2019 මාර්තු 16 වන සෙනසුරාදා

දැහැන

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 61

මන්දාරම් හැන්දෑවක ඔයා කාත් එක්ක හරි වැස්සක තෙමිලා තියෙනවද? වැස්සක තනියම තෙමෙද්දියි කාත් එක්ක හරි තෙමෙද්දියි ඒ වෙනස ඔයා අත්විඳලා තියෙනවද? black හින්දි චිත්‍රපටය මාව එක්ක ගියේ වෙනස්ම දිශාවකට.. ආදරය දැනෙන්නේ ආදරය හොයන්නේ ආදරය විඳින්නේ ඇස් පෙනෙන මිනිස්සු විතරද? නෑ ආදරය කියන්නේ පොදු අනුභූතියක්... black මගේ ඇස් දෙකට කඳුළක් අරගෙන ආවා.. ජීවිතය කියන චාරිකාවේදී අපිට නොයෙක් ස්වරූපයන්ගේ පුද්ගලයන් මුණගැසෙනවා.. ජීවිතයේ අපිට මුණගැහෙන සමහර ජීවිත අභ්‍යන්තරයේ එහෙම කතා හුඟක් තියෙන්න පුළුවන්.

අපි නොහිතන අතීතයක් ඒ ජීවිතවලට අයිති වෙලා තියෙන්න පුළුවන්. ජීවිතේ කොයි විදිහටද ඔයා නිර්වචනය කරන්නේ.. මට හිතෙන්නේ ජීවිතයට කවදාවත් එහෙම නිශ්චිත නිර්වචන දෙන්න බෑ. ඒක අමුතුම නවකතාවක්. ආකෘතියකින් වියුක්ත මහා කවියක්. ලෝකය දකින්න විඳින්න කියවන්න එන්න කියලා කියන්න කෙනෙක් නැති තාක් ඒ කවිය මහා වැලපිල්ලක්....

ආදරය කරන්නේ කාටද කියන එක ආදරයේ තීරණාත්මකම සාධකය කියලා මට හිතෙන්නේ. සුවඳ රස ජීවනය රැඳිලා තියෙන්නේ ඒ තෝරා ගන්න පාර්ශවය කේන්ද්‍රව. ජීවිතය හමුවෙන්න හරි මඟහැරෙන්න හරි ඒ තෝරා ගැනීම මහා පොදු සාධකයක් විදිහට බලපෑම් කරනවා. ජීවිතය විඳින්න ඉඩක් හදලා දෙනවද විඳවන්න ඉඩක් හදලා දෙනවද කියලා තීරණය කරන්නේ ඒ කෙනාගේ ස්වභාවය.. අපිට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් අය ඕන තරම් මේ ලෝකයේදී මුණගැහෙනවා.. ඒත් අපිට ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් අය භක්තියෙන් ගෞරවයෙන් ජීවිතය බෙදා ගන්න පුළුවන් අය මුණගැහෙන්නේ හුඟක් කලාතුරකින්... සාමය සහ ආදරය කියන්නේ එකිනෙකට හුඟක් වෙනස් හැඟීම් දෙකක්.. ගැටුමකින් වියුක්ත ඕනෑම තැනක සාමය තියෙනවා. ඒත් ආදරය නෑ. ආදරය ඇති තැන ආදරය නිසාම ආදරය අලුත් කරමින් ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ආදරය කියන්නේ මහා සංකීර්ණ ක්‍රියාවලියක්. සාමය කියන්නේ එක් නිහඬ හැඟීමක්. සැනසිල්ල හා නිවීම ඒ හැඟීම ඇතුළෙ තියෙනවා.
ඔයා හොයන්නේ ආදරයෙන් පිරුණු ජීවිතයක්ද? සාමයෙන් පිරැණු ජීවිතයක්ද?

සාමයෙන් පිරුණු ජීවිතයක් ළඟ ආදරයක් මුණනොගැසුණත් ආදරයක් නොදැනුණත් සැනසිල්ලක් ඔයාට මුණගැසෙයි...
ජීවිතය තියෙන්නේ සාමය ළඟද ආදරය ළඟද? 

ඔයා හොයන්නේ සාමයද?
ආදරයද?

හුඟක් හිතලා ඒ තීරණය ගන්න.
සාමයෙන් පිරුණු ආදරණීය ජීවිතයක්... මට හිතෙනවා ඔයාගේ උත්තරය ඒක වුණොත් ඔයා ජීවිතේ හුඟක් තැන්වල අතරමං වෙයි කියලා... ආදරය කියන්නේ උතුරන වතුර හැලියක් වගේ... එක දිය බිඳුවක්හරි විසික් වුණොත් පිච්චිලා යනවා. ඒ උණුසුම හරි භයානකයි... ඒත් සාමය කියන්නේ සීතල දියඇල්ලක්.... දියඇල්ල පාමුල ඇස් වහගෙන ඉඳගෙන ඉන්න හිස් මුදුනට වැටෙන වතුර ටික ඔබව සුවපත් කරයි... ඒ තමයි සාමය.