2019 මාර්තු 23 වන සෙනසුරාදා

දුකේ තමයි රසේ තියෙන්නේ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

Art එකේ කැරට්ටුව..

හඬ: ජයන්තා රුක්මණී සිරිවර්ධන

අපි හිටියේ ඇයගේ ගෙදර දොරකඩ... තලවතුගොඩට ටිකක් කිට්ටුව...  ජනාකීර්ණ වීදියක් හරහා.. ඇයගේ ගෙට ගොඩවුණා.... නිහඬ නිසංසල පරිසරයක්...  නිර්මාණයක සමවැදිලා කල්පනා ලෝකයක තනිවෙන්න කියාපු තැන....
ආයුබෝවන්... සුන්දර හිනාවකින් ඇය අපිව පිළිගත්තා...

හරි මම ඇය ගැන මෙහෙම කියන්නම්කො...
ඕනම දෙයක් දිහා ප්‍රායෝගිකව යථාර්ථවාදීව, වෙනස් විදියකට දකින්න අහන්න ලියන්න ගොඩක් කැමති ඇය ගොඩදෙනෙක් දන්නෙ ලේඛිකාවක් විදියට තමයි... යුගදුරු ගෙත්තම, සිතක සිතුම්, සමනල මරණය, නිරුවත් පුෂ්පය මේ ඇය රහට ලියපු පොත්වලින් දෙක තුනක් විතරයි... වගකීම් රාශියකට කොටුවෙලා පරිපාලන සේවයේ ඉහළ තනතුරක් දරපු ඇය දැන් විශ්‍රාම සුවයෙන්...  

ජයන්තා රුක්මණී සිරිවර්ධන... ඇය තමයි අද අපේ කැරැට්ටුව.. ඇය විඳපු නිර්මාණයක් ගැන මොහොතක් කතාකරන්න හිතුවා...
මේ දවස්වල ඇගේ තොරතුරු අහන ගමන්ම මම පුටුවෙන් වාඩිවුණා...

නිර්මාණ ජීවිතය ගත්තාම කෙටි කතා කිහිපයක් මේ දවස්වල ලියාගෙන යනවා... කවිත් ටික ටික ලියනවා... මම හදිසියේ නිර්මාණ කරන කෙනෙක් නෙමේ.. ගොඩක් හිතල මතලා... යම් යම් කාරණා ඔළුවට වැටුණට පස්සෙ තමයි නිර්මාණයක් විදියට ඒ දේවල් ගොනු කරන්නෙ... සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදියට සැහැල්ලුවෙන් ඉන්නවා.
එහෙම තමයි ඇගේ ජීවිතය මේ දවස්වල ගෙවෙන්නේ...
අපි එහෙනම් පටන් ගමුද? හා කියන්නාක් මෙන් ඇයගේ මුවගේ සිනහාරුල්ලක්..

ජයන්තා රුක්මණීගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න උදව්වුණ නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද?  වෙනදා වගේම තමා.. ඒක ගීතයක් වෙන්නත් බෑ ඔබගේ නිර්මාණයක් නම් කොහොමත් බෑ....

මෙහෙමයි... එක නිර්මාණයක් කියන්න කිව්වාම... එකක් තෝරගන්න ටිකක් විතර අපහසුයි.. මොකද අවස්ථාව ලැබෙන හැමවෙලාවෙම වගේ මම නිර්මාණ ගොඩක් ඇසුරු කරන කෙනෙක්.. ඒවා චිත්‍රපට, වේදිකා නාට්‍ය, කෙටිකතා, නවකතා.. ඔය හැම නිර්මාණයක්ම වගේ මම රසවිඳිනවා..  සිනමාවෙන් ගත්තාම, ඉරමැදියම, පවුරුවළලු, නිධානය වගේ මට ගොඩක් දැනිච්චි නිර්මාණ තියෙනවා..  නවකතාව ගත්තාමත් එහෙමයි... මම ආසකරන පොත් ගොඩක් තියෙනවා..  වේදිකාව කියන්නෙත් මට ගොඩාක් සමීප එකක්..  මම ගොඩක් සාහිත්‍යයට ඇලුම්කරන නිසා සාහිත්‍යයට මඟ පෙන්වන නිර්මාණයක් තෝරාගන්න හිතුවා.. ඒ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රචනා කළ කල්පනා ලෝකය කියන කෘතිය.
ඔබට ලොකු හේතුවක් ඇති නේද මහාචාර්ය එදිරිවීරයන්ගේ කල්පනා ලෝකය කියන කෘතියම විශේෂයෙන් තෝරගන්න....

අද සමාජයට වැදගත්ම දේ විදියට මම දකින්නේ සමාජය ඥාණනය කරන එක..  දැනුම්වත්වීම් හා රසවිඳීමට වඩා මම උතුම් කොට සලකනවා සමාජයට රසවත්භාව දෙන්නෙ කොහොමද කියන එක යම් පොතකින් කියනවානම්.. ඇත්තටම ඒක හරි වටිනවා..  කල්පනා ලෝකය කියන්නෙ පරම්පරා ගණනාවක් තිස්සේ ඉඳන් සාහිත්‍යමය වශයෙන්, සමාජීය රසවින්දනය, සෞන්දර්ය හරියාකාරව ලබාගන්න, විඳින්නෙ කොහොමද කියන එක හෙළිකරපු පොතක්..  මේ පොත ප්‍රථම වතාවට මුද්‍රණය වුණේ 1958 වසරේ.. මේ පොත මම මුලින්ම කියවනකොට මට අවුරුදු දොළහක් විතර ඇති. මම මේ පොත එක හුස්මට කියෙව්වා.. හරිම රසවත්.. නමුත් එදා මට මේ පොතේ අර්ථය සම්පුර්ණ තෙරුණේ නෑ... මට අවුරුදු විසිගණන් වෙද්දී මම ආයෙත් මේ පොත කියෙව්වා.. අන්න එතකොට තමයි මට මේ පොතේ තේරුම හරියාකාරව දැනුණේ..  පසුකාලීනව මේ යුගයේ මම මේ පොත කියවනකොට.. ඊටත් වඩා ගැඹුරට මේ පොතේ තියෙන කාරණා මට දැනෙනවා..  මට හිතෙන්නේ මේ පොත සර්වකාලීන සමාජ දැනුම්වත් කිරීමක්.. සාහිත්‍ය කියන්නෙ මොකක්ද, සෞන්දර්ය කියන්නෙ මොනවගේ දෙයක්ද, රසයෙයි නීරසයෙයි වෙනස මොකක්ද? මේ සියල්ලම විඳන්නෙ කොහොමද? කලා කෘතියක සභ්‍ය අසභ්‍ය කියලා දෙයක් තියෙනවාද, අපිට එන ප්‍රශ්න විඳගන්නෙ කොහොමද, දුක රසයක් බවට පත්කර ගන්නෙ කොහොමද? සරලවම කිව්වොත් අපි අපිවම අවබෝධ කරගන්න ඕන විදිය තමයි මේ පොත ඇතුළේ වචන බවට පෙරළලා තියෙන්නෙ..  

තමන්ගේ හිත ක්‍රියාකරන විදිය, මනස නිර්මාණයකින් සංසුන්කර ගන්නෙ කොහොමද කියන එක හරිම අපූරුවට මේ පොතෙන් අපිට කියල දෙනවා. මේ පොතේ තියෙන කාරණා හරියට ගැඹුරු දහමක් වගේ... මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඒ කාරණා ඉදිරිපත් කරලා තියෙන්නෙ හරිම සරල ආකාරයට. මට දැනෙන්නේ කල්පනා ලෝකය පොත ජීවිතයට අත්පොතක් කියලා. 

මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ පොතේ එක තැනක කියනවා.. නිර්මාණයක් බිහිවෙන හැටි සහ නිර්මාණ හැකියාව මොට වෙන හැටි ඔහුගේම උදාහරණයකින්... ඔහු කුඩා අවදියේ සඟරාවක් කරාලු... ඔහුගේ පාසල් මිත්‍රයෙක්ටත් ඔහු ඒ සඟරාවේ කෙටි කතාවක් ලියන්න කියලා ආරාධනා කරලා තියෙනවා... ඔහු ඒ ආරාධනාව කැමැත්තෙන් පිළිඅරගෙන හරි රසවත් කෙටි කතාවක් ලියලා දුන්නාලු ඒ වයසේ හැටියට... එතකොට ඒ මිත්‍රයට අවුරැදු 14 විතර ඇතිලු... සරච්චන්ද්‍ර මහත්මයත් හරියට වර්ණනා කරාලු... ඔහුගේ හැකියාව ගැන... ඒ කෙටිකතාව සඟරාවේ පළකරපුවාම හරිම සතුටින් මිත්‍රයා ඒ දවස් ටිකේ කාලය ගතකරාලු... ටික දවසක් ගිහින් මේ මිත්‍රයා හමුවුණාම ඔහුගේ මුහුණේ කිසිම ප්‍රබෝධයක් නැති නිසා හේතුව විමසුවාම ඔහු කියලා තියෙනවා... සඟරාවේ පළවුණු කෙටිකතාවට විදුහල්පතිතුමා එයාට බැන්නා කියලා... හේතුව ආපුවාම ඔහු කියලා තියෙන්න මේ කෙටිකතාව ලියලා තියෙන්නෙ ඒ මිත්‍රයාගේ යාළුවෙක්ට වෙච්ච ප්‍රශ්නයක් නිර්මාණශීලිව ගලපලා රසවත් විදියට... ඒ යාළුවාගේ පියා ප්‍රින්සිපල්ට කතාකරලා දොස් කියලා මගේ පුතා ගැන ඔබතුමාගේ පාසලේ ළමයෙක් කෙටි කතාවක් පළකරලා කියලා... මේ පොතේ සරච්චන්ද්‍ර මහත්මයා කියනවා... ඒ මිත්‍රයාගේ සාහිත්‍ය එතනින්ම ඇණ හිටියා..  නිර්මාණයක් බිහිකිරීමට තුඩු දෙන හේතුව විදුහල්පතිවරයා දන්නෙත් නෑ... අර දරුවාගේ පියා දන්නෙත් නෑ කියලා. අපි ආදරය කරන වියතෙකුගේ සිතුවලි පරම්පරාවක් තමයි මේ පොත තුළට ගොනුකරලා තියෙන්නෙ. සමහර උපුටාගැනීම් හරිම වටිනා ඒවා..   බලන්නකො මෙන්න මේක... මම කියන්නම්.. 

සමාජයේ ඇති ජුගුප්සාජනක දේ වුවද සාහිත්‍යයේ රසයට පෙරළේ... සමාජයේ අවලස්සන යැයි සැලකෙන දේ සාහිත්‍යයේ සුන්දර බවට පෙරළේ, ගොරහැඩි යැයි පැවසෙන දේ සියුම් බවට පත්වේ.. සභ්‍ය අසභ්‍ය බේදයක් කෙසේ නම් කලාවේ ඇතිවිය හැකිද, කිසියම් දෙයක් අසභ්‍ය නම් එය කලාත්මක නොවේ. 

ලෝකයේ මොනතරම් දුක් ගැහැට තිබ්බත් කලකදී මේ සියල්ල රසයකට පෙරළෙනවා.. දොම්නස වුණත් කලකදී සොම්නසක් වෙනවා... ලෝකය රසයෙන් පිරිලා.. රසිකයා මෙහි දුකට වඩා සැප තියෙනවා.. 
ඕනෑම කෙනෙකුට සරලව රසවිඳින්න පුළුවන් භාෂාවකින් හරිම මිහිරට මේ කාරණා රචනා කරලා තියෙනවා... මෙවැනි සුන්දර උපුටාගැනීම් මගේ පාසල් අවදියේ ඔටෝග්‍රාෆ්වල පවා මම ලිව්වා...

මෙච්චර ලස්සන පොතක් ඔබට  හම්බවෙන්නෙ අහම්බෙන් වෙන්න බෑ නේද ?
නෑ... මගේ පියා විදුහල්පතිවරයෙක්... ඔහුගේ නම පී. ගුරුදාස. එයා හරියට පොත් කියෙව්වා... ඔහු තමයි මට මේ පොත දුන්නෙ කියවන්න කියලා... ඔහු නිසා තමයි මම දැඩි ලෙස කියවීමට මම ඇබ්බැහි වුණේ...

කල්පනා ලෝකය ඔබ කී වතාවක්  දැනට කියවලා තියෙනවාද...?
මම මේ පොත හත් අට වතාවක් දැනට කියවලා තියෙනවා.... දැනටත් මට වේදනාවක්, සතුටක් ආපු වෙලාවට මේ පොත පෙරළලා පිටු කිහිපයක් එකදිගට කියවනවා... එතකොට... හිත සන්සුන්වෙනවා... කොහොමත් මම මට විශේෂ කාරණා, මම ආසකරනම ඡේද මේ පොතේ මාර්ක් කරගෙන ඉන්නේ... ඇත්තටම  කල්පනා ලෝකය මගේ ජීවිතයට අත් පොතක්ම තමයි. 

මේ නිර්මාණය කියවා අවසානයේ ඔබට මොනවගේ දෙයක්ද හිතුණේ..? ඒ හැඟීම වචනවලට පෙරළමුද?
මේ පොත කියවීමෙන් මගේ ජීවිතාවබෝධය එන්න එන්නම වැඩිවුණා... ජීවිතයේ සියලුම කාරණා උපේක්ෂාවෙන් දකින්න මේ පොත මට පිටිවහලක් වුණා.. තව මගේ රසවිඳීමේ පරාසය, රසවිඳීමේ ඥානය එන්න එන්නම තියුණු වුණා... ඒක මට මහමෙහරක්... අද සමාජයට මේ පොත පරිශීලනය කිරීමෙන් ලබාගන්න පුළුවන් කාරණා බොහොමයි.. ඒක නිසාමයි වෙනත් නිර්මාණ පසෙකලා මම මේ පොතම තොරගත්තේ... අනිත් කාරණාව තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ පරිකල්පන ඥානය ගැන මට පුදුම හිතුණා... ඔහු කොහොම මෙවැනි දේ ලියන්නෙ කියලා... ඒ නිසාම මම ලියපු මුල්ම පොතත් මම සරච්චන්ද්‍රයන්ටමයි මුලින්ම පිළිගැන්නුවේ... ඒ මට ලොකු භාග්‍යයක් වුණා. 
මෙවැනි කෘති වැඩි වැඩියෙන් අපේ තරුණ පරම්පරාව පරිශීලනය කළ යුතුයි කියලා මගේ හැඟීම... 
ඇය කතාවට තිත තිබ්බේ එහෙමයි...

 

► Text - Danushka Wijesiri   /   Pic-  Channa kassapa