2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අැඟේ මස්ල්ස් හදාගත්තටම Model කෙනෙක් වෙන්න බෑ....

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

මුලින්ම ඔබ ඔබවම හඳුන්වලා දෙන්න?
මම මධුර ප්‍රියදර්ශන පීරිස්. මම ඉන්නේ වාද්දුවේ. මේ වෙනකොට මම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. හෙට අනිද්දාම මාව රංගනයෙනුත් දැකගන්නට පුළුවන් වේවි.

ඇයි මොඩ්ලින් කරන්න හිතුණේ?
අනේ මන්දා... ඒකට මූලිකම හේතුව මොකක්ද කියලා. මුලින්ම 2012 වසරේ Mr. Sri Lanka තරගාවලියෙන් ජයග්‍රහණය කළා. ඊළඟට 2013 වසරේදී ‍Fashion Asia award එක දිනාගත්තා. ඊළඟට ආයෙමත් 2015 Mister Sri Lanka for mister global world එක ජයග්‍රහණය කළා. ඒ තරගාවලිත් එක්ක තමයි මොඩ්ලින් කරන්න හිතුණේ.

කවුද මුලින්ම ඔබ කඩවසම්, ඔබේ බැල්ම, ඉරියව් මොඩ්ලින්වලට හොඳට හරියනවා කියලා කීවේ?
අනේ... එහෙම මුලින්ම කියපු කෙනෙක්වනම් මතක නෑ. හැබැයි ලෝ චින් වෝන්, රෝසිතා වික්‍රමසිංහ, මයිකල් විජේසූරිය වගේ බොහෝ පිරිසක් මට මේ තැනට එන්න උදව් කළා. මාව ඇගයීම් කළා. ඒ හැමෝටම මම ස්තූති කරන්නට ඕනේ.

හිරුත් එක්ක වීර් වෙච්ච Model මධුර

ඇඟේ ෂේප් එක තියාගන්න මොනවද කරන්නේ?
පුළුවන් හැම දවසකම මම ජිම් එකට යනවා. ව්‍යායාම්වල නිරතවෙනවා. වැඩිපුර වතුර බොනවා. ආහාර පාලනයත් කරනවා. ඒ වගේ දේවල්වලින් ඇඟේ ෂේප් එක තියාගන්න හැමවෙලේම උත්සාහ කරනවා.

විශේෂයෙන් කෑම බීම පුරුදු මොනවද?
එහෙම විශේෂයෙන් කියලා කරන කෑම බීම පුරුද්දක් නෑ. හැබැයි මම තුන්වේලටම බත් කන්නත් පුරුදුවෙලා ඉන්නවා. හැබැයි බත් කද්දී ගොඩාක් බත් කන්නේ නෑ. බත් චුට්ටක් බෙදාගෙන එළවළු වැඩිපුර ටිකක් බෙදාගන්නවා. පෝෂ්‍යදායී ආහාරවලට වැඩි නැඹුරුවක් මගේ තියෙනවා. විශේෂයෙන් පලා වර්ග, එළවළු තම්බලා කෑම, කහ පැහැති එළවළු ටිකක් වැඩිපුර ගැනීම වගේ දේවල්නම් මම කරනවා.

පේෂල් - clean up වගේ දේවලුත් මධුර කරනවද?
නෑ... ඒ වගේ දේවල්නම් ඒතරම් මම කරන්නේ නෑ. නිරූපණ ක්ෂේත්‍රයේදී යම් යම් දවස්වලට කළත් ඒක විශේෂයෙන් කියලා මම කරන්නෙ නෑ.

ඇත්තටම ලංකාවේ හොඳ modelsලා කොච්චර විතර ඉන්නවද? මම අහන්නේ මේ කලාව හරියට පුහුණු කරපු අය..?
ලංකාවේ ඇත්තටම හොඳ modelsලා ඉන්නවා. මට ඒ ගැන හරියටම මෙච්චරයි කියලා කියන්න අමාරුයි. ඒ අයගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවලුත් තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ ඔබට මෙතෙක් ලැබුණු අවස්ථා?
මේ වෙනකොට නිරූපණ ක්ෂේත්‍රයෙන් මට ඉතා වටිනා අවස්ථාවක් ලැබුණා. ඒ ප්‍රභාත් රෝෂන්ගේ කවුරුද ඔබ මගේ කියලා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රඟපාන්න ලැබුණු අවස්ථාව. ඒක හිරු නාලිකාවේ පෙබරවාරි අග විකාශය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ වීර් කියන හරිම තැන්පත් පිරිමි ළමයෙකුගේ චරිතයක්. නිරූපණ ක්ෂේත්‍රයේදී මාව හඳුනාගත්තු අය මගේ රංගනය තුළින් මාව වෙනස්ව දකීවියි මම විශ්වාස කරනවා.

ජනප්‍රියත්වයට කැමැති නෑ කියලා කියනවානම් ඒක බොරැවක්. 
හැබැයි මම ඒ ජනප්‍රියත්වය අායුධයක් කරගෙන නෑ

නිරූපණ ශිල්පියෙක් රැකගත යුතු ගුණාංග මොනවාද?
නිරූපණ ශිල්පියා හැමවිටම තමන්ගේ සිරුර පිළිබඳව, හැඩය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඟේ හැඩය සමබරව පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙනවා. අනික තමයි කොහේ ගියත් තමන්ගේ ආත්ම ගෞරවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පෞරුෂත්වය කියන දේ නිරූපණ ශිල්පියෙක්ට ඉතා වැදගත් වෙනවා.

ඇඟේ මසල්ස් හදාගත්තම හරි මම දැන් නිරූපණ ශිල්පියෙක් කියලා හිතන modelsලත් ලංකාවේ ඉන්නවා නේද?
ඔව්... එහෙම හිතන අයත් ඉන්නවනම් තමයි. හැබැයි ඇඟේ මසල්ස් හදාගත්ත පමණින් මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ. ඒ වෙනුවෙන් තව බොහෝ දේවල් තියෙනවා. ඒ ගැන හිතන්නේ නැතිකම තමයි තියෙන වැරැද්ද.

මොඩ්ලිං වලින් සල්ලි හොයන්න පුළුවන්
හැබැයි ඒකටත් කාලයක් තියෙනවා

මධුර... පෙම්වතෙක්ද?
නෑ... දැන් මම පෙම්වතෙක් නෙමේ.

ඔබේ ජනප්‍රියත්වය හා යුවතියන්ගේ ආකර්ෂණය ඔබ දකින්නේ හැඟෙන්නේ කොහොමද?
මෙහෙමයි... ජනප්‍රියත්වයට කැමැති නෑ කියලා කියනවානම් ඒක බොරුවක්නේ. හැබැයි මම ඒ ජනප්‍රියත්වයෙන් අයුතු ප්‍රයෝජනයට අරන් නෑ. තරුණ කාලයේදී ගෑනු ළමයි පිරිමි ළමයි දිහා බලන එකත් පිරිමි ළමයි ගැහැනු ළමයි දිහා බලන එකත් සාමාන්‍යයයිනේ... හැබැයි ඒක කවදාවත් මම ආයුධයක් කරගෙන නෑ.

මොඩ්ලින් කියන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩක්ද?
ඔව්... මොඩ්ලින්වලින් සල්ලි හොයන්න පුළුවන්. හොඳ නමක් හදාගැනීම තුළින් හොඳට මොඩ්ලින් කරලා සල්ලි හම්බකරන්න පුළුවන්. හැබැයි ඒකට යම් කාලසීමාවක් තියෙනවා. ජීවිතේ හැම වයස් සීමාවකදීම අපිට මොඩ්ලින් කරන්න බෑ. 

Text – Dishani Jayamali Karunarathna          Pic –  Malaka Waligodapola