2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

වේදනාවත් මාර රසයක්

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 294

ඉල්ලාන ආදරය  මුදු ලෙසින් නිය තුඩට 
කැන්දාන සිහිනයේ පාමුලට නුඹව මම
හිස තියා උරහිසේ හඬන්නට බලාගෙන
ඇත තවම මඟබලා නොරිකො සං හැමදාම....

මට එහෙම ලියන්න හිතුණා... කාත් කවුරුත් ළඟක නැති මොහොතක හිනැහෙමින් පහුරු ගාන හුදෙකලාව තුන් හිත අසල ගැවසෙද්දී නොරිකො සං ඇවිත් ඒ හිත් පිල්කඩේ කොහේ හරි තැනක ඉඳගන්නවා... දෙවොන්දරා සං යන්නම ගියත්... නොරිකෝ ඇරලවලා එන්න ගියත් ප්‍රේමයක් නිමාවෙන්න හැකිද ඒ ලෙස... හිත මගේ අහන්නෙම එහෙම... මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා නවකතාවක් නොවෙයි ශෝක රසයේ උල්පත් මැවූ මහා කාව්‍යයක් විදිහටයි මට දැනුණේ... ඇයටත් එහෙමලු... 
නොරිකෝ ළඟ නතරවෙන්න කලින් මොහොතක් අපි කතා කළා ජීවිතය ගැන....

මේ දවස්වල කරන වැඩකටයුතු ගැන අපිට පොඩ්ඩක් කියලා ඉමුද?
මේ දවස්වල මම නවකතාවක එල්ලිලා ඉන්නවා... ඒ අතරතුර කෙටි කතාවකුත් ලියාගෙන යනවා... ගෙදර දොර වැඩකටයුතුත් එකක් ජීවිතය හෙමින් හෙමින් ගතවෙනවා...
ඇය දුන්න කෙටි පිළිතුරෙන් සෑහිලා... දැන් අපි වැඩේට බහිමු එහෙනම්... 

කරුණා පෙරේරාගේ ජීවිතයට සමීප වුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  ඒක ගීතයක් වෙන්නත් බෑ? ඔබේ නිර්මාණයක් වෙන්න බෑ... ඒවා තමයි කොන්දේසි....
ඇය දැනටමත් ඒ කොන්දේසි දන්නවා..  

ඔබ නිර්මාණයක් ගැන කතා කරන්න කිව්වාම... මගේ කැමැත්ත පොත් ගැන කතාකරන්නයි.... සාමාන්‍යයෙන් මම ගොඩක්ම ආස කරන්නෙ පරණ පොත්වලට... මගේ මතකයේ තදින්ම තැන්පත් වෙච්ච පොත් දෙකක් තමයි මළවුන්ගේ අවුරුදු දා, මළගිය ඇත්තෝ කියන්නෙ... ඒ පොත් දෙකට දැන් අවුරුදු 60 විතර වයසයි.. මේ පොත් දෙක අතරිනුත් මට වඩාම සමීපයි මළවුන්ගේ අවුරැදු දා කියන කෘතිය... මම විතරක් නෙමේ අද ඉන්න තරුණ පරම්පරාව පවා.. හරියට ඇලුම් කරන පොත් තමයි මේවා.. 

හේතුව මොකක්ද මේ පොතට මෙච්චර ආදරය කරන්න...?
ඇත්තටම මම ගොඩක්ම මේ පොතට කැමති වෙන්න හේතුව නොරිකෝ කිව්වොත්... ඒක තමයි ඇත්ත..  මම කියන්නම් ඒ ඇයි කියලා...?

මේ නවකතාව දිග ඇරෙන්නේ... ජපානයට යන දෙවොන්දරා සං කියන තරුණයා  සහ ජපානයේ වෙසෙන නොරිකෝ සං කියන තරුණිය අත ඇතිවන මානව සම්බන්ධතාවක්.  මේ කෘතියට ප්‍රේමය මුල් වුණත්... හැබැයි ඒ ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයක් නෙමේ.... ඔවුන් කොයිම වෙලාවකවත් යෝජනා කරන්නෙත් නෑ විවාහ වෙමුයි කියලා. නමුත් හදවතින්ම දෙන්නට දෙන්නා ආදරෙයි... මේ දෙන්නට මේ දෙන්නා නැතුව බෑ... ආදරය කියන්නෙ මොකක්ද කියන එක මේ කතාව කියවපු කෙනෙක්ට තෙරෙනවා.. ඒ නිසා මම යෝජනා කරනවා වර්තමාන පරපුර මේක කියෙව්වොත් හොඳයි කියලා... මොකද අද ආදරය කියලා කරන්නෙ දෙන්නට දෙන්නා එකට එකතුවෙලා එහෙ මෙහෙ යන එකනේ...  ආදරය තියෙන්න ඕනෙ හදවත්වල... මේ පොතේ තියෙන විශේෂත්වයත් ඒකයි. හදවතේ ගැඹුරුමට තැනටයි මේ කෘතියෙන් සරච්චන්ද්‍රයන් කතා කරන්නෙ...

නොරිකො සංට තමන්ගේ පියා අහිමි වෙනවා, ඇයගේ දුකට සැපට හිටපු හොඳම හිතවතා දෙවොන්දරා සං නැතිවෙනවා.. එක පිට එක ප්‍රශ්න එනවා... නමුත් අපි මේ පොත කියවද්දී නොරිකෝත් එක්ක එකතුවෙලා ඒ ප්‍රශ්නවලට මුහුණ දෙනවා, සමීපව ඉන්නවා ඇය ජීවිතයෙන් බිමට ඇද වැටෙනවා... ඒ පරාජයන්වලින් අපි වින්දනයක් ලබනවා... මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශේෂත්වයත් ඒකයි... ශෝකය ගීතයක් බවටත් පත්කරලා තියෙනවා. ඇත්තටම මේ කෘතියට පදනම වෙන්නෙ බෞද්ධ දර්ශනය. මම තරුණ කාලේ මේක කියවද්දි යම්තාක් දුරකට මේ කතාවේ හරය තේරුණත්... මේ යුගයේ පොත පරිශීලනය කරද්දී ඊට වඩා ගැඹුරක් මට මේ පොත තුළින් පේනවා. 

මේ නිර්මාණය කරුණා පෙරේරාට මෙච්චරම සමීප වෙන්න මේ පොතත් එකක් බැඳුණු ජීවිත අත්දැකීමක් තියෙනවාද?
ඇත්තටම ඔව්... අපේ තරුණ කාලයේදී අපි අත්වැල් බැඳගෙන පාරවල් ගානේ ඔහේ ඇවිදින්න තරම් වාතාවරණයක් තිබුණේ නෑ... සමාජයේ ඉහළම පන්තිවල අය එහෙම කරන්න ඇති. නමුත් අපි හරිම සෞන්දර්යාත්මක විදියට තමයි ආදරය වින්දේ... අපි කවි නිසඳෑස් ලිව්වා... කෙටිකතා ලිව්වා.... මගේ පත්තරයක පලවුණු මුල්ම කෙටිකතාව ආදර කතාවක්... මම පාසල් යන කාලේ තමයි ඒක ලිව්වේ... අපිට හම්බවෙන ආදර හසුනකට පවා උත්තරයක් ලියන්න තිගැස්මක් තිබුණා... ලැජ්ජා බයත් එකක් තමයි අපි හැදුණේ... සමහරු දැන් මගෙන් ප්‍රශ්න කරනවා... ඔයා ආදරය ගැන ලියන්න එච්චර උනන්දු වෙන්නෙ නෑ.... ජීවිත ප්‍රශ්න ගැනමයි කතා කරන්නෙ කියලා... ඒක අර අපේ යොවුන් කාලේ තිබුණ අත්දැකීම්.... ඒ වෙනකොට මහාචාර්ය සරච්චන්ද්‍රලා, ගුණදාස අමරසේකරලාගෙන් සාහිත්‍ය පිළිබඳ පෝෂණය ලබලා තිබුණේ... ඒ නිසා තමයි අපේ ඇතුළාන්තය අපි කතා කරන්නෙ... බාහිරව දුවලා පැනලා කරන ඒ ප්‍රේමයක් නෙමේ තිබුණේ... මගේ ජීවිතය සංවර වෙන්න මේ දෙවල් බලපෑවා... ආදරය වගේ තමයි ජීවිතයේ කරදර කම්කටොලු මට ගොඩක් ආවා.. ඒ සියලුදේ දිහා උපේක්ෂාවෙන් බලන්න සංසුන්ව ඒ දරාගන්න මේ සාහිත්‍ය කෘති තමයි මට උපයෝගි වුණේ... බෞද්ධ දර්ශනයේ තියෙන ඇතිවීම නැතිවීම.... අනිත්‍යතාව පදනම් කරගත්තාම ජීවිතය ගෙනියන්න හරිම පහසුයි... 

නිර්මාණයක් රසවිඳිද්දි ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි... ඔබ ඔබේම කරගත්ත චරිතයක් ඇති නේද?
මම මාගේම කරගත්ත චරිතය තමයි, නොරිකෝ සං කියන්නෙ.... ඒකට හේතු ගොඩක් තියෙනවා... ඇය හැමෝටම උදව් කරන කෙනෙක්... හැමෝට ඇගේ ජීවිතය පරිත්‍යාග කරා වගේ... ඇයගේ අයියට... තාත්තාට, දෙවොන්දරාසං ට එයාට එයාගේ ජීවිතෙත් නැතිවුණා... අනුන් වෙනුවෙන් ජීවත්වුණා වගේ... අවසාන වශයෙන් ඇයගේ එකම බලාපොරොත්තුව නැවත ඉපදුණාම.. ජපානයේ හැදුණු වැඩුණ මේ තරුණ ගැහැනු ළමයා බලාපොරොත්තු වෙන්නෙ ඊළඟ ආත්මයේදී නැවත හමුවෙන්න... ‍ථෙරවාදි බෞද්ධ දර්ශනය තියෙන අපේ රටේ මේ වගේ අදහසක් වර්තමානයේදී දෙන්නෙ නෑනෙ..  සරච්චන්ද්‍රයන්ගේ කෘතිවල තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි වේදනාව රසයක් විදියට විඳින එක... ඇත්තට ඒක හරිම සෞම්‍යයි. 

මළවුන්ගේ අවුරුදු දා කෘතිය රසවිඳිද්දී ඔබේ සිත වැඩියෙන්ම සංවේදී කරපු තැනක් දෙකක් මතක් කරමුද...?
ඔව් මේ පොතේ ගොඩක් තැන් එහෙම තියෙනවා... මම වැඩියෙන්ම සංවේදී වෙන්නෙ දුක කියන එක කෙලින්ම කියන තැන්වල නෙමේ... ඒක ව්‍යංගයෙන් කියන තැන් තමයි හරියට ඒ දුක දැනෙන්නේ... අපේ හිත් නැවතෙන්නෙ එතන... ඒක ඇතුළේ කියන අපිට නොයෙක් දේවල් හිතෙනවා.. වටපිටාව ගැන, සමාජ බලපෑම ගැන, දේශපාලන හේතුන්, ආර්ථික කරුණු ගැන දැනෙනකොට තමයි අපි සංවේදීභාවය වැඩියෙන් දැනෙන්නෙ.. සරල විදියට වචන ගොඩක් එකතු කළාට වැඩක් නෑ... සරච්චන්ද්‍ර මහත්තයා එක තැනක ලියනවා... යාම හොඳයි... ගොස් ඒමද හොඳයි... ලොව ඇත්තේ යාම ඒම පමණයි... බලන්න මේ කෙටිවාක්‍ය තුළ මොනතරම් දේවල් ගැබ්වෙලා තියෙනවද කියලා.. මොනතරම් සංවේදීද කියලා... දැන් බලන්න අවුරුදු 60 පස්සෙ වුණත් මට පුළුවන් මේ නිර්මාණයත් එකක් එකතුවෙන්න... අද සමාජය වෙනස් වෙලා, ආර්ථිකය වෙනස් වෙලා, දේශපාලනික කාරණා වෙනස්වෙලා... ඒත් මේ පොතේ තිබෙන දේවල් සර්වකාලීනයි... අන්න එතනයි සාහිත්‍ය රැඳිලා තියෙන්නෙ..  

මළවුන්ගේ අවුරුදුදා ඔබට මුලින්ම මුණගැහෙන්නේ කොහොමද?
අපේ කාලේ සිංහල සාහිත්‍යයේ උසස්පෙළට සිලබස් එකේ තිබුණු නැති පොතක්, නාට්‍යයක් ගැන ලියන්න වෙනවා... අපේ වපසරිය හරි ලොකුයි... ඒ කාලේ එළියට ආපු පොත්පත්, නාට්‍ය ඔක්කොම වගේ අපි පරිශීලනය කරනවා. ඒ වගේ තමයි මට මේ නිර්මාණය මුලින්ම හමුවෙන්නෙ.. 

මේ කෘතිය දැනට ඔබ කීවතාවක් කියවලා තියෙනවාද?
මම මේ කෘතිය සෑහෙන වතාවක් කියවලා තියෙනවා.. ඒක ගණන් කරන්න බැරි තරම්.. මගේ හිතට පාළුවක් තනිකමක්, වේදනාවක් දැනුණු වෙලාවක මේ පොතේ පිටුවක් ඕන තැනකින් පටන් අරන් එතන ඉඳලා ඉදිරියට මට කියවගෙන යන්න පුළුවන්... දැනටත් මම එහෙම කරනවා... ඒක මගේ හිතට ලොකු සහනයක්... මළවුන්ගේ අවුරුදු දා, මළගිය ඇත්තෝ කියන කෘති දෙකම එහෙමයි... විශේෂයෙන් නොරිකෝ සං කියන කාන්තා චරිතය නිසා මළවුන්ගේ අවුරුදු දා මට විශේෂයි... මටනම් කොච්චර කියෙව්වත් ඇතිවෙන්නෙ නෑ මේ පොත....

මේ නිර්මාණය රසවිඳලා අවසානයේ ඔබ ගත්ත ඵලය මොන වගේ එකක්ද?
මට ඇත්තටම දැනුණේ මේ ජීවිතය කොච්චර නිස්සාර එකක්ද කියලා... අපි ඒ නිස්සාර ජීවිතය අල්ලගන්න හදනවා... ඒකෙන් අපිම දුකට පත්වෙනවා... ඒ වගේ ඵලයක් තමයි මට ලැබුණේ... මේ පොතේ තියෙන හරය වටහාගත්තට පස්සේ අපිට ජීවත්වෙන්න ලේසියි...  අනවශ්‍ය ලෙස දුකට පත්වෙන්නෙ නෑ අපි. 
ඇය එහෙමයි.. කතාව නැවැත්තුවේ.....

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet