2019 මාර්තු 16 වන සෙනසුරාදා

කන්හයියයි අගමැතියි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 47
 
ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සිදුවීමක්. මේ භූමිභාගයේ තමයි ඉන්දියාවේ අගමැති නිවස, රාෂ්ට‍්‍රභවාන් පිහිටලා තියෙන්නේ. ඒ අහල පහල දැඩි ආරක්ෂාවක් යොදවලා තියෙන්නේ. ප‍්‍රධාන පිවිසුම අසල අශ්වයන් පිට රතු පාට ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු යුද භටයන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ගාවට කිළිටි නොවටින ඇඳුම්වලින් සැරසුණු පිරිමි දරුවන් තුන් දෙනෙක් එනවා. ඒ තුන්දෙනා ඇවිල්ලා සැලියුට් එකක් ගහන ගමන්, කන්හයියා ඇතුළු දරුවන් තිදෙනා ‘‘ඉන්දියාවට ජය වේවා (ජය හිංද්) කියලා මුර සෙබළුන්ට ආචාර කරනවා. මුර සෙබළුන්ද ඒ ළමයි තුන්දෙනාට ඉන්දියාවට ජයවේවා කියලා ආචාර කරනවා. 
 
අපේ රටේ අගමැතිතුමා ඉන්නේ මෙහේද?
ඒ තමා තුන්දෙනාගේ නඩේ ලොකු කොල්ලා කන්හයියා මුර සෙබළුගෙන් අහන ප‍්‍රශ්නය.
 
මේ ඒ සිදුවීම වෙන්න කලින් වුණු සිදුවීමක්. මේ සිද්ධිය ඉන්දියාවේ බොහොම ජනාකීර්ණ එක ළඟ ළඟ හදලා තියෙන කුඩා නිවසක් තුළ සිදුවීමක්. මේක කන්හුගේ නිවස. කන්හයියාගේ ඉස්සරහ තරුණ කාන්තාවක් ඉන්නවා. ඒ තමයි කන්හයියාගේ අම්මා.
 
මෙන්න සර්කස් එකේ මහා ජෝකරයා කියලා අම්මා කෑගහලා රෙදිකඩ කිහිපයක් උඩ දමමින් අල්ලද්දී කන්හයියා, 
අම්මා මම ලොකු වුණාම කසාද බඳිනවා කියලා ඔහු මහ පාරට දුවන්නේ එදා වේල සරිකරගන්න රස්සාව කරන්නයි. කන්හයියා පත්තර කිහිපයකුත් කිහිල්ලේ ගහගෙන බයික් ට‍්‍රැෆික් එකේ නතර කරලා තියෙන බයික් එකක් ගාවට යනවා. ඒ බයික් එකේ ඉස්සරහ තරුණයෙක් වාඩිවෙලා ඉන්නවා. ඔහුගේ පිටිපස්සේ ඉන්නේ ලස්සන තරුණියක්. අද අපේ කතාවේ නායකයා කන්හයියා තමන්ගේ සාක්කුවට අත දාලා තරුණයා දිහාට දික්කරමින් මෙන්න කොණ්ඩම් අරගෙන යන්න කියලා කියනවා. 
කන්හයියා ගෙදර ඇවිල්ලා අම්මටත් දෙනවා. අම්මා අහනවා ඔහුගෙන්,
 
අම්මා - කවුද කොණ්ඩම් ඔයාට දුන්නේ? 
කන්හයියා - ඊවා මැඩම් දුන්නේ නිකම් බෙදන්න කියලා 
 
ඔහු එහෙම කියලා දුවන්නේ තමන්ගේ යාළුවන් ගාවට. කන්හයියා නිවෙසේ නැති අතරේ පුද්ගලයෙක් කන්හයියාගේ අම්මාව දූෂණය කරනවා. අන්න ඒ සිද්ධියෙන් දවස් කිහිපයකට පස්සේ කන්හයියා පෑනකුයි පොතකුයි අරගෙන, 
මගේ ආදරණීය ප‍්‍රයිම් මිනිස්ටර් වෙත,
මම සර්ගම්ගේ පුතා කන්හයියා
 
ඔබට මට ආදරේට කන්හු කියලා කතා කරන්න පුළුවන්. 
කන්හයියා හෙවත් කන්හු අගමැතිව හමුවෙන්න තමන්ගේ යාළුවොත් එක්ක යනවා. ඔවුන්ට අගමැතිතුමාගේ ලේකම්වරයෙක් හමුවෙනවා. මේ ඔහුගේ කර්යාලයේ සිදුවීමක්. මෙතන දැලි කුණු වැකුණු ඇඳුමින් සැරසුණු මිතුරන් දෙදෙනා එක්ක කන්හයියා හෙවත් කන්හු යුරෝපීය ඇඳුමින් සැරසුණු ලේකම්වරයා එක්ක කතා කරමින් ඉන්නවා. 
 
කන්හයියා - අපේ වැඩේ කරලා දෙනවද?
ලේකම් - මේකයි. මට ලියුම බාර අරගෙන ඒක අගමැතිතුමාට යොමු කරන්න පුළුවන්. ඉතුරු ටික තියෙන්නෙ සිස්ටම් එක ඇතුළේ. 
එයා කොහේදීද හම්බවෙන්න පුළුවන් කියලා කන්හුගේ යාළුවා අහනවා.
 
ලේකම් - කවුද?
කන්හුගේ යාළුවා - මිස්ටර් ර් ර් ර් සිස්ටම්
 
 
කන්හයියගේ ලිපිය ඔහුත් කියවනවා. ඔබතුමා රටේ අගමැතිනේ. ඔයාගේ අම්මව එහෙම කවුරුහරි දූෂණය කළොතින් ඔබට කොයි වගේ දැනේවිද?  
මේරේ ප්‍යාරී ප‍්‍රයිම් මිනිස්ටර් කියන හින්දී සිනමාපටයේ කතාව තමයි ඔබට ඔය කිව්වේ. ඉන්දියාවේ නියම ස්වරූපය සැබෑ ලෙසින්ම දකින්න තියෙන මේ සිනමාපටය තිරගත වුණේ 2019 මාර්තු 15 වැනිදා. මේරේ ප්‍යාරී ප‍්‍රයිම් මිනිස්ටර් (මගේ ආදරණීය අගමැතිතුමා) කියන හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාකේෂ් ඕම්ප‍්‍රකාෂ් මේහ් රා වන අතර සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ රාකේෂ් ඕම්ප‍්‍රකාෂ් මේහ් රා, නව්මීත් සිං, රාජීව් තණ්ඩන්, අර්පිත් ව්‍යාස් විසින්. මේ සිනමාපටයේ කතාව ලියලා තියෙන්නේ මනෝජ් මයිර්තා, රාකේෂ් ඕම්ප‍්‍රකාෂ් මේහ් රා සහ හුසේන් දලාල්. මේ සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ශංකර්, ඒශාන්, ලෝ කියන සංගීතවේදීන් ත‍්‍රිත්වයයි. මිනිත්තු 130ක කතා කාලයකින් යුතු මේ සිනමාපටය 2018 ඔක්තෝබර් 23 වැනිදා රෝම සිනමා උළෙල නියෝජනය කරන ලද සිනමා සිත්තමක්ද වෙනවා. මේ සිනමා සිත්තම විතරයි රෝමයේ සිනමා උළෙල නියෝජනය කළේ මුළු ආසියාවෙන්ම. 
 
දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිත හැඩ කරන්න දායක වුණු කට්ටිය ගැනයි. මුලින්ම සර්ගම් ගැන කියලා ඉන්නම්. සර්ගම්ගේ චරිතයට පණ පොවන්නේ ඔබ දන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඇයව දැකලා තියෙනවා.
 
2013 Naa Bangaaru Talli, 2012 Chakravyuh, 2012 Delhi in a Day, 2011 Green Bangles (Short Film), 2012 Prathyayam (Telugu), 2012 Oba Nathuwa Oba Ekka (Sinhala), 2013 Shree, 2014 Kill the Rapist?, 2014 Finding Fanny, 2015 Mrs Scooter, 2016 Mirzya, 2017 Sameer, 2017 Newton, 2018 Meri Nimmo
 
1987 සැප්තැම්බර් 26 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ නාෂික්වල ඉපදුණු ඇය 2011 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද කටයුතු කරනවා. මෙයා ඉන්දියාවේ වේදිකාවේ දක්ෂතා පෙන්වා ඉස්සරහට ආව නිළියක්. ඇය අපගේ රටේ සිනමාපටයක් වන With You Without You (ඔබ නැතුව ඔබ එක්ක) සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඇය පූනේ විශ්වවිද්‍යාලයෙන් සෞන්දර්ය විෂය පථය යටතේ ඇයගේ උපාධිය ලබාගන්නවා. ඇය නමින් අංජලී පටිල්. ඇය තමයි මේ සිනමාපටයේ කන්හයියා හෙවත් කන්හුගේ මවට රඟපාන්නේ. ඊළඟට කියන්න හදන්නේ අගමැති කාර්යාලයේ කන්හයියාට සහයෝගය දෙන කෙනා ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලින් අපි දැකලා තියෙනවා.
 
1997 Bhoomi, 2000 Hey Ram, 2001 Chandni Bar, 2003 Satta, 2003 Dum, 2004 Khakee, 2006 Rang De Basanti, 2009 Yeh Mera India, 2009 Delhi 6, 2010 Bumm Bumm Bole, 2013 Zanjeer, 2015 Dirty Politics, 2015 Jazbaa, 2016 Pranam, 2017 Raees, 2019 Manikarnika: The Queen of Jhansi, 2019 Junglee
 
ඔහු 1965 සැප්තැම්බර් 10 වැනිදා ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයේ බෙල්ගාවුම්වල ඉපදුණා. දැන්නම් ඒ පළාත හඳුන්වන්නේ ඉන්දියාවේ කර්නාටක ප‍්‍රදේශ් වශයෙනුයි. ජාතික නාට්‍ය පාසලෙන් බිහිවුණු ඔහු විවාහවෙලා ඉන්නෙ ගීතාංජලී කුල්කාර්නී එක්කයි. හින්දී, දමිළ, මලයාලම්, තෙළිඟු, කන්නඩා, මරාතී, ඔඩියා සහ ඉංග්‍රීසි සිනමාපටවල ඔහු රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඔහු නමින් අතුල් කුල්කාර්නී. ඔහුගේ බිරියත් දක්ෂ රංගන ශිල්පිනියක් බව මතක් කරන ගමන් දැන් කියන්න හදන්නේ අපේ කතාවේ ප‍්‍රධාන චරිතය නිරෑපණය කරන ඒ පුංචි කොලුවා ගැනයි. ඔහු ගැන වැඩි විස්තරයක් හොයාගන්න අපහසු වුණත් ඔබට දැනගන්න ඔහුගේ නම විතරක් කියන්නම්. කන්හයියා හෙවත් කන්හුගේ චරිතයට පණ පොවන්නේ ඕම් කනෝජියා. ඔවුන්ට අමතරව මේ සිනමාපටයේ විවිධ චරිත හැඩ කරන්න මක‍්‍රන්ද් දේශ්පාන්ඩේ, රසික අගාශේ, සෝනියා අල්බිසුරී, ස්‍යානා ආනන්ද්, අදර්ශ් භාර්තී, ප‍්‍රසාද්, නචිකේත් පුර්නපාත්‍රේ, නිතීෂ් වාද්වා, ජිග්යාසා යදුවන්ශී කියන නළු නිළියන් එකතුවෙලා ඉන්නවා.
 
දැන් ඔබට කියන්න හදන්නේ මේරේ ප්‍යාරී ප‍්‍රයිම් මිනිස්ටර් හින්දී සිනමාපටයේ තියෙන ලස්සන ගීත ගැන. සුන්දර වචන එක එක ගලපලා ගීපද ලියා තියෙන්නේ ගුල්සාර්. ඒ සුන්දර වචන සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ශංජ්කර්, ඒශාන්, ලෝ කියන සංගීතවේදීන් තුන්දෙනා. ඒ ගීපදවලට පණ දෙන්න තමන්ගේ මන බඳින හඬින් ඒවා ප‍්‍රාණවත් කර තියෙන්නේ අර්ජිත් සිං, ශන්කර් මහදේවන්, ශිවම් මහදේවන්, රේඛා භර්ද්වාජ්, දිව්‍යා කුමාර්, ආශා භෝෂ්ලේ, ශ‍්‍රිනිධි ඝටාටේ සහ නීලා මුල්හේකර් කියන ගායක ගායිකාවනුයි.
 
Translation — Chandana Waravitage