2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ගවුමත් උස්සගෙන ගෙදර එද්දි අම්මා හොඳටම බැන්නා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 181

- අනූෂා දමයන්ති

පුංචි කාලේ මම ආසම ක්‍රීඩාව තමයි කැට ගහන ක්‍රීඩාව. ඉස්සර අපේ පැත්තේ අපේ වයසේ ළමයි කට්ටිය එකතු වෙලා අවුරුද්ද ළංවෙනකොටම කැටයක් හොයාගෙන කැට ගහනවා. හැබැයි කැට ගහලා මට දිනන්නත් ඕන. මම පරදින්න ආසම නැහැ. හැබැයි ඉතින් කොහොමහරි මම දිනනවා. මට තාම මතකයි මම එක අවුරුද්දක ලස්සන ගවුමකුත් ඇඳගෙන අපේ ගෙදරට ටිකක් එහායින් තිබුණු කැටපොළට ගියා. ඉස්සර කැට ගහද්දි සල්ලිවලට වගේම ඔය සබන් කැට, බිස්කට් පැකට්, ටොෆි, චොක්ලට්වලටත් අපි ඔට්ටු තියලා කැට ගැහුවා. මට තාම මතකයි මම ඒ දිනපු සල්ලි, සබන් කැට, බිස්කට්, ටොෆි සේරම මගේ ගවුමේ දාගෙන හරි ආසාවෙන් ගෙදර ආවා. අපේ ගෙදර දොරකඩට වෙලා ගවුමත් ටිකක් උඩට උස්සගෙන එන මාව දැකපු අම්මා ඔය මොකද? කියලා අහද්දි මම ගෙනාපු දිනපු බඩුයි සල්ලියි අම්මට පෙන්නුවා.

 මට මතක හැටියට රුපියල් දෙසිය ගාණක් එදා මට ලැබුණා. මම ලොක්කි වගේ එහෙම ගියාට මගේ ඔඩොක්කුවේ තිබුණු සල්ලියි, බඩුයි දැකපු අම්මා මට හොඳටම බැන්නා. මම දිනලනේ මේවා ගත්තේ කිව්වම අම්මා ඒ සේරමයි මාවයි අරගෙන කැටපොළට ගියා. ඒ ගිහින් මම දිනපු සල්ලි ඔයාගෙන් කීයක් ගත්තද දුවේ කිය කියා ඒ කැටපොළේ හිටපු ළමයින්ගෙන් අහලා අම්මා ඒ සල්ලියි ඒ බඩුයි සේරම බෙදලා දුන්නා. ඊට පස්සේ මට කැට ගහන්න අවසර දුන්නට සල්ලියි බඩුයි ගෙදර ගේන්න අම්මා තහනම් කළා. ඊට පස්සේ මම කැට ගැහුවා. දිනුවා. හැබැයි දිනපු එක විතරක් හිතේ තියාගෙන ඒ දිනපු හැමදෙයක්ම ඒ ළමයින්ටම දීලා මම ගෙදර ආවා. අදටත් මම කැට ගහන්න හරි ආසයි.

 

බුදු අම්මෝ කොටේට නගින කොට තමයි අමාරුව තේරුණේ

- රත්නා ලාලනී ජයකොඩි

පුංචි කාලේ ඉඳන් මම ඔය අවුරුදු ක්‍රීඩාවලට හරි ආසයි. ඒවට සහභාගී වෙනවා. හැබැයි මම වැඩිපුරම ආස කනාමුට්ටි බිඳමටයි, සංගීත පුටු තරගයටයි තමයි. මේ අවුරුද්දෙත් මම උගන්වන පාසලේ අවුරැදු උත්සවයේදිත් මම සංගීත පුටු තරගයට ඉදිරිපත් වෙලා ප්‍රථම ස්ථානය දිනාගත්තා. එක අවුරුද්දක මම හරි ආසාවෙන් හිටියේ කොට්ට පොර තරගයට ඉදිරිපත් වෙන්න. ඊට කලින් මම ඒ තරගයට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. හැබැයි කොට්ට පොර ගහද්දි හරි ආසාවෙන් බලාගෙන ඉඳලා තියෙනවා. 

ඉතින් එක අවුරුද්දක එක්තරා නාලිකාවක තිබුණු කලාකරුවන් සහභාගී වුණු අලුත් අවුරුදු උළෙලක මමත් කොට්ට පොර තරගයට ඉදිරිපත් වුණා. ආසාවටම තමයි ඉදිරිපත් වුණේ. ඔන්න ඉතින් බොහෝම අමාරුවෙන් පුටු තියලා අර කොටේට නැග්ගා. ඊට පස්සෙ තමයි ඒකෙ අමාරුව තේරුණේ. බුදු අම්මෝ අර කොටේ  උඩ සමබරතාවයෙන් වාඩි වෙලා ඉන්නම බෑ. කකුල් දෙක තද කරලා තියාගන්න එපැයි. පුවක් කඳ උඩ පුදුම අමාරුවෙන් තමයි හිටියේ. හොඳ වෙලාවට මගේ කකුල් දෙක යට ඉඳගෙන කට්ටිය අල්ලාගෙන හිටියා. මේ හැම තරගයකම දිනන්න පොඩි උපක්‍රම තියෙනවා. ප්‍රතිවාදියා ගහද්දි ගැම්ම අරගෙන ඉවසගෙන ඉඳලා ඒ ප්‍රහාරය කොහොමහරි මඟහරින්නත් ඕනේ. ඔන්න ඉතින් ළඟ හිටපු අයගේ සපෝට් එකෙනුයි, පොඩ්ඩක් හොර කරලයි කොහොමහරි ඒ කොට්ටපොර තරගයෙන් මම දින්නා. හැබැයි ඉතින් ළඟ හිටපු අය යටින් මගේ කකුල් දෙක අල්ලගෙන හිටපු හින්දා හොඳයි.

 

ඔන්චිල්ලා පදිද්දි මට අහසේ යනවා වගේ 

- කුමාරි මුණසිංහ

ඉස්සර ඉඳන්ම මම අලුත්ම හරිම ආස ක්‍රීඩාවක් තමයි ඔන්චිලි පදින එක. මම තරගවලටත් සහභාගී වෙලා තියෙනවා. හැබැයි අලුත් අවුරුද්ද ළං වෙද්දි අපේ ගෙදර ඉස්සරහා තියෙන ලොකු අඹ ගහේ ලොකු ඔන්චිල්ලාවක් බඳිනවා. ඒක ගොඩක් වෙලාවට බඳින්නේ අවුරුදු දවසට සතියකට කලිනුයි. අපේ ගේ තිබුණේ කන්දක් උඩකයි. ඉතින් උඩ තියෙන අඹ ගහේ ඔන්චිල්ලාව බැන්දම ඒක පදිද්දි අහසෙ යනව වගේ තමයි අපිට දැනෙන්නේ. පල්ලෙහා විශාල පල්ලමනේ. ඉතින් ඒක ගහේ ගැටගැහුවට පස්සේ අපේ දවස ගෙවෙන්නේ ඔන්චිල්ලාවෙම තමයි. කෑම කන්නවත් මතකයක් නැහැ. බඩගිනි දැනෙන්නෙවත් නැහැ. ඒ තරමටම අපි ඔන්චිලි පදින්න හරි ආසයි. ඉතින් රුකුල් දීලා හරි ආසාවෙන් අපි ඔන්චිලි පදිනවා. කොහොමටත් අවුරුදු ඉවරවෙලා මාසයක් විතර යද්දිත් අර අඹ ගහේ ඔන්චිල්ලාව තියෙනවම තමයි. ඒක පදින එක අපිට හරි විනෝදයි.

අවුරුදු උළෙලවල්වලදී මම කඹ අදින්න කැමතියි. ඔය කඹ අදිද්දි ලිස්සලා ගිහින් අතපයේ ඕනතරම් තුවාල වෙලානම් තියෙනවා. සමහරදාට ගෙදර යන්නේ අතපය පුරාම ලේ ගලාගෙනයි. මඩ ගාගෙන කඹ අදිද්දි ඒකෙත් වෙනමම විනෝදයක් තියෙනවා.

 

මුට්ටියට ගහන්න අත උස්සද්දී මගේ රෙද්ද කැඩුනා

- නිමන්ති පෝරගේ

අම්මෝ... මම අවුරුදු උත්සවවලදී තරගවලට අනත්තවත් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙදි අමතක නොවන සිදුවීමකුත් මට වෙලා තියෙනවා. ඒ කාලේ අපි පදිංචි වෙලා හිටියේ කොලොන්නාවේ. මට වයස අවුරුදු විස්සක් විතර ඇති. අපි ඒ ස්කීම් එකේ ළමයි කට්ටිය එකතු වෙලා එකපාරක් අවුරුදු උත්සවයක් කළා. තෑගිවලට ඔය චොක්ලට්, බිස්කට්, චුයින්ගම් තමයි තෑගි දුන්නේ. 

ඒ තෑගි ගන්න අපි හැමෝටම ගෙවල්වල අම්මලා තාත්තලා වැඩිහිටියෝ උදවු කළා. ස්කීම් එකේ ගැහැනු ළමයි රෙද්දයි, හැට්ටෙයි තමයි ඇඳගෙන හිටියේ. ඔන්න මමත් කනාමුට්ටිව ගහන්න ගියා. ඇස් දෙකත් වහලා මගේ අතට පොල්ලකුත් දුන්නා. මම ඔන්න ටික දුරක් ගියා. දැන් මට හිතෙන්නෙම ඒ හරිය තමයි මුට්ටිය තියෙන්නේ කියලා. ටික වෙලාවක් එතන නැවතිලා ඉඳලා පොල්ල උස්සලා ගහන්න හදනකොටම මාව කවුදෝ බදාගත්තා. මට මාර කේන්තියි. මම හිතුවෙම මාව තරගයෙන් අයින් කරන්න හදනවා කියලා. පොල්ලත් මම පැත්තකට විසි කළා. අත් දෙකෙන් ඇස්කේ තිබුණු රෙදි පටි කෑල්ලත් අයින් කරද්දි තමයි මම දැක්කේ අපේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් මාව බදාගෙන ඉන්නවා කියලා. හැබැයි ඇඳගෙන හිටපු රෙද්ද තිබුණේ අක්කගෙ අතේ. මම මුට්ටිය ගහන්න අත් උස්සද්දිම මගේ රෙද්ද කඩන් වැටෙන්න ගිහින්. ඒක දැකපු අක්කා කෙනෙක් තමයි මාව අර විදිහට බදාගෙන තියෙන්නේ. තව පොඩ්ඩෙන් මුට්ටිය බිඳින්න ගිහින් මගේ රෙද්ද කඩා වැටිලා ලොකු ජංජාලයක් තමයි වෙන්න ගියේ.

 

► Text - Dishani  /  Pic – Sumudu & Internet