයි අවුරුදු නැකැත් කරලා ඉවර වුණාට පස්සේ මායි මල්ලියි බලාගෙන ඉන්නේ කෑම පිඟන් අරගෙන අහළ පහළ ගෙවල්වලට යන්නයි. මම හිටපු ප්‍රදේශයේ අවට බොහෝ දෙනෙක් කතෝලික අයයි. ඉතින් අපි විතරයි ඒ කාලේ අවුරුදු සැමරුවේ. හැබැයි මම ඒකට හරි අකමැතියි. සිංහල කතෝලික වුණත් අපි හැමෝම මේ උත්සවය සමරන්න ඕනේ. මේ උත්සවය ආගමකට සීමාකිරීම ගැන මම විරුද්ධයි. 

ශ්‍රී ලාංකික සිංහලයෙක් නම් අපි අවුරුදු සමරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අවුරුදු සැමරුවේ නැහැ. ජේසුස් වහන්සේ අවුරුදු සැමරුවේ නැහැ. නමුත් සිංහල දමිළ අපි තමයි අවුරුද්ද සැමරුවේ. මේ උත්සවය ශ්‍රී ලාංකිකයින්ට ආවේණික දෙයක්. ඉතින් මේ උත්සවය අපි සැමරුවේ නැත්නම් තව වසර ගණාවකට පස්සේ මෙහෙම උත්සවයක් තිබුණද කියලා අනාගත පරම්පරාව දැනගන්න එකකුත් නැහැ. අපේ ළමා කාලේදීත් අවට කතෝලික මිනිස්සු ඒක සැමරුවේ නැහැ. ඒ නිසා අපේ කැවුම්, කොකිස් කන්න ගොඩාක් අය හැම අවුරුද්දෙම බලාගෙන හිටියා. ඉතින් නැකැත් වෙලාව ඉවරවුණු ගමන් මම එක පිඟානක් අරගෙන එක ගේකට යනවා. මල්ලී තව පිඟානක් අරගෙන තවත් ගෙදරකට යනවා. සමහරදාට අපේ යාළුවොත් අපේ කෑම පිඟාන උස්සගෙන අපිත් එක්ක එනවා. ඉතින් එහෙම වුණාම එකපාර ගෙවල් දෙක තුනකට යන්න පුළුවන්නේ. ඉතින් ඒවගේ අවුරුදු කාලය එනතුරු අපි ආසාවෙන් බලාගෙන හිටියා. ඒ කාලය හරිම සුන්දරයි. බෙදාගැනීම, එකමුතුකම එක්ක ගෙවුණු ඒකාලය හරි ලස්සනයි. තරහ වුණු යාළුවෝ, නෑදෑයෝ ආයෙත් එකතු වෙනවා. 

සමහරු මේවා වැඩකට නැති දෙවල් කියලයි හිතන්නේ?
ඔව්.. අද සමාජය ඒක විහිළුවක් වගේ තමයි දකින්නේ. සමහරු හිතන්නේ “මේ නැකැත් කියන්නේ බොරු වැඩක් මොකටද කරන්නේ කියලයි. සමහරු “සුද්දෝ නැකැත් බලනවාද සුද්දට හරි ගියේ නැදද කියන මෝඩ ආකල්ප ඇති කරගෙන අපේ තිබෙන චාරිත්‍ර නැති කරනවා. හැබැයි ඒ අයගේ සංස්කෘතික දේවල් සුද්දා කරනවා. හැම රටකම තියන සංස්කෘතික දේවල් ඒ අය කරනවා. හැබැයි අපේ ලංකාවේ තිබෙන මේ පුංචි දූපතේ මිනිස්සු පිටරට දේවල් මහ ඉහළින් තමන්ගේ කරගෙන අපේ දේවල් විහිළුවට ලක්කරගෙන.

සුද්දා ජනවාරි 01 වෙනිදාට නැගිටින්නේ හොඳටම බීලා. ඒ අය මහ ඉහළින් “31 Night” සමරනවා. අපේ අයත් දැන් ඒක හරි ආඩම්බරයෙන් සමරනවා. “31 Night ගෙදරද... අයියෝ... වැඩක් නැද්ද... කියලා තමයි අහන්නේ. සමහරු අවුරුදු සමරන කෙනෙක් දැක්කොත් “අයියෝ තාමත් ඔය චාරිත්‍ර ඔළුව උඩ තියාගෙන ඉන්නවාද කියලා තමයි අහන්නේ. අපි නැත්තටම නැතිවුණ ජාතියක් වෙන්නේ මේ සුද්දාගේ හැමදේම බදාගැනිල්ල නිසයි. අපි අපිටම අද අපිව ලැජ්ජා වෙලායි තියෙන්නේ. හැබැයි මම මගේ දරුවෙක්ට වුණත් මම මේ අපේ සිංහලකම ඒ දරුවටත් කියලා දෙනවා. ඒ නිසා මේ අවුරුදු චාරිත්‍ර ආගම්වලට සීමා කරන්න එපා. ඒ අවුරුදු චාරිත්‍ර අපේ කමෙන් ඈත් කරන්න එපා. අපේ රටේ වැඩිපුරම ඉන්නේ සිංහල ජනතාවයි. ඉතින් සිංහල ජනතාව එකම වෙලාවක කනවා, එකම වෙලාවකට ගනුදෙනු කරනවා. එහෙම වෙලාවට වැඩ නවත්වනවා වගේ වැඩ කරනවා. ඒක තමයි අවුරුද්ද. එහෙම නැතිව අවුරුද්ද කියන්නේ කාලා, බීලා, නටලා, විනෝද වෙන එකම නෙමේ. 
රොෂාන් එහෙම අවුරුද්ද ගැන කියද්දී අපි දැන් අහලා බලමුද කුශ්ලානිත් ළමා කාලයේදී අවුරුද්ද ගෙවුණේ කොහොමද කියලා.

කුශ්ලානි ඔයාගේ ළමා කාලය අවුරුදු කාලේ ගෙවුණේ කොහොමද?
මම කතෝලික හැබැයි රොෂාන් කිව්වා වගේ මාත් ළමා කාලයේම අවුරුද්ද සමරපු කෙනෙක්. මගේ පුංචි කාලයේ ඉඳන්ම ඒ චාරිත්‍ර අපිත් ඒ විදිහට කළා. ඒ දේවල් සැමරුවා. අපේ ආච්චී, සීයා, අම්මා, තාත්තා ඒ චාරිත්‍ර සැමරුවා. මම පවුලේ එකම දරුවා අවුරුද්ද සමරන්නේ අපේ පාසල් නිවාඩු කාලයේ නිසාත් අපිට තවත් ලේසියි. ඉතින් ඒ කාලයේදී කට්ටියම එකතු වෙලා අවුරුදු සමරනවා වගේම අපි ඒ අවුරුදු ක්‍රීඩාත් එකමුතුව කළා. ඇත්තටම මගේ ජීවිතේ අමතක නොවනම ළමා කාලයක් තමයි ඒ සුන්දර ළමා කාලයේ අවුරුදු සැමරීම.

කුශ්ලානි අවුරුද්දට කරන්න ආසම ක්‍රීඩාව මොකක්ද?
ඒ කාලේ නිවාඩු කාලෙනේ. ඒ නිසා ගොඩාක් පුංචි කාලේ අපි කට්ටිය එකතුවෙලා පොඩි පොඩි අවුරැදු උත්සව තියෙනවා. හැන්ද මත දෙහි ගෙඩිය තියාගෙන යාම, බනිස් කෑම, ඒ වගේ ක්‍රීඩා අපි කරනවා. ඉතින් ඒවලට අපි අම්මලාගෙන් සල්ලි කීයක් හරි ඉල්ලාගෙන පොඩි පොඩි තෑගි ලෑස්ති කරනවා. අපි පුංචි කාලේ එකවගේ යාළුවෝ ගොඩාක් අපේ ගෙවල් අවට හිටියා. ඉතින් ඒ අවුරුදු ක්‍රීඩාවලට ඒ හැමෝම සහභාගී වුණා. අපේ ගෙවල් වටපිටාවේ විවිධ ආගම්වල අය හිටියා. ඒ හැමෝම එදාට එකතු වුණා. “අවුරුදු කුමාරිය තරගය නම් හරිම සුවිශේෂයි. අපි ඇඳුම් ලෑස්ති කරගෙන හරිම ආසාවෙන් ඒ තරගයට ඉදිරිපත් වෙනවා. ඇත්තටම ඒ කාලය හරි අපූරැයි.

කුශ්ලානි ගෙදරදීම කෑම බීම හැඳුවද? එහෙම නැත්නම් කැවිලි පෙවිලි කඩෙන් ගත්තාද?
මෙහෙමයි.. සමහර දේවල් මම ගෙදරදීම හැදුවා. ඒ දේවල් හදන්න අම්මත් උදව් කළා. ගෙදර ඉන්න දවස්වලට රොෂානුත් ළඟට වෙලා බලාගෙන ඉඳලා ඒ දේවල්වලට උදව් කළා. රොෂාන්ගේ ගෙදර නම් ඒ හැමඑකක්ම ගෙදරම තමයි හදන්නේ. ඉතින් ආස්මි වගේ අමාරු කැවිලි පෙවිලි නම් අපිත් මිලදී ගත්තා. රොෂාන් කඩෙන් ගෙනත් කන්න ආස නැහැ. ඉතින් එයාම සමහර වෙලාවට “අම්මාගෙන් අහලා ඉගෙන ගන්න කියලා කියනවා. රොෂාන් ආස කැවිලි මම එයාගේ අම්මාගෙන් අහලත් හැම අවුරැද්දෙම හදනවා. සමහර අවුරුදුවලදී එහෙම කෑම හදන්න ගිහින් වැරදුණු වෙලාවලුත් තිබෙනවා. 

අලුත් අවුරුද්දට තෑගි බෝග ගන්නේ දෙන්නා එකකටම ගිහින්ද?
ඔව්.. කවදාවත් අපි දෙන්නාගෙන් කවුරුවත් තනියම ගිහින් ගන්නේනම් නැහැ. අපි අවුරුද්දට ළංවෙලාම නැතිව ටිකක් කලින් ඉඩ ලැබුණු වෙලාවක දෙන්නා එක්කම ගිහින් තමයි ඇඳුම්, තෑගි බෝග තේරැවේ. ඒකත් අවුරුද්දේ සතුටේ කොටසක්නේ. දෙන්නා එකතුවෙලා තෝරනවා. අවුරුද්දට විතරක් නෙවේ නත්තලට, උපන්දිනයකට මඟුල් ගෙදරකට වුණත් අපි දෙන්නම එකට ගිහින් තමයි ඇඳුම් පැළඳුම් තෑගි බෝග ගන්නේ.

අවුරුද්දට නෑගම් යන්නෙ කවදාද?
අනිවාර්යයෙන්ම අපි අවුරුද්දට අම්මලාගේ ගෙදර යනවා. අපි අවුරුද්දට අපේ ගෙදර අවුරුද්ද සමරනවා නම් ගෙදර චාරිත්‍ර කරලා ඉවරවුණාට පස්සේ අපි රොෂාන්ගේ මහ ගෙදර ගිහින් අම්මා, තාත්තා, ආච්චි එක්ක කතාබහ කරනවා. විශේෂයෙන්ම නෑගම් යන්න කියලා එදාට ලොකු පිරිසක් නැහැ. ඒ වුණාට ළඟ පිරිස ගිහින් අපි හමුවෙනවා.

ඇත්ත කියන්න පුංචි කාලේ නොනගත වෙලාවේ කෑම හොරෙන් කාලා තියෙනවා නේද?
මෙහෙමයි මම කෑම කනවා නම් හරිම හොරයි. මම නොනගතය කියලා එහෙම ගාණක් නැහැ. (මෙහෙම කුශ්ලානි කියද්දී ඔන්න රොෂානුත් ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා.) හැබැයි මම නම් ඒ චාරිත්‍රය හරියටම කරනවා. අපි ඒ වෙලාවට ළිපවත් පත්තු කරන්නේ නැහැ. හැබැයි අම්මා උණු වතුර බෝතලයට තේ එකක් නම් හදලා තියෙනවා. හැබැයි මම නම් කවදාවත් නොනගතයට පන්සල් නම් ගියේ නැහැ.
ඔන්න ඔහොම රොෂාන් පන්සල් යාම ගැන කියද්දී කුශ්ලානි රොෂාන්ට අමතක වුණු කතාවක් ආයෙත් මතක් කළා.

නෑ.. නෑ.. අපි එක අවුරුද්දක නොනගතයට පන්සල් ගියා. අපි විවාහ වෙලා සමරපු මුල්ම අවුරුද්ද අපි සැමරැවේ නාළිකාවක් එක්කනේ. එදා අපි නොනගතයට පන්සල් ගියා.

කුශ්ලානි මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔය දෙන්නාගේ සුභ පැතුම මොකක්ද?
අවුරුද්දේදී සාමය මෙන්ම බෙදාගැනීම හරි විශේෂයි. ඒකනේ අපි කැවිලි, තෑගි බෝග බෙදාහදාගත්තේ. ඒ සාමයේ පණිවිඩයත් එක්ක මේ අවුරුද්ද සමරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (කුශ්ලානි එහෙම ප්‍රාර්ථනා කරද්දී රොෂානුත් ඒ පැතුමට තවත් යමක් එකතු කරන්න අමතක කළේ නැහැ.) අපි මේ ජාති ආගම් භේදයෙන් අයින් වෙමු. සමහරු මේ ආගම් නිසා අවුරුද්ද සමරන්නෙත් නැහැ. ඒවගේම මේ විවිධ දේශපාලන මතවලින් අපි අයින් වෙමු. අපි ඔක්කොම එකම රටේ මිනිස්සු. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා ලැබුවා වූ මේ සිංහල අලුත් අවුරුද්ද සාමයෙන්, සතුටින්, සැනසීමෙන් ජීවත් වෙන්න හැකි අවුරුද්දකන් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.  

 

► Text - Dishani  /  Pic – Sumudu