2019 මාර්තු 23 වන සෙනසුරාදා

මම පැදුරෙන් කරළියට ආව කෙල්ලක්....

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 327

දිනූපා මේ දවස්වල මොකද කරන්නේ...?
මේ දවස්වල “වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව “ගුත්තිල කාව්‍යය කියන වේදිකා නාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මේ මාසේ විසි තුන්වැනිදා බොරැල්ල “පුංචි තියටර් රඟහලේදීත් විසිහතර වෙනිදා පේරාදෙණිය වළේත් වේදිකාගත වෙනවා. ඒක අකිල සපුමල්ගේ නිර්මාණයක්. ඒවගේම “නාදගම ප්‍රසංගයටත් මම සහභාගී වෙනවා. ඒ ප්‍රසංගය ලංකාවේ එන එන නගරවල පවත්වනවා. තිස් එක්වැනිදා ඒ ප්‍රසංගය මහනුවර පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. 

දිනූපාව බොහෝ දෙනා හඳුනාගන්නේ මීට අවුරුදු ගණනාවකට උඩදී ස්වර්ණවාහිනියේ විකාශනය වුණු “හපන් පැඳුර ළමා වැඩසටහනින්. දිනූපාගේ කලාවට අවතීර්ණ වීම සිදුවන්නේ එතැනින්ද...?
ප්‍රේක්ෂකයින් මාව වැඩිපුරම හඳුනාගත්තේ “හපන් පැදුර වැඩසටහනින් තමයි. හැබැයි මම මුලින්ම ගායනා ක්ෂේත්‍රයට එන්නේ හපන් පැදුරට කලිනුයි. රෝහණ වීරසිංහ සර් තමයි මාව මුලින්ම මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ. මගේ පළවැනි පටිගත කිරීම “සත්පුර වැසියෝ කියන ටෙලිනාට්‍යය හරහායි සිදුවන්නේ. ඒ නාට්‍යයේ ළමා කවි වගයක් ගායනා කරන්න තිබුණා. ඒ නාට්‍යයේ මියුසික් කළේ රෝහණ සර්. ඒකෙන් තමයි මගේ කට හඬ මුලින්ම පටිගත වුණේ.

දිනූපාගේ පවුලේ විස්තර ටිකක් කියමුද...?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි මම පවුලේ බාලයා. මගේ තාත්තා හොඳ නිලධාරියෙක්. අම්මා රුකියාවක් කළේ නැහැ. ඇය ගෘහණියක්. මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලටයි. ඒ පාසලේ මගේ නැටුම් ගුරුවරිය තමයි බියට්‍රිස් වීරසිංහ ගුරුතුමිය. රෝහණ සර්ගේ වයිෆ් තමයි බ්‍රියට්‍රිස් මිස් කියන්නේ. ඉතින් ගුරුතුමිය තමයි මාව මුලින්ම රෝහණ සර්ට හඳුන්වලා දෙන්නේ.

ටික කාලයක් දිනූපාව දකින්න ලැබුණේ නැහැනේ. නිර්මාණවලින් ඈත්වෙලා හිටියේ ඇයි...?
කලාවෙන් නිහඬව හිටියාට වඩා රූපවාහිනි මාධ්‍යයේ වැඩිය පේන්න හිටියේ නැහැ. නැත්නම් මම ගොඩාක් වැඩ කළා. මම වැඩිදුර කටහඬ පුහුණු කරන්න, සංගීතය හදාරන්න ඒ කාලය යොමුකළා. ඒවගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාවේ මම වැඩිපුරම කාලය කැප කළේ අධ්‍යාපනයටයි. ඒනිසා ඒ දවස්වල ප්‍රේක්ෂකයින් අතරට එන්න උනන්දුවක් ඒ කාලේ තිබුණේ නැහැ.

“වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
2015දී විතර මට එක්තරා උත්සවයකදී ආනන්ද අබේනායක සර්ව මුණගැහුණා. එදා ඔහු මගෙන් “රඟපාන්න කැමතිද කියලා ඇහුවා. මාව මුලින්ම වෙනස් නිර්මාණයකට තමයි තෝරාගත්තේ. ඊට පස්සේ ආනන්ද සර් කරපු “සංසාර පියසටහන් ඒකාංගික කතා මාලාවේ “කිරි සුවඳ කියන නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒක 2017 අවුරුද්දේ එක්තරා සම්මාන උලෙළෙකදී හොඳම ඒකාංගික ටෙලිනාට්‍යය විදියට සම්මාන දිනාගත්තා. ඊට පස්සේ තමයි ආනන්ද සර් ගිය අවුරුද්දේ මට කතා කරලා මේ “වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කරගත්තේ.

 ලැබෙන ප්‍රතිචාර කොහොමද...?
ඇත්තටම ලැබෙන ප්‍රතිචාර නම් ගොඩාක් හොඳයි. මේක තමයි මගේ පළවෙනි දීර්ඝතම ටෙලිනාට්‍යය. මේ තරම් ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම හිතුවෙත් නැහැ. ඒ තරමටම ගොඩාක් හොඳයි. වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යය ගොඩාක් දෙනා බලනවා. මේ ටෙලිනාට්‍යයේ මුල්ම රූගත කිරීම්වලට සහභාගී වෙන්න යද්දී මගේ හිතේ ලොකු චකිතයක් තිබුණා. ඒ ටෙලිනාට්‍යය රඟපාපු අනිත් අය ප්‍රවීණ ඉතා දක්ෂ අත්දැකීම් බහුල කලාකරුවන්, කලාකාරියනුයි. විශේෂයෙන් චාන්දනී අක්කා, ජයනි අක්කා වගේම රොෂාන් අයියා එක්කනේ වැඩකරන්න ලැබුණේ. ඒ නිසා යද්දී පොඩි චකිතයක් තිබුණා. හැබැයි ඒ අය ප්‍රවීණ අය වුණාට ඒ අය හරිම හොඳ, පොළොවේ පය ගහලා ඉන්න අයයි. මට මගේ චරිතය සාර්ථකව කරන්න ලොකු සහයෝගයක් ලබලා දුන්නා. ඒ අය එක්ක වැඩ කිරීම ලොකු අත්දැකීමක්. ඒවගේම ආනන්ද සර් ගැන කියන්නට ඕනේ. මම පුංචි කාලේ ඉඳන් සර් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍ය මම ආසාවෙන් බැලුවා. ඒවත් ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් යටතේ මගේ පළවෙනි දීර්ඝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට ලැබීමත් ලොකු අවස්ථාවක්.

දිනූපා රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්නේ... මේ චරිත දෙකෙන් වැඩියෙන් කැමති මොන චරිතයටද...?
මම ඒ චරිත දෙකටම එකවගේම කැමතියි. මට ටිකක් තේරෙණ වයසට එද්දී මගේ හීනය වුණේ හොඳ කලා ශිල්පිනියක් වීමයි. හැබැයි මම රංගනයට නම් පොඩ්ඩක්වත් අවතීර්ණ වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. මම පුංචි කාලෙත් නර්තනය සහ සංගීතය තමයි හැදෑරුවේ. අහම්බෙන් වගේ තමයි රංගනයට ආසාව ඇති වුණේ. ඉතින් දැන් නම් මම රංගනයටත් ඉතාම ආසයි. ඒනිසා ඒ ක්ෂේත්‍ර දෙකටම මම එකවගේ කැමැත්තක් දක්වනවා.

දිනූපා විවාහකයිනේ... ඔහුව මුණගැහුණේ කොහොමද...?
විවාහ වුණේ නදීක වැලිගොඩපොල එක්කයි. එයාත් වෘත්තීය සංගීත අධ්‍යක්ෂවරයෙක්. එයාව මට මුණගැහෙන්නේ කලා කටයුත්තකදීම තමයි. එයා සංගීතවත් කරපු ගීතයක් පටිගත කිරීමකට මමත් ගියපු දවසක තමයි අපි මුලින්ම මුණගැහුණේ. ඊට පස්සේ ආයෙත් වැඩ කිහිපයකදී මුණගැහිලා ටික කාලයක් ගියාට පස්සේ තමයි අපි ආදරය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි 2014 වසරේදී විවාහ වුණා.

නදීක හා එකතුවෙලා කරපු ගීත කවදා විතර අහන්න ලැබෙයිද...?
ඔව්... අපි දෙන්නා එකතුවෙලා නිර්මාණ කිහිපයක්ම කළා. තාමත් අපි ඒවා එළිදැක්වූවේ නැහැ. ළඟදීම ඒ නිර්මාණ රසවිඳින්න පුළුවන් වේවි. ඒ කටයුතු වෙනුවෙන් මේ දවස්වල අපි මහන්සි වෙනවා. 

 

► Text - Dishani  /   Pic-  Internet