2019 මාර්තු 23 වන සෙනසුරාදා

කොකිස් අච්චාරු හොර වැඩ මැද තරු අවුරුද්ද

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 255

අපි පුංචි ඉඟියක් කියන්නම්. ළඟ එන සිංහල අලුත් අවුුරද්දට මුළු රටම දැන් දැන් සූදානම් වෙනවනේ. ගමේ ඉන්න තරුණ නඩ ටික එකතු වෙලා අවුරුදු උළෙලවල් කරන්න සූදානම් වෙනවාත එක එක සංගම් අවුරුදු උත්සවවලට සූදානම් වෙනවා. බොහෝ මාධ්‍ය ආයතන අවුරුදු උත්සවවලට සූදානම් වෙනවා. ඔන්න ඔය වගේ සූදානම් වෙද්දී දෙරණ කට්ටියක් තරු පිරිවරාගෙන අවුරුදු උත්සවයකටත් පසුගියදා සූදානම් වුණා. අපේ රටේ ඉන්න කලාකරුවන් කලාකාරියන් බොහෝ දෙනෙක් මේ දෙරණ අවුරුදු උත්සවයට හැම වසරේදීම සහභාගී වෙනවා වගේම මේ වසරේදීත් සහභාගී වුණා. ඉතින් මේ අවුරුදු උත්සවයට අපිටත් පොඩි ආරාධනාවක් ලැබුණු නිසාම අපිත් ඒකට සහභාගී වුණා.

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ තමයි මේ අවුරුදු උත්සවය තිබුණේ. අපි යද්දිත් තරග ඉසව් කිහිපයක්ම පවත්වලයි තිබුණේ. තම තරග ඉසව්වක් අපේම කලාකරුවන් පිරිසක් තරග විනිශ්චය කරනවා. විනිශ්චයට දෙරණින් කිහිපදෙනෙක් පත්කරලා තිබ්බම තරග විනිශ්චය දෙන්න කට්ටිය ඕනතරම්. බලද්දි මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ. අපේ කලාකරුවන් කලාකාරිනියන්ව කණ්ඩායම් හතරකට බෙදලා. කණ්ඩායම් හතරේ නම් ටිකත් ටිකක් වෙනස්. නාගචම්පා, බන්දුසේන, මැණික්පාල, නාරිලතා* ඔන්න ඔය නම්වලට කුටිත් වෙන් කරලා. හැබැයි ඉතින් තමන්ට අදාළ කණ්ඩායමේ අපේ කලාකරුවන් කලාකාරිනියන් හිටියද කියන එකයි ප්‍රශ්නේ. නාගචම්පා කණ්ඩායමේ තරගකාරියන් තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ඔන්න ඒ වෙලාවෙදී අපේ නාගචම්පා කණ්ඩායමේ හැමෝම නාග චම්පා... නාග චම්පා... කියලා හරි අපූරු නයි නැටුමක් ඉදිරිපත් කරලා අපේ ගමම දෙවනත් කළා. අවුරුදු උත්සවයේ හරි අපූරු තරග ඉසව් රාශියක්ම තිබුණා. ඒ තරග ඉසව් ගැන වැඩිය කතා කරන්නේ නැත්තේ ඒ තරග ඉසව් දෙරණින්ම දැකබලාගන්න එක හොඳයි කියලා හිතුණ නිසයි. ඔය අතරේ තරග ඉසව්වකට තරගකරුවන් ඉදිරිපත් කරද්දී තමන්ගේ කණ්ඩායමට හොරා වෙන කණ්ඩායමකට වෙලා හොර පූසියෙක් වගේ හැංගිලා හිටපු කෙනෙක් තමයි ලෝචනා. චීත්ත කොට ගවුමකුත් ඇඳගෙන කොණ්ඩ දෙකකුත් බැඳගෙන සෙරප්පු දෙකකුත් නොදමා ගිනි ගහන මද්දහනේ ලෝචනා හොරගල් අහුලනවා.

ඕෂධී අක්කා.... කෝ..... කිස්

අපේ කලාකරුවන් කලාකාරිනියන් මේ අවුරුදු උත්සවයට ඇඳගෙන හිටපු ඇඳුම් පවා අවුරුද්දටම ආවේණිකයි. කලාකාරිනියන් බොහෝ දෙනෙක් ලුංගිය, රෙද්ද හැට්ට, කොට චීත්ත ගවුම් ඇඳගෙන හිටියා. කලාකරුවන්නම් ඇඳගෙන හිටියේ සරමයි කමිසයයි. සමහරුන් සරම කැහැපට ගහගෙන තමයි හිටියේ. ඒ අතරේ රජිත සුවිශේෂයි. සමහරු ඇවිද්දේ සරමේ කොණක් උස්සගෙන.

මහ ගිනි ගහන අව්ව මේ කලාකරුවන්ට කලාකාරිනියන්ට ගාණක්වත් නැහැ. සමහරුන්නම් අතේ ඇති කොළයකින්, පොතකින් පවන් සැලුවත්, සමහරු පුටු අරගෙන හෙවණ තියෙන තැන්වලට ගියත් බොහෝ කලාකරුවන් කලාකාරිනියන් තරග කළේනම් ගිනි අව්වේ. ඔය අතරේ පූර්ණිකා, පේෂල, රසාදරී, මාධව, විශ්ව, සුනා ඇතුළු නිවේදන කණ්ඩායම මහ ගිනි අව්වේ වේදිකාව උඩ නිවේදන කටයුතුවල නිරත වුණා.
ඔය අතරේ සමරු සෙල්ෆි ගන්නවා. සමහරු ආගිය තොරතුරු කතා කරනවා. සමහරු හකුරු කෑල්ලක් එක්ක ප්ලේන්ටියක රස විඳිනවා. ඔය අතරේ ඕෂදී අලුත් උණු උණුවේ කොකිස් ටිකකුත් තම කණ්ඩායමට අරගෙන ආවා. කොකිස් උණු උණුවේ කන්නට හැකිවන විදිහට කොකිස් බදින තැනකුත් වෙනමම තිබුණ නිසා අවුරුද්දට කලින්ම උණු උණු කොකිස් කන්නත් අපේ අයට පුළුවන් වුණා.

අනේ අපේ පුටු ටික කෝ

ඕෂධී අක්කා.... කෝ..... කිස් කියමින් තවත් සමහරු කෑගැහුවා. හැබැයි ඉතින් ඉල්ලපු දේ ඕෂධී දුන්නෙ නැහැ. ගෙනාපු කොකිස් ටිකනම් හැමෝටම දුන්නා. ඔය අතරේ ශිරෝමිකා ලොකු පාර්සලයක් උස්සගෙන එනවා අපි දැක්කා. ගෙදරින් ගෙනාපු මේ පාර්සලේ මොනවද කියලා බලද්දි තමයි හැමෝගෙම කටට කෙළ ඉනුවේ. ශිරෝමිකා හොඳ අච්චාරුවක් ප්ලාස්ටික් භාජන කිහිපයකටම දාගෙන අරගෙන ඇවිත්. ඔන්න ඉතින් කණ්ඩායම් භේදයකින් තොරව හැමෝම ශිරෝමිකාගේ අච්චාරැවේ රස වින්දා. උදයකුමාරි මොකද්දෝ රෙද්දකුත් ඇඟේ පටලවගෙන එහාට යනවා. මෙහාට යනවා. ඉඳහිටලා වෙන කණ්ඩායමක පුටුවක් උස්සගෙන තවත් කණ්ඩායමක කෙනෙක්ටත් වාඩිවෙන්න ගිහින් දෙනවා.
අනේ අපේ පුටු ටික කෝ කියලා සමහරු කෑගැහුවට කණ්ඩායමේ පුටු ටික අඩු වුණේ කොහොමද කියලා ඒ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඔය අතරේ කණ්ඩායම් තරගයකට නාට්‍යක් කරන්න සිද්ධ වෙලා. කට්ටියම ලහිලහියේ චරිත බෙදා ගන්නවා. බන්දුසේන කණ්ඩායමේ හිටපු උදයකුමාරි නාගචම්පා කණ්ඩායමට එබිකම් කරලා චරිත බලනවා.

අක්කා අපේ නෙමෙයිනේ.. දුවන්න ඔයාගෙ එකට
උදයාගේ හොරේ නාගචම්පා කෙනෙක්ට මාට්ටු.

උදයාගේ හොරේ නාගචම්පලාට මාට්ටු

අක්කා මොන කණ්ඩායමේද?
මම අහපු ප්‍රශ්නනයට උදයා හරි අපූරු උත්තරයක් දුන්නා. ඔය තියෙන්නේ කැතම නම තියෙන කණ්ඩායමේ නංගි. මුංගේ කණ්ඩායම් හැම එකකටම ගිහින් මම එබිකම් ළා. අපි මෙහෙම කණ්ඩායම් බෙදුණට අපි කා අතරත් තරගයක් නැහැ නංගියේ.. අපි හැමෝම එකයි. මේක මේ ජොලියට කරන දෙයක්නේ.

මේ අවුරුදු උත්සවයට බොහෝ කලාකරුවන් කලාකාරිනියන් ඇවිත් හිටියා. සුසිලා ඒ හැමෝවම සිනා සාගරේ කිමිදෙව්වා. ඔය අතරේ අවුරුදු ගණනාවක් පිටරට හිටපු අපේ ආදරණීය කලාකාරිය වූ සසන්තිත් මේ අවුරුදු උත්සවයට සහභාගී වුණා. ඒ විතරක් නෙමේ ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයෙන් මුලු ලංකාවම හඳුනාගත් සුදු නංගී වුණු අයෝමි ශානිකත් ඔන්න අවුරුදු උත්සවයේ හිටියා. දන්න කියන හැමෝම ඇවිත් හිටපු එකේ ඒ ගැන වැඩි විස්තර දෙරණින්ම බලාගමු නේද?

 

► Text - Dishani  /   Pic -  Sumudu