2019 මාර්තු 09 වන සෙනසුරාදා

අවුරුදු අටක් වෙද්දී මම නැටුම් ගුරුවරියක්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 139

අපි මේ කතාබහ ඔබේ ළමා කාලයෙන් පටන් ගමු. මුලින්ම ඒ ළමා කාලය ගැන මතකය අවදි කළොත්....?
ඔව්.... මගේ ළමා කාලය වැඩිපුරම ගෙවුනේ මොරටුවෙයි. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, මමයි තමයි හිටියේ. මම තමයි පවුලෙන් බාලයා. ඒ ළමා කාලය හරිම සුන්දරයි. පවුලේ බාලයා විදිහට හැමෝගමෙ ආදරය මට උපරිමයෙන් ලැබුණා. මගේ තාත්තා පොඩි ව්‍යාපාර කටයුත්තක නිරත වුණා. අම්මා රැකියාවක් කළේ නැහැ. මගේ ළමා කාලයේදී මම එච්චරම දඟත් නැහැ. හැබැයි හරිම හුරතල්. පුංචි කාලේ කාගේ හරි ඔඩොක්කුවකට පැනලා මම ඔහේ කටට එන සින්දු කෑලි කිව්වා. ගෙදරට කවුරු හරි ආවත් මං ඒ අයට ඇහෙන්න සින්දු කිව්වා. නැටුවා. පුංචි කාලේ ඉඳන් සබකෝලයක් මට තිබුණේ නැහැ.  ඒ නිසා හැම කෙනෙක්ගේම ආදරය ලබාගන්න පුළුවන් වුණා.

මියුරි ඉගෙන ගත්තේ කොහේද...?
මම මූලික අධ්‍යාපනය ලැබුවේ හෝලි රොසරි පාසැලෙනුයි. ඊටපස්සේ ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම මියුසියස් විද්‍යාලයට ඇතුළත් වුණා. පාසැලේදීත් මම කලා කටයුතුවලට නැඹුරු වෙච්චි චරිතයක්. එහි අවසානයේදී විවිධ ප්‍රසංගවලදී මම තමයි මූලිකත්වය අරගෙන වැඩසටහන්වලට සහභාගි වුණා. හැම ගුරුවරයෙක්ම, ගුරුවරියක්ම නිර්මාණවලට මාව අනිවාර්යයෙන්ම තෝරා ගන්නවා. මට තවම මතකයි හෝලි රොසරි පාසැලට අපිට නැටුම් උගන්වන්න පනීභාරත මහත්මයාගේ මල්ලී වන ජයශාන්ත සර් ආවා. ඉස්සරම ඒ සර් පාසැලට එන්නේ සතියකට එක වතාවයි. ඉතින් ඔන්න ඒ ආපුවම මාව නැටුම් පන්තියේ ඉස්සරහට අඬගහලා මට නැටුම් තාල දෙක තුනක් පුරුදු කරලා ඒක අනිත් ළමයින්ට කියලා දෙන්න කියල කියනවා. ඉතින් මාත් හරිම ආසාවෙන් ඒ පද ටික අනිත් ළමයින්ට තාල තිය තියා කියලා දෙනවා. ඔන්න ඉතින් ඊළඟ සතියේ සර් ආවම පන්තියේ ඉන්න අනිත් ළමයි නවය දිහා බලලා හොඳට උගන්වලා තියෙනවානේ කියලා මාව අගේ කරනවා. ඔන්න ඔහොම වයස අවුරුදු හත අට වෙද්දීත් මම නැටුම් ගුරුවරියක් වුණා.

ඒ කියන්නේ මියුරිගේ ළමා කාලයේදී හීනය වුණෙත් නැටුම් ගුරුවරියක් වෙන්නද...?
අනේ මන්දා. එහෙම හීනයක් තිබුණේ නැහැ. හැබැයි නැටුම්වලට හරි කැමතියි. විවිධ ප්‍රසංග, පෙරහරවලට, එහෙම නැටුමක් ඉල්ලද්දී අපේ ගුරුවරු අපේ නැටුම් කණ්ඩායමක් තමයි ඒ උත්සාවවලට යවන්නේ. ඒ කාලේ ගුවන් විදුලියේ වැඩ සටහන්වලටත් අපි ගියා. මට තාම හොඳට මතක සිද්ධියක් ජීවිතේ තියෙනවා. වාර අවසාන විවිධ ප්‍රසංගයේදී නාට්‍යයක් කරන්න තිබුණා. ඒකේ ප්‍රධාන චරිතයට රඟපෑවේ මගේ අක්කා. හැබැයි අක්කාට වෙලාවට අන්දවන්න කට්ටියටම බැරිවුණා. රඟපෑවේ රැජනකටයි. ඔන්න ඉතින් වේදිකාව හිස්. ඒ වෙලාවේ එක ගුරුවරියක් මාව උස්සලා වේදිකාව උඩින් තිබ්බා. සංගීත කණ්ඩායම සංගීතයත් දුන්නා. මම මගේ අක්කරව රැජිණකට ලෑස්ති කරනකන් එක දිගටම වේදිකාව උඩ නැටුවා. එතකොට මගේ වයස අවුරුදු අටයි.

මියුසියස් විදුහලට ආවට පස්සේ නැටුමට හිත ගියේ නැද්ද...?
නැහැ. ඒකට මූලික හේතුව වුණේ අධ්‍යාපනයයි. මියුසියස් විද්‍යාලයට ආවට පස්සේ මම මුල්තැන දුන්නේ අධ්‍යාපනයටයි. හෝලි රෝසරි පාසැලේ ඉන්න කාලේ ඉදන්ම මම ගැන ලිපි කිහිපයක් පුවත්පත්වල පලවෙලා තිබුණා. ඔන්න ඔය එක ආටිකල් එකක් දැකපු මියුසියස් විදුහලේ අත්තනායක මැඩම් මට කතා කරලා ඉස්කෝලෙන් අස්වුණාට පස්සේ ඕන නැටුමක් නටාගන්න කියලා පාරවල් දෙකකුත් ගහලා මට අවවාද කළා. හැබැයි සාමාන්‍ය පෙළ වාර අවසාන විභාගයේදී මම පන්තියේ වැඩිම ලකුණු අරගත්තා. මම සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණා. එතකොට මගේ වයස අවුරුදු දාහතරයි. ඔය අතරේ මම වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
ලාල් හීනටිගල කියලා කෙනෙක් අපෙ අයියගේ යාළුවෙක් වුණා. එයා නිතර නිතර අපේ ගෙදර ආවා. දවසක් ලාල් අයියාට මම ගැන කියලා ඔහු හරහා මට වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ වැලිකලරත්නගේ අලුත් දවසක් වේදිකා නාට්‍යයෙන්. ඊටපස්සේ දිගින් දිගටම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ හැම ගමනකදීම මගේ අම්මා මාත් එක්ක යන්න ආවා.

මියුරිගේ විවාහයත් සිද්ධ වෙන්නේ ඔබට අඩු වයසකින්...?
ඔව්... මම විවාහ වෙද්දී මට වයස අවුරුදු දහසයයි. මම දහම් පාසැලේ ඉගෙන ගනිද්දී පියල් දහම් පාසැලේ ඉගැන්නුවා. හැබැයි එයාගේ හිතේ මම ගැන අදහසක් තිබුණාට මට මුකුත් කිව්වේ නැහැ. පියල් මගේ අයියගේ යාළුවෙක්. එයා මගේ අධ්‍යාපනයට වුණත් ගොඩක් උදව් කළා. මට ඉංග්‍රීසි උගන්වන්න පියල් අපේ ගෙදර ආවා. මාත් එයාගෙන් හොඳට ඉංග්‍රිසි ඉගෙන ගත්තා. ඒ වෙනකොට මම නැටුම්වලට, වේදිකා නාට්‍යවලටත් එහෙ මෙහෙ යනවා. දවසක් පියල් ඔයා ගැන මගේ අදහසක් තියෙනවා. හැබැයි මම ඔයා නාට්‍යවලට සම්බන්ධ වෙනවට එච්චර කැමැති නැහැ. මම ඊළඟ සතියේ ගෙදර එන්නම්. ඔයා කැමතිද? අකමතිද? විතරක් කියන්න කියලා කිව්වා. මම ඒ සුමානේම හොඳටම අඬලා අඬලා ගෙදර ආපු දවසේ මට මේ මුකුත් එපා. මම ඔයත් එක්ක යන්න එනවා කියලා එයාට කිව්වා. මුලින් පියල්ගේ ගෙදරින් මට අකමැති වුණා. අපේ ගෙදරින් එයාට අකමැති වුණේ නැහැ. එයා ගොඩක් හොඳ කෙනෙක්. මට හරිම ආදරෙයි. රජයේ රැකියාවක් එයා කළේ. අවුරුදු දහසයේදී මම කසාද බැන්දා.

ඒ කියන්නේ කසාද බැන්දට පස්සේ මියුරි ඒ හැමදෙයක්ම අතහැරියා..?
ඔව්... මුලදී එහෙම තමයි හිතාගෙන හිටියේ. බැඳලා අපිට මුලින්ම දුවෙක් ඉපදුණා. ඊළඟට නිවුන්නු දුවලා දෙන්නෙක් ඉපදුනා. අන්තිමට පුතෙක් ඉපදුණා. මට අවුරුදු විස්ස වෙද්දි දරුවෝ හතර දෙනාම මට ලැබිලා ඉවරයි. මම ලස්සන පවුල් ජීවිතයක් ගත කළා. පියල් මටයි අපේ දරුවන්ටයි අසීමිතව ආදරේ කළා. එයා හොඳ සැමියෙක් වගේම හොඳ පියෙක්. දරුවන්ගේ වැඩවලට මම මගේ අම්මලා ළඟ හිටියා. ගෙදර උදව්වට කිහිප දෙනෙක් හිටියා. ඒ නිසා ඒ හැමෝම මට ගොඩක් උදව් කළා. ඔය අතරේ අලුත් නිර්මාණයකට නිළියක් ඕනේ කියන දැන්වීමක් පුවත්පතක තියෙනව දැකලා මම නිකමට ඒකට ලියුමක් දැම්මා. හැරෙන තැපෑලෙන් මට එන්න කියලා ලියුමක් ආවා.

ඒ යවපු ලියුම ගැන පියල් දැනගෙන හිටියෙ නැද්ද?
නැහැ. මම ලියුමක් යවපු එක ගැන මුලදි පියල් දැනගෙන හිටියේ නැහැ. ඔන්න මට ආපු ලියුම මම අපේ අල්මාරියෙ ඇලෙව්වා. හවස පියල් කාමරයට ගියාම ඔය ලියුම දැකලා මට කතා කළා. මාත් ඉතින් බයෙන් බයේ පියල් ළඟට ගියා. ඒ වෙලාවේ ඇයි මේ ලියුම මෙතැන තිව්වේ. ඇයි මට පෙන්නුවේ නැත්තේ කියලා ඇහුවා. මම ඒ වෙලාවේ මට බය හිතුණා කියලා කියද්දි බයවෙන්න එපා... මම හින්දනේ ඔයා හැමදෙයක්ම අත්හැරියෙ. සෙනසුරාදා යන්න ලෑස්ති වෙන්න. මම එක්ක යන්නම් කියලා මට කිව්වා. ඒ දෙවන ගමනට ආපු ගමන තමයි තාමත් මේ ඇවිදගෙන යන්නේ. එයා තමයි දෙවැනි සැරේට මාව කලාවට පරිත්‍යාග කළේ. එදා ඉඳන් පියල් මාව පුහුණුවීම්වල පවා එක්කගෙන ගියා. මගේ අම්මත් කලාවට හරිම ලැදියි. සමහරදාට අම්මත් මාත් එක්ක තනියට ආවා. ඒ දෙන්නගේ උදව්වෙන් මම කලාවට අවතීර්ණ වුණා. හැබැයි මොකක්දෝ අවාසනාවකට පියල්ට වයස අවුරුදු හතළිස් හයේදී හෘදයාබාධයකින් එයා මියගියා.

මියුරි වේදිකා නාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයට පවා යොමුවුණා නේද?
ඔව්... මම වේදිකා නාට්‍ය දහයක් නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂණය කළා. මම වේදිකා නාට්‍ය කිහිපයක්ම තිර රචනා කළා. මම වේදිකා නාට්‍ය බොහෝමයක රඟපාලා තියෙනවා. ඉස්සර සමහර දවසට එක දවසකට වේදිකා නාට්‍ය දෙකක රඟපෑවා. එක වේදිකා නාට්‍ය බස් එකක ගිහින් ඒක පෙන්නලා අතමරගදී කොට්ටයක් බදාගෙන අනිත් වේදිකා නාට්‍ය බස් එකට නැගිලා ඒකේ ගිහින් ඒ නාට්‍ය පෙන්නපු දවස් තිබුණා. චිත්‍රපටවල රඟපෑවා. ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒ කාලේ පුදුමාකාර කාර්යබහුල ජීවිතයක් ගතකළේ. සමහරදාට වේදිකා නාට්‍ය තුනක පුහුණුවීම් සුදර්ශියේ කළා. හරිම මහන්සියි. හැබැයි කලාවට ආදරේ කරපු නිසා ඒ මහන්සිය දැනුණේ නැහැ.

මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වලත් වැඩ කරනවා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුළදී මම ටිකක් අසනීප වුණා. දරුවෝ කලා කටයුතුවලට යනවට අකමැති වුණා. ඉතින් පොඩ්ඩක් විවිකේ ගත්තා. දැන් මට හොඳයි. දැන් ආයෙත් වැඩ පටන් ගත්තා. වේදිකා නාට්‍ය නම් දැන් කෙරෙන්නේ නැහැ. රඟපාපු චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ටෙලිනාට්‍ය තුනකටත් ආරාධනා කරලා තිබෙනවා. නොබෝ දවසකින් ඒවා රූගත කිරීම් ආරම්භ වේවි.

 

► Text - Dishani  /   Pic -  Sumudu