2019 මාර්තු 16 වන සෙනසුරාදා

එයා මොන පෙට්ටියේද?

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

පසුගිය දවසක මාධ්‍යවල පළවුණු පුවතක් කාගෙත් කතාබහට ලක් වුණා. මෙතෙක් රජයේ සේවකයන් වසරක් පාසා දුම්රියේ ගමන් කිරීමට ලබාදුන් WARRANT, ඉදිරියේදී දේශීය ගුවන් ගමන් සඳහා ලබාදෙන බවටයි එම ආරංචි මාර්ග පවසා තිබුණෙ.

එක්තරා ටෙලිනාට්‍ය රූපගත කිරීමක් අතරතුර මෙම මාතෘකාව සාකච්ඡා කළේ තරුණ නළු නිළි පිරිසක්. බැලින්නම් මේ කට්ටියගෙම තාත්තලා රජයේ සේවකයො. ඒ නිසා රේල්ලුවේ වොරන්ට් ගැන හොඳටම දන්නවා.
ඔයාගෙ තාත්තා වැඩ කළේ කොහේද?
 රේල්ලුවේ...

ඇත්තද? අපේ තාත්තත් රේල්ලුවේනෙ
එයා මොන පෙට්ටියෙද? 
එකපාරටම අහපු ඒ ප්‍රශ්නෙට හැමෝටම හිනා ගියාලු.

ප්‍රවීණත්වය මනින මිම්ම

එක්තරා චිත්‍රපට රූපගත කිරීමකට සහභාගි වුණු නළුවෙක් කලා පත්තරේකුත් අරගෙන ආවලු.
විවේකී වෙලාවක පත්තරේ කියවමින් හිටිය ඒ රංගන ශිල්පියා, ළඟ හිටිය තවත් වයෝවෘද්ධ නළුවෙකුගෙන් ප්‍රශ්නයක් ඇහුවලු.

දැන් ඉතින් ටික කාලයක් කලා ක්ෂේත්‍රයේ නිරතවෙලා ඉන්න කෙනෙක් ගැන පත්තරේ ලියනකොට එයාට ප්‍රවීණ කියලා කෑල්ලක් දානවා. මටත් දානවා ඔයාටත් දානවා. ඒත් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පත් නොවුණු අයටත් ප්‍රවීණයි කියනවනෙ.
ඔව් ඉතින් ඕක වයසත් එක්ක එන සුදුසුකමක් කියලයි මම හිතන්නෙ. අනෙක් ජ්‍යෙෂ්ඨ ශිල්පියා කිව්වලු.

වයසට ගියාට ප්‍රවීණ වෙන්නෙ නැහැනෙ. එයා ක්ෂේත්‍රයට ලබාදී තිබෙන දායකත්වය අනුවයි ප්‍රවීණත්වය මනින්නෙ. අපේ මාධ්‍යවල කරන ලොකු වරදක් මේක. හැබැයි මේවා කතා කරන්න ගියොත් අපට කුහක ලේබල් එක වදිනවා. ප්‍රවීණත්වය නොලැබූ අයට ප්‍රවීණයි කීම ක්ෂේත්‍රය පිරිහීමේ එක සංඥාවක්.

දවල් කෑමට මෙහෙම වුණොත් කොහොමද?

රංගන ශිල්පියෙකුනම් කොහේ ගියත් මොනවා කළත් තමන්ගේ වටපිටාව ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනෙ.
කෝච්චියෙ ගියත්, බස් එකේ ගියත්, පයින් හොඳ විපරමින් ඉන්න එක්තරා රංගන ශිල්පියෙක් ගැන මීට කලිනුත් අපි කියලා තියෙනවා.

ඒ විපරම නිසාම ඔහුට හාස්‍ය මුසු සිද්ධි බොහෝවිට දැකගන්න ලැබෙනවා. ඔහු ඒවා දර්ශන තලවලට ඇවිත් සිය සගයන් සමඟ බෙදා හදාගෙන සියුම් විනෝදයක් ලබනවා. ඔන්න දවසක් ඔහු දර්ශන තලයකදී මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා.
ඕගොල්ලො දැකලා තියෙනවද තැන් තැන්වල පොඩි මරණ දැන්වීම් අලවලා තියෙනවා..
අපෝ ඕවා ඕන තරම් දකින්නෙ..

ඒත් සමහර මරණ දැන්වීම් අලවනවා කඩවල්වල දැන්වීම් පුවරුවල, පාරක නමක් දාලා තියෙන බෝඩ් ලෑල්ලක.. ඒකෙන් වෙන විපාකය ඒ අලවන අය හිතන්නෙ නැහැ..
ඇයි මෙයා මොනවහරි අමුතු දෙයක් දැකලා වගේ...

ඔව් ඔව් ඒකයි මම කියන්න ආවෙ. අපේ ගෙවල් කිට්ටුව තියෙනවා බත් කඩයක්. ඒකෙ ලොකුවට බෝඩ් එකක් ගහලා තියෙනවා දවල් කෑම කියලා. ඔන්න ඊයෙ පෙරේදා දවසක කවුදෝ නොසණ්ඩාලයෙක් ඒ බෝඩ් එකේ හරියට ද යන්න වැහෙන්න මරණ දැන්වීමක් අලවලනෙ.

 

► Text - Mithra