2019 මාර්තු 16 වන සෙනසුරාදා

ගාන්ධි මගේ පරමාදර්ශයක්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 173

Art එකේ කැරට්ටුව..
හඬ: මොරින් චාරුණී


මම කලින් ආවට, ඇය කියපු වෙලාවටම ඇවිත්...
ආයුබෝවන්... ඉතින්... 
ඇයගේ ළෙන්ගතු හිනාව ඉහටත් උඩින්.....

හැබැයි බොහොම අමාරුවෙන් තමා වැඩේට අල්ලගත්තේ....
ඇය ගැන මතකය මුලින්ම මනසේ තැන්පත් වෙන්නෙ ගම්පෙරළියේ නන්දාගේ චරිතයෙන්... එදා ඉඳලා අද වෙනකන්ම ඈ ගැන ඇඳුණ ආදරණීය මතකය මැකුණේ නෑ... එන්න එන්නම වැඩිවුණා මිසක්... කුසලතාව කරපින්නාගත් අපූරු රංගන ශිල්පිනිය... ඒ තමා ඈ ගැන මගේ නිර්වචනය. ජීවිතය ගැන සරලව මැද තැනක ඉඳන් විඳින ඇය මොරින් චාරැණී... ඇය විඳපු නිර්මාණයක් ගැන මොහොතක් නතරවෙලා කතාකරන්න කාලෙක ඉඳන් හිතන් හිටියත් අද තමයි ඒකට වෙලාව ආවේ.... බලන් ඉන්න ඇය කතාකරන්නෙ මොනා ගැනද කියලා.....

සරල කෙනෙක් ගැන සංකීර්ණ කතා මොකටද...? ලේසි තැනකින් කතාව මුල පුරන්න හිතුවා...  කියමුද එහෙනම් ඔබේ ජීවිතය ගැන...?
මේ දවස්වලට ටිකක් කාර්ය බහුලයි... හේතුව තමයි ටෙලිනාට්‍ය කිහිපයක සහ චිත්‍රපටය දෙක තුනක රූපගත කිරීම් එක දිගට තිබුණා... ඉදිරියේදී වැඩ කිහිපයක්ම බාරගෙන තියෙනවා... රංගන කටයුතුවලට අමතරව පවුලේ වැඩකටයුතුත් කරගෙන හොඳින් ඉන්නවා....

ජීවිතයම සාරංශගත කරලා... එයා කෙටියෙන් දුන්නා... උත්තරයක්.
හරි එහෙනම්... මොරින් චාරුණිගේ කලා නිර්මාණ අපි දන්නවා... ඔයා රඟපාපුවත් අපි ඕන තරම් දැකලා තියෙනවා... ඒවා ගැන නෙමේ... ජීවිතයට අර්ථයක් දෙයක් එකතු කරපු නිර්මාණයක් ගැන කතා කරමු...  කලාවෙන් මොරින් චාරුණීව සංවේදී කරපු වැඩක් නම් නියමයි....

එහෙම අහපු ගමන්... ඇගේ ඇස් මොහොතට හැරුණා මගෙ පැත්තට....
එවැනි නිර්මාණ නම් මට ගොඩක් තියෙනවා... ඒ අතරින් මං ගොඩක් කැමති චිත්‍රපටයක් තමයි ගාන්ධි කියන්නෙ....

ගාන්ධි කියන නිර්මාණය මොරින් චාරුණිගේ ජීවිතයට මෙච්චරම විශේෂ වෙන්න තියෙන විශේෂ හේතුව මොකක්ද?
මම ගොඩක් කැමති චරිතයක් තමයි මහත්මා ගාන්ධි කියන්නෙ... ඔහුගේ සිතුම් පැතුම්, ගති පැවතුම්, ඔහු කරපු විරෝධතා, විශේෂයෙන්ම ඔහුගේ අවිහිංසාවාදී දර්ශනයට මම ගොඩක් ආදරය කරනවා. ඔහු පොදු අරමුණක් වෙනුවෙන්වත් තමාගේ පුද්ගලික අරමුණක් වෙනුවෙන්වත් කිසිම කෙනෙකුට හානිකරලා ඒ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරපු කෙනෙක් නෙමේ... ලේ වැගිරීම පිළිකුල් කරපු ගාන්ධි, ඒ සියල්ල ඔහු අවිහිංසාවෙන්ම ජයගත්තා... ඒ නිසාම ඒ දේවල් මමත් ප්‍රගුණ කරනවා... මම ගොඩක් කැමති ඒ විදියට ජීවිතය ගෙවන්න... ඇත්තටම අද ලෝකයේ අඩුවෙලා ඈතට යන  දේවල් තමයි අවිහිංසාව, ඉවසීම කියන්නෙ... ගාන්ධි වගේ නිර්මාණයක් ලෝකයටම හොඳ ආදර්ශයක්. ඒක නිසාම මම ගාන්ධි චිත්‍රපටය දැඩි සේ ඇලුම් කරනවා. චිත්‍රපටය බැලුවට පස්සෙ ගාන්ධි සම්බන්ධ ගොඩක් පොත්පත් පවා කියවන්න හුරු වුණා... ගාන්ධි තමන්ගෙ දේවල් තමන්ම කරගත්ත කෙනෙක්... ඔහු ඔහුට අවශ්‍ය ආහාර සපයාගත්තා වගා කරලා... ඔහුට අවශ්‍ය රෙදි පවා ඔහුම සකස් කරගත්තා.. එහෙම තමයි ඔහු ජීවිතය ගෙන ගියේ... කෙනෙකුට කියන්න පුළුවන් එයාට වෙන වැඩක් නැති නිසා එහෙම කරගත්තා කියලා... මම කියන්නෙ නෑ අපි හැමෝම කුඹුරක් කරන්න ඕනේ... අපේ රෙදිපිළි අපිම මහගන්න ඕනෙ කියලා... නමුත් අපිට පුළුවන් ගෙදරට අවශ්‍ය මිරිස් පැලයක් දෙකක්, බණ්ඩක්කා පැලයක්, තක්කාලි පැලයක් වගා කරගන්න... අඩුම තරමින් ඇඳුම්වලට විශාල මුදලක් වියදම් නොකර ඒ මුදල් ටික වෙනත් අත්‍යාවශ්‍ය වැඩකට යොදාගන්න. මමත් හරි කාර්යබහුල කෙනෙක්... මම පදිංචි වෙලා ඉන්නෙ කොළඹින් පිට, මගේ රැකියාව ගොඩක් සම්බන්ධ කොළඹට. එතකොට මම නිතරම කොළඹ එන්න යන්න ඕනෙ... මගේ පවුලේ කටයුතු කරන්න ඕනෙ... දුවගේ වැඩ කටයුතු ගොඩක් තියෙනවා... ඒ දේවල් කරලත් කොහොම හරිම වෙලාවක් මම හදාගන්නවා වත්තෙ මොනාහරි පැලයක් දෙකක් වගා කරගන්න... ඒ පැලවලට දාන්න කොම්පෝස්ට් පොහොර ටිකක් හදාගන්න... මේ වගේ දෙවල් මට කරන්න පුළුවන් වුණේ... ලෝකෙටම ආදර්ශයක් වුණු චරිතයක් ගැන නිතරම අවධානයෙන් හිටපු නිසා... ඒක නිසාම තමයි මම අද ගාන්ධි චිත්‍රපටය තෝරගන්න විශේෂ හේතුවක් වුණේ....

මහත්මා ගාන්ධි කියන්නෙ... හොඳ දැක්මක් තිබුණු කෙනෙක්... එයාගේ එක මතයක් තියෙනවා එකෙකු පරාජය කර නැගී සිටීමට අවශ්‍ය නෑ කියලා... අනිවාර්යයෙන් අපි නැගී සිටිය යුතුයි. අනිකා පරාජය කර එසේ නොකළ යුතුයි. මම විභාගය ඉහළින් පාස් විය යුතුයි... නමුත් මගේ පන්තියේ යාළුවව පරාජය කරමින් නෙමේ... මේ වගේ දේවල් වර්තමාන සමාජයට අවශ්‍යමයි... කාගෙන් හරි අත්වැරැද්දක් වුණාම අපි ඒ මිනිහව මරන්න හදනවා... පාරෙ යනකොට හදිසියට හෝන් ගහලා ඉඩ ඉල්ලපුවාම ඉස්සරහා වාහනේ යන මිනිහා රවලා බලන්නෙ... එකෙකුට එකෙක් නෑ... අනිකව පාගගෙන තමයි මිනිස්සු නැගිටින්න උත්සාහකරන්නෙ.... අපි හැමෝම මැරෙන මිනිස්සුනෙ...  අවිහිංසාවෙන් මේ දේවල් කතාකරලා බේරගන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ... මිනිස්සු වෛරයෙන් ඉන්නෙ... හැමෝම සතුටින් එන්නකොට තමයි හොඳ සමාජ රටාවක්, සංස්කෘතියක් හැදෙන්නෙ... මහත්මා ගාන්ධි කරපු දේවල් අපිට කරන්න බැරි දේවල් නෙමේ... ගාන්ධි කියන්නෙ මනුස්සයෙක්... ඔහු දෙවියෙක් නෙමේනෙ... ඔහුට කරන්න පුළුවන්නම් අපිට බැරි ඇයි...? ඔහුගේ ගතිගුණවලින් එකක් දෙකක් හරි කරන්න උත්සාවන්ත වෙනව නම් ඒක හරි වටිනවා.. 

මේ චිත්‍රපටය ඔබ කී වතාවක් බැලුවද? 
මේ චිත්‍රපටය මම දහ දොළොස් වතාවක් බලලා ඇති... ඩීවීඩී එක මා ළඟ තාමත් තියෙනවා... වෙලාවක් ලැබෙන වෙලාවට... ඉඳලා හිටලා නැවත නැවත බලන චිත්‍රපටයක් තමයි ගාන්ධි... මගේ ජීවිතේ හොඳ ගුණාංග අතහැරිලා කියලා මට හිතුණොත් නැත්නම් මගේ ජීවිතය වෙන පැත්තකට යොමුවෙලා කියලා හිතුණොත් අනිවාර් යෙන්ම මම නැවත චිත්‍රපටය හෝ ගාන්ධි පොත කියවලා මම හරි ට්‍රැක් එකට වැටෙනවා... ජීවිතය නිතරම බලන්නෙ වෙන වෙන පැති හොයාගෙන යන්න එකම විදියට ඉන්න එක ටිකක් අසීරු වැඩක්.. කොහොමත් අපේ සමාජ රටාවත් එකක් විවෘත ආර්ථිකයත් එක්ක ඒක කරන්න අමාරුයි තමයි.. ඒත් ටිකක් මහන්සි වුණොත් කරන්න පුළුවන්.... මම නම් කොහොම හරි උත්සාහ කරනවා.. එහෙම ජීවත් වෙන්න. 

මොරින් චාරුණීගේ සැබෑ ජීවිතයේදී මේ වගේ ආදර්ශමත් චරිත මුණගැහිලා තියෙනවාද?
ඔව් එහෙම චරිත දෙකක් මට මුණගැහිලා තියෙනවා... එක් කෙනෙක් තමයි මගේ පියා... එයා නම් දැන් ජීවතුන් අතර නෑ.. අනිත් එක්කෙනා තමයි මගේ මාමා... එයාගෙ නම පියදාස... දැන් එයාගේ වයස අවුරුදු 88ටත් වැඩියි.. ඔහු අදටත් කුඹුරු දෙක තුනක් අස්වද්දගෙන, එළවළු පළතුරු ටිකත් එයාම හදාගන්නවා... තමන්ගෙ වැඩටිකත් පිළිවෙලට කරගෙන අනිත් අයටත් සෑහෙන්න උදවු කරනවා. හැම පෝයකටම සිල් සමාදම් වෙන්න එයා අමතක කරන්නෙ නෑ. ආගමික වැඩවලටත් කාලය ධනය වැයකරනවා... ඔහු අපිට ආදර්ශමත් විදියට ජීවත් වෙනවා.

මේ නිර්මාණය නරඹද්දී වැඩියෙන් සංවේදී වෙච්ච තැන් එහෙම ඇති නේද?
ඇත්තටම මම මේ චිත්‍රපටය නරඹද්දී සංවේදීකමකටත් වඩා මට ඔහු ගැන පුදුම ආඩම්බයක් දැනුණා... ආදරයක් තමයි ඇති වුණේ... මේ චිත්‍රපටයේ හැම රූපරාමුවක් පාසා මට ඒ හැඟීම දැනුණා... මේ පුංචි මනුස්සයා මුළු රටක්ම වෙනස් කරන්න උත්සාහ කරන හැටි හරිම අපූරුයි...

මොරින් චාරුණීට මේ චිත්‍රපටයේ අවසානයේ මොනවගේ හැඟීමක්ද ආවේ..? ඒ වචන වලට පෙරළලා කියමුද?
ඇත්තටම මේ චිත්‍රපටයේ අවසානයේ මට හිතුණේ ඇයි අපිටත් මේ වගේ ජීවත්වෙන්න බැරි කියලා... බැහැයි කියලා දෙයක් නෑ.. අවශ්‍ය වෙන්නෙ උත්සාහ කිරීම පමණයි.. මම හිතන්නෙ නෑ අතීතයේ කරපු දේවල් ඒ විදියටම කළ යුතුයි කියලා.. නමුත්  ඒ කාරණාම වෙන විදියකට වර්තමානයට ආදේශ කරගන්න පුළුවන්. චිත්‍රපට විතරක් බලලා ඒ නිර්මාණයේ රසය විඳලා විතරක් යන එක අපරාධයක්... මහත්මා ගාන්ධිගේ ගති පැවතුම් ආදර්ශ සුළු වශයෙන් හරි කරන්න උත්සාහ කරනවනම් හරි වටිනවා.. ඒක තමා නිර්මාණයකින් විය යුත්තේ.. 

එහෙම තමයි මොරින් චාරුණී කතාව ඉවර කළේ.

 

► Text - Danushka Wijesiri   /   Pic-  Internet