2019 මාර්තු 23 වන සෙනසුරාදා

සීයට සීයේ පට්ට talk

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

බොහෝ දියුණු රටවල්වල ජීවත් වන මිනිස්සු එක් එක් අය කරන රැකියාවන් අනුව ඒ අය මනින්නෙ නැහැ. මොන රැකියාව කළත් අදාළ රැකියාවේ අභිමානය ඒ අයට තිබෙන්නට ඕනෙ. ඒත් මොකක්දෝ අවාසනාවකට අපේ රටේ බොහෝ අය මනින්නෙ ඒගොල්ලො අඳින පළඳින ඇඳුම්වලින්, ගමන් කරන වාහනවලින්, නැත්නම් කරන රැකියාවලින්.

ඔන්න ළඟදි දවසක කලා ශිල්පීන් දෙතුන් දෙනෙක් ගියාලු මියුසික් වීඩියෝ එකක් කරන්න අනුරාධපුර පැත්තෙ ගමකට. ඔය වැඩේට ලස්සන වැවක දර්ශන කිහිපයකුත් ගන්නත් මේ ගොල්ලො ලෑස්ති වුණා.
ඔන්න වැවේ රවුමක් යන්න පොඩි ඔරුවකුත් සෙට් කරගෙන කට්ටිය යනවා. ඔරුව පදින්නෙ මැදි වයසෙ පුද්ගලයෙක්.

ලොකු උන්නැහෙට පුළුවන් කැමරාවකින් ෂූට් කරන්න? කොල්ලො ටික අර අහිංසක මනුස්සයා බයිට් කරන්න ගත්තා.
අනේ නැහැ සර්. අපි කොහෙද ඒවා දන්නෙ?

වැඩක් නැහැ. වැඩක් නැහැ. කැමරාවකින් ෂූට් කරන්න බැහැ කියන්නෙ ඔහේගෙ ජීවිතේ 50ක්ම ඉවරයි.
ඕකේ... එඩිටින් පුළුවන්ද?

ඒ කිව්වෙ මහත්තයො..?
අයියෝ එහෙනම් ඔහේගෙ ජීවිතේ 75ක්ම ඉවරයි, වැඩක් නෑ..

ඔහොම ටික වෙලාවක් වැව මැද යද්දී කාලගුණය වෙනස් වෙලා තද සුළඟකුත් ආවලු. වැවේ වතුර පාරත් සැර වුණා.
ඔය මහත්තුරුන්ට පීනන්න පුළුවන්ද?
අනේ බැහැ ලොකු උන්නැහෙ, ඇයි අවුලක්ද?
එහෙනම් ඔය මහත්තුරු හිතාගන්න ඔයගොල්ලන්ගෙ ජීවිතේ 100ක්ම ඉවරයි කියලා.

 

මහත්තුරුන්ගේ බලු කතා

අපේ කලා ලොවේ කට්ටිය සෙට්වෙන්න ගියාම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. සීන් කෝටියයි. ඒත් පහුවදා වෙද්දී ඒ සීන් සේරම අමතකයි.
ඔන්න ඔය වගේ කලා ලොවේ කට්ටියක් හවසක සෙට්වෙලා දන්නෙම නැතිව රෑ වුණාලු. රෑ වුණා විතරක් නෙවෙයි කතාබහේ සැරට එළිවෙන්නත් ළං වුණාලු.

කට්ටියම දැන් හොඳ පදමට පදම්වෙලා. ඒ අතර හිටිය කෙනෙකුට උදේ 8 වෙද්දී කොළඹ වැදගත් වැඩක් තිබුණලු. එයා දැන් කට්ටියට සමුදීලා ගෙදර යන්න පිටත් වුණාලු. වෙලාව පාන්දර 5ටත් කිට්ටුයි.
අනේ අනේ උඹ යන්නෙ රාජගිරිය පැත්තෙන්නම් මාවත් ගෙදර දාගෙන පලයන්, හොඳටම කට්වුණු යාළුවෙක් ඔහුගෙන් බැගෑපත් වුණාලු.
හා හා ඉක්මණට වරෙන් කියලා යාළුවාවත් කාර් එකට නග්ගගෙන රාජගිරිය හන්දිය පැත්තට ආවලු.
කොහෙද උඹේ ගේ තියෙන්නෙ. මම ගෙදරටම දාන්නම්..

නෑ නෑ මාව ඔතන හන්දියේ දාපන්, අපේ ගේ පේන දුර, මම යන්නම්. ඔන්න ඔහොම කියලා යාළුවා රාජගිරිය හන්දියෙ බැහැගත්තලු.
කාර් එකේ ගිය යාළුවා ගෙදර ගිහින් ඇඳ පැළඳගෙන කොළඹට එනවලු උදේ අර වැඩේට.

මිනිහා දැක්කලු අර රාජගිරියෙ බස්සපු පොර පාරෙ එහාට මෙහාට ඇවිදිනවා. කාර් එකෙන් බැහැලා මිනිහා ගිහින් ඇහුවලු තාම ගෙදර ගියෙ නැද්ද කියලා.
ගෙදර? ගෙදර? ඊයෙ පාටියකට සෙට්වෙලා පාන්දර බල්ලෙක් ගෙනල්ලා මාව හන්දියෙ දාලා ගියා බං, මට තාම අපේ ගෙදර හොයාගන්න බැරුව එහෙ මෙහෙ ඇවිදින්නෙ.

 

දූරියන්වල ගඳ සුවඳ

සමහර රටවල්වල පොදු ප්‍රවාහන සේවාවල දූරියන් ගෙනියන්න සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නෙ. ඔය අපේ රටේ දූරියන් වැඩියෙන් තියෙන පළාත්වලට යනකොට අපේ කලා ශිල්පීන් ශිල්පිනියන්ට දූරියන් කන්න පුදුම ආසාවක් ඇතිවෙනවා. ඒ වගේම තව කට්ටියකට දූරියන් නම කිව්වමත් වමනෙට එනවා.

ඒත් ඇත්තටම දූරියන්වල ඒ ගඳ තියෙන්නෙ ගෙඩියෙ පිට ලෙල්ලෙ විතරයි කියලා ගොඩක් අය දන්නෙ නැහැ.
ඔන්න ළඟදි ඔය වගේ ප්‍රදේශයකට ෂූටින් ගියාලු කට්ටියක්.

කොල්ලො සෙට් එකක් හොරෙන්ම දූරියන් ගෙඩි ටිකක් ගෙනල්ලා, සුද්ධ කරලා ලෙල්ල කැලේට විසිකරලා මදුළු ටික බෑග්වලට දාලා ශීතකරණයෙ තිබ්බලු.
ඔන්න ඒ සෙට් එකේ දූරියන්වලට අකමැතිම ප්‍රවීණ නිළියකට මේකෙ ඉව වැටුණලු.

මොකක්ද අනේ මේ එන අමුතු සුවඳ? මාර සුවඳක්නෙ.. ඒ නිළිය ඇහුවලු.
කට පියාගෙන ඉන්න බැරි එක කොල්ලෙක් එකපාරටම කියපි, දූරියන් කියලා.
හා ඒක තමයි මම බැලුවෙ මොකක්ද මේ ගඳ කියලා, අර නිළිය කිව්වලු.

 

► Text - Mithra