2019 මාර්තු 23 වන සෙනසුරාදා

ලොකුවට රඟන මිනිස්සු ළඟ මොනවද අප්පා තියෙන්නේ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 147

තීක්ෂණ.. මතකද මුලින්ම රොමේෂ්ව මුණගැසුණු කාලය..?
ඔව්.. හොඳට මතකයි. රොමේෂ්ව මට මුලින්ම මුණගැහුණේ මම කැම්පස් යන කාලෙදී. ඒ 2008 දී විතර. මොනවහරි වැඩකට මම මහරගමට ගිය වෙලාවක තමයි රොමේෂ්ව මුණගැහුණෙ. එතකොට මම කැම්පස් බෑග් එකත් දාගෙන පිරිවෙණ හන්දියේ බස් හෝල්ට් එකට වෙලා ඉඳිද්දී රොමේෂුයි ලක්ෂානුයි දෙන්නා මාව දැකලා තිබුණා. ඒ කාලෙදී රොමේෂ්ලා හිට්වෙලා ඉන්න කාලය. මේ දෙන්නා කාර් එකේ යද්දී මාව දැකලා අඩෝ.. අර තීකා නේද.? නවත්වමු නවත්වමු කියලා කාර් එක මගේ ළඟින් නැවැත්වුවා. එතකොට මම මේ ක්ෂේත්‍රයට ආපු අලුත. සුපර් ස්ටාර් තරගයෙන් පස්සෙ ඒ වෙනකොට මම සඳ රේණු ගලන සින්දුවත් කරලයි තිබුණෙ. හැබැයි රොමේෂ් වගේ ලොකු හිට් චරිතයක් නෙවේ. ඉතින්.. රොමේෂ්ලා මාව කාර් එකෙන් දාගෙන ගිහින් මහරගමින් බැස්සුවා. එදා තමයි අපේ මුල්ම මුණගැහීම වුණේ.

රොමේෂ් කියන්නෙ මොනවගේ චරිතයක්ද..?
රොමේෂ් කියන්නෙ බොරු මවාපෑම් නැති හොඳම හොඳ යාළුවෙක්. එයා මට ඇත්තම කියනවා. රොමේෂ් ප්‍රසංග වේදිකාවට එකතු වුණාට පස්සෙයි මම ප්‍රසංග වේදිකාවට එකතු වුණේ. ඒ වෙලාවෙත් මම රොමේෂ්ගෙන් ෂෝ එකකට කීයක් ඉල්ලන්නද..? කියලා අහද්දී රොමේෂ් මට ඒ ඉල්ලන ගණන් පවා ඇත්තම කිව්වා. වෙන කෙනෙක්ගෙන් මම සමහරවිට ඒක ඇහුවානම් මේ ෆීල්ඩ් එකේ නන්නත්තාර වෙලා යන ගණන් කියන්න තිබුණා. හැබැයි රොමේෂ් එහෙම නැහැ. එයා මට මේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්න පුළුවන් ඇත්තම ගණන් ටික කිව්වා. ඇත්තටම රොමේෂ් කියන්නෙ හිත හොඳ යාළුවෙක්.

එයාට කේන්ති යනවද..?
රොමේෂ්ට මාත් එක්ක එහෙම කේන්ති ගිහින් මට බැණලා එහෙමනම් නැහැ. මාත් එක්ක මළ පනින දේවල් තාම මගෙන් එයාට වෙලා නැහැ. එහෙම වෙන එකකුත් නැහැ. එහෙම වුණොත් ඉතින් මට බණින්නත් ඉඩ තියෙනවා. හැබැයි වෙන කාත් එක්ක හරි මළ පැනපු ගමන් ඇවිත් මාත් එක්ක කියනවා. හැබැයි කවදාවත් ඒ මනුස්සයාට බණින්නෙ නැහැ. වෙන මනුස්සයෙක් ගැන මාත් එක්ක ඕනෑවටත් වඩා කියවනවානම් අනිවාර්යයෙන්ම එයත් එක්ක මළ පැනලා තමයි.

රොමේෂ්ගේ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ...?
රොමේෂ්ගෙ විලාසිතාත් ඉතින් මගේ වගේම තමයි. මමත් කොට කලිසම ඇඳලා රබර් සෙරෙප්පු දෙකක් දාලා, ටී-ෂර්ට් එකක් ඇඳගෙන යන්නයි වැඩියෙන්ම කැමති. රොමේෂුත් ඒ වගේම තමයි. අපි දෙන්නගේ විලාසිතාවල වෙනසක් නැහැ.

ගායකයෙක් සහ කලාකරුවෙක් විදිහට ඔබ රොමේෂ්ව දකින්නෙ කොහොමද..?
නිර්මාණ පැත්තෙන් ගත්තොත් මම රොමේෂ්ව දකින්නෙ ගායන ශිල්පියෙක් විදිහටත් වඩා හොඳ සංගීතවේදීයෙක් විදිහටයි. එයා අපූරු සංගීතවේදියෙක්. ඒ වගේම රොමේෂ්ට හොඳ කටහඬක් තියෙනවා. එයා දක්ෂයි. රොමේෂ්ට සංගීත භාණ්ඩ ගොඩක් වාදනය කරන්න පුළුවන්. අද කාලේ සමහර ගායක ගායිකාවන් නමට විතරයිනෙ. කිසි දෙයක් ඉගෙනගෙන නැහැ. හැබැයි ඒ රාමුවට රොමේෂ්ව දාන්න බැහැ. එයාට සංගීතය සම්බන්ධ උපාධියක් තියෙනවා. මම පවා බොහෝ දේවල් රොමේෂ්ගෙන් අහගන්නවා. ඒ නිසා ක්ෂේත්‍රය ගැන හොඳට ඉගෙනගෙන තියෙන හොඳ කට්ටක් කාලා ආපු දක්ෂ කලාකරුවෙක් විදිහට තමයි මම රොමේෂ්ව දකින්නෙ. හැබැයි කවදාවත් රොමේෂ්ට මුල අමතක නැහැ. එයා අද ඉන්න තැන ගැන මට හරි සතුටුයි.

ප්‍රසංග වේදිකාවෙදී රොමේෂ්ට ලැබෙන ප්‍රතිචාර ගැන තීක්ෂණට මොකද හිතෙන්නෙ..?
ප්‍රසංගවලදී රොමේෂ්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ වෙලාවට ගීත ගායනා කරලා ඉවර වුණාට පස්සෙ තව ගීතයක් ගායනා කරන්න කියලා එයාගේ රසික රසිකාවියන්ගෙන් බොහෝ ඉල්ලීම් තියෙනවා. ඇත්තටම එයාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. එයාට වයස් භේදයකින් තොරව හැමෝම හරි ආදරෙයි. ක්ෂේත්‍රයේ වුණත් රොමේෂ් හැමෝම එක්ක හරි එකතුයි. සංගීතය පිළිබඳව එයා දන්න දේ නොදන්න කෙනෙක්ට කියලා දෙන්න වුණත් එයා හරි ආසයි. කවුරුහරි කෙනෙක් එයාගෙන් යමක් ඇහුවොත් එයා අනිවාර්යයෙන්ම ඒ දේ කියලා දෙනවා.

රොමේෂ් සහ පවුලේ අයත් ඔබේ පවුලේ අයත් හරි එකතුයි නේද..?
මටත් ඉන්නෙ පුතෙක්. රොමේෂ්ටත් ඉන්නෙ පුතෙක්. ඒ දෙන්නත් දැන් හොඳ යාළුවො. රොමේෂ්ගෙ වයිෆ් සහ මගේ වයිෆ් හොඳ යාළුවෝ. අපි ගෙවල්වලට යනවා. දරුවෝ දෙන්නා එකතුවෙලා සෙල්ලම් කරනවා. ඇත්තටම රොමේෂ්ගෙ පවුලේ අය කියන්නෙ දැන් අපේ පවුලට සමීප පවුලක්.

රොමේෂ් වගේ යාළුවෙක් ජීවිතයට මුණගැසුණු එක ගැන තීක්ෂණ මොකද හිතන්නෙ..?
ඇත්තටම රොමේෂ් වගේ යාළුවෙක් ජීවිතයට මුණගැහුණු එක ගැන මට හරි සතුටුයි. සතුටේදී විතරක් නෙමෙයි, දුකේදීත් රොමේෂ් අපිත් එක්ක ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ මට ඉන්න හොඳම යාළුවා තමයි තමයි රොමේෂ්. රොමේෂ් සහ මම අතර කවදාවත් ප්‍රශ්න ඇතිවෙලා නැහැ. හිත් රිදීම් ඇතිවෙලා නැහැ. හොඳම යාළුවා කියන නමට හොඳම නම තමයි රොමේෂ් කියන්නෙ.

ඔන්න ඔහොමයි තීක්ෂණ අපිට එයාගේ හොඳම යාළුවා වෙන රොමේෂ් ගැන කිව්වෙ. දැන් අපි අහලා බලමුද තීක්ෂණ ගැන රොමේෂ් කිව්වෙ මොනවද කියලා.

රොමේෂ්.. තීක්ෂණ ඔයාට මුලින්ම මුණගැහුණෙ කොයි කාලෙදිද.?
තීක්ෂණ මට මුලින්ම මුණගැහුණෙ එයා සුපර් ස්ටාර් එකේ ඉන්නකොටම තමයි. එයා සින්දු කියනවා මම අහලා තිබුණා. ඇත්තටම තීක්ෂණ කියන්නෙ ගොඩක් හොඳ දක්ෂතා තියෙන කෙනෙක් කියලා ඒ මුල් කාලෙදීම මම දැනගෙන හිටියා.

එයා මොනවගේ චරිතයක්ද..?
තීක්ෂණ කියන්නෙ හරිම හොඳ යාළුවෙක්. සමහර යාළුවන්ගෙන් කරදර තියෙනවනෙ. හැබැයි තීක්ෂණ කියන්නෙ එහෙම කරදරකාරී යාළුවෙක් නෙමෙයි. එයා කිසිම කරදරයක් නැති කලබලයක් නැති යාළුවෙක්.

ඔබ කලාකරුවෙක් විදිහට රොමේෂ්ව දකින්නෙ කොහොමද..?
එයාගෙ සමහර නිර්මාණ ඇත්තටම ඉතාම ඉහළයි. එයා ටෙලිනාට්‍යවලට කරපු නිර්මාණවලට මම ගොඩක් කැමතියි. ඒ වගේම ඔහු ගායනා කරන සමහර ගීත වෙනස්ම ගීත වෙනවා. සිංහල ගීත විතරක් නෙමෙයි, වෙනත් භාෂාවල ගීත පවා තීක්ෂණ හරි ලස්සනට ගායනා කරනවා. තීක්ෂණ කියන්නෙ සංගීත හැකියාවක් ඇති කලාකරුවෙක්. තීක්ෂණට හරි ලස්සනට බටනලාව වාදනය කරන්න පුළුවන්. මම ඒකට හරි කැමතියි.

එයාට කේන්ති යනවද..?
තීක්ෂණට කේන්ති යනවානම් මම කවදාවත් දැකලා නැහැ. හැබැයි කාට වුණත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. කිසිම දෙයක් හැංගි හොරා කරන්නෙ නැහැ. අනුන්ගෙ වැරැද්දක්, ඕපාදූපයක් අනිත් අය එක්ක කියව කියවා යන පහත් පෙළේ කෙනෙක්නම් නෙමෙයි.

තීක්ෂණගෙ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
තීක්ෂණගෙ විලාසිතානම් හරිම අඩුයි. එයා විලාසිතා කරන්න හරිම කම්මැලියි. දැන්නම් කොණ්ඩෙ එහෙම එක එක විදිහට විලාසිතා කරනවා. ඉස්සරනම් තොප්පියක් දාගෙන තමයි හැමතැනම ගියේ. සමහරදාට මම මොකද බං ඔය තොප්පියක් දාගෙන කරන්නෙ කියලා අහලත් තියෙනවා. දැන්නම් කොණ්ඩෙ නිතරම හද හදා ඉන්නවා.

තීක්ෂණගෙ පුතයි රොමේෂ්ගෙ පුතයි හරි එකතුයි නේද..?
ඔව් ඔව්.. තීක්ෂණගෙ පුතා මගේ පුතාට හරිම ආදරෙයි. ඒ දෙන්නා දැන් හොඳ යාළුවො. තීක්ෂණයි අනුරාධිකායි එයාගේ පුතායි අපේ ගෙදර ළඟදී ඇවිත් ගියා. දැන් ඉතින් අපිටත් ඒ ගෙදරට එන්න ආරාධනාව ලැබෙනකම් තමයි අපිත් බලාගෙන ඉන්නෙ. (තීක්ෂණගෙ අලුත් ගෙදරට ළඟදීම රොමේෂ්ලාටත් ආරාධනා ලැබේවි) මගේ වයිෆ් සහ තීක්ෂණගෙ වයිෆ් හොඳ යාළුවො. ඒ නිසා තීක්ෂණ කියන්නෙ හොඳ යාළුවෙක් වගේම අපි හොඳ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලා.

තීක්ෂණත් එක්ක ඔබ විදේශ සංචාරවලට සහභාගිවෙලා තියෙනවද..?
නැහැ. අපි දෙන්නා එහෙම විදෙස් සංචාරවලට එකට ගිහින් නැහැ. නමුත් අපි දෙන්නා හොඳ යාළුවො. තීෂා කවදාවත් මට විරුද්ධවත් මම කවදාවත් තීෂාට විරුද්ධවත් වැඩ කරලා නැහැ. ෂෝ එකක් ආවත් ඒකට තීක්ෂණට යන්න බැරිවුණොත් මාව ඒකට සෙට් කරලා දෙනවා. මට එකක් ආවොත් මම ඒක තීක්ෂණට සෙට් කරලා දෙනවා. ඒ වගේ සම්බන්ධයක් අපිට තියෙන්නෙ. මම ඉස්සෙල්ලා ඉතාලියට ගියා. ඊටපස්සෙ මම ඒ සංවිධායකවරැන්ගෙ ඊළඟ ප්‍රසංගයට තීක්ෂණව සෙට් කරලා දුන්නා. ඒ වගේ හොඳ බැඳීමක් හොඳ මිත්‍රත්වයක් අපිට තියෙනවා.

ස්ටාර් සිටි තරගය හරහා මේ මිත්‍රත්වය තවත් වැඩිවුණා නේද..?
ඔව් ඔව්.. මේ තරගයෙදී අපිට අවුරුද්දක් තිස්සෙ එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා අපේ මිත්‍රත්වය තවත් වැඩි වුණා. අපි නිතර නිතර පුහුණුවීම් කළා. මම එයාගේ අදහස්වලට ගරු කළා වගේම එයා මගේ අදහස්වලට ගරු කළා. ඒක නිසා අපි අවසාන තරගය දක්වාම තරග කළා.

දෙන්නටම සිදුවුණු අමතක නොවන සිදුවීමක් එහෙම වෙලා නැද්ද..?
එහෙම සිදුවීමක්නම් වෙලා තියෙනවා. අපි දෙන්නා ඒ තරගයේ රියර්සල්වලට ගියේ ඉතාම සරල විදිහටයි. සමහර කලාකරුවන් කලාකාරියන් ඒ දේ හිතට අරගෙන ඉන්නවනෙ. හැබැයි අපි දෙන්නා එහෙම නැහැ. අපි හරි සරලයි. දවසක් අපි දෙන්නා පුහුණුවීම් ඉවරවෙලා අපේ දවල් කෑම ගැන එතන ඉන්න කෙනෙක්ගෙන් ගිහින් ඇහුවාම මේ කෑම ආටිස්ට්ලාට තියෙන්නෙ. අන්න අතනින් ඔයාලගේ කෑම ගැන අහන්න කියලා කිව්වා. ඒ වෙලාවේ නැහැ මේ තීක්ෂණ අනුරාධ, මම රොමේෂ් සුගතපාල කියලා කියද්දී ඒ පුද්ගලයා මාර විදිහට අප්සෙට් වුණා. අනේ.. මට සමාවෙන්න අයියෙ. මෙහෙම ආවම කොහොමද අප්පෙ හඳුනන්නෙ? කියලා ඒ මල්ලි අපි ඉස්සර පින්සෙණ්ඩු වුණා. තීක්ෂණයි මමයි හැමවෙලේම උත්සාහ ගන්නෙ සරල විදිහට ජීවත් වෙන්න. ඔය ලොකුවට රඟන මිනිස්සු ළඟ කිසිම දෙයක් නැහැ. නමුත් සරල ජීවිතයක් ගතකරද්දී ඉතාම සරලව මැරිලා යන්න පුළුවන්. වෙන කෙනෙක් එතනට එන්නෙ සන්ග්ලාස් දෙකක් නළලට දාගෙන ජූස් එකක් බිබී කෑම එක කෝ? කියලා අහගෙනයි. අපි දෙන්නා එහෙම නැහැ.

එයාට ජීවිතේ හදාගන්න තියෙන අඩුපාඩුකම්, වැරදි තියෙනවද..?
නැහැ. මටනම් එහෙම අඩුපාඩු නැහැ. එයා ගාණට මිනිස්සු තේරුම් අරගෙන මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්. මාත් එක්කනම් තීක්ෂණ මාර ෆිට් එකේ ඉන්නෙ. මගේ නිර්මාණ තීක්ෂණ අගය කරනවා. මමනම් එයාගේ එහෙම වැරැද්දක් තාම දැකලා නැහැ.

තීක්ෂණ වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන ඔබට අද මොකද හිතෙන්නෙ..?
ඇත්තටම මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. තීක්ෂණ කියන්නෙ මේ ක්ෂේත්‍රයේ මට ඉන්න හොඳම යාළුවා. එහෙම යාළුවෙක් ජීවිතේ ඉන්නම ඕනෙ. දැන් ඉන්න බොහෝ දෙනා හලෝ.. හලෝ ගාලා කතා කළාට හිත ඇතුළෙන් හරිම කුහකයි. අරූට සල්ලි කොහෙන්ද? යන වාහනේ බලපන්කො.. කියලා හිතන මිනිස්සුයි අද ඉන්නෙ. හැබැයි තීක්ෂණ කියන්නෙ මම ගැන එහෙම නොබලපු මගේ හොඳම යාළුවා.


► Text - Dishani / Pic – Internet