2019 මාර්තු 09 වන සෙනසුරාදා

වීඩියෝවක් ෂෙයාර් කරලා දවසක් මට බැන්නා බැනිල්ලක්...

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 325

ඉසුරු... මතකද... රොෂානාව ඔයාට මුලින්ම මුණගැහුණ දවස...?
ඔව්... මට හිතෙන විදිහට ඒ මීට අවුරුදු හතරකට විතර උඩදී. රොෂානා අක්කා මගේ face book එකේ ඉන්නවා. හැබැයි ඊට කලින් අපි මුණගැහිලා තිබුණේ නැහැ. එක්තරා උත්සවයකදී මම මුලින්ම රොෂානා අක්කව දැක්කා. ඊට පස්සේ මම ළඟට ගිහින් එයා එක්ක කතා කළා. ඔන්න ඕක තමයි යාළුවෙක් විදිහට රොෂානා අක්කව මුලින්ම දැකපු දවස.

රොෂානා කියන්නේ මොන වගේ කෙනෙක්ද...?
මුණගැහිලා කතා කරපු රූම මම රොෂානා අක්කට කෝල් කරලා නිකම් කතාබහ කළා. ඊට පස්සේ තමයි අපි හොඳ යාළුවෝ වුණා... මම රොෂාන්ව ආශ්‍රය කරන්නේ එයා සහෝදරියක් විදිහට සහ කලාකාරියක් විදිහටයි. සහෝදරියක් විදිහට ගත්තොත් රොෂානා කියන්නේ ඕනෑම සහෝදරයෙක්ට ඉන්න ඕනේ විදිහේ හොඳ සහෝදරියක්. කලා ශිල්පිනියක් විදිහට එයාව මම දකින විදිහ වෙනස්. වැඩ නැතිකමට හැමදේම පටලවාගෙන කරන කෙනෙක් නෙවේ. අවුරුද්දට කරන එක වැඩේ හරි එයා හරියටම කරනවා. නම කැත කරගන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ජීවත්වෙන කෙනෙක් විදිහට තමයි මම රොෂානාව දකින්නේ. 

• රොෂානාට කේන්ති යනවාද...?
අම්මෝ ඔව්... මටත් එකපාරක් රොෂානා අක්කා හොඳටම බැන්නා. ඒකත් ඉතින් මගේ වැරැද්දක් නිසා තමයි. රොෂානා අක්කා ප්‍රෝග්‍රෑම් එකකට ගිය වෙලාවක එක පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ වීඩියෝ එක මමත් ෂෙයාර් කළා. ඒ වෙලාවේ පැයක් යන්නත් කලින් රොෂානා අක්කා “මල්ලී මම උඹ එක්ක අයේ කතා කරන්නේ නැහැ... කියලා මැසේජ් එකක් දාලා මාව unfriend කරලා තිබුණා. අන්තිමට ඒක ඉතින් මගේ වැරැද්දක් තමයි. මාත් විහිළුවක් කළේ. කෝල් ගත්තත් රොෂානා අක්කා ආන්සර් කළේ නැහැ. අන්තිමට පැය තුනක්වත් ගියේ නැහැ. ආයෙත් රොෂානා අක්කා මට Request එකක් fb දාලා තිබුණා. රොෂානා අක්කාට කේන්ති යනවා තමයි. හැබැයි ඒ කේන්තිය හරිම ඉක්මනින් නිවෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. එයා කවදාවත් තරහා හිතේ තියාගෙන ඉන්නේ නැහැ.

• රොෂානාව දකින බොහෝ දෙනා හිතන්නේ රොෂානා කියන්නේ හරිම විනෝදකාමි කෙනෙක් කියලනේ... ඉසුරු ඒ ගැන මොකද හිතන්නේ...?
මෙහෙමනේ ගිනිකන්දක් වුණත් අපි දකින දේට වඩා ගොඩාක් වෙනසනේ. අපි දකින්නේ ගිනිකන්ද හරි ලස්සනට තියෙනවා කියලයි. හැබැයි ඒ කන්ද ඇතුළේ තමයි ඒ හැම ගින්දරක්ම දරාගෙන ඉන්නේ. ඒ වගේම තමයි රොෂානා අක්කා කියන්නෙත්. රොෂානා අක්කටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. හැබැයි කවදාවත් එයා ඒ ප්‍රශ්න මාකට් කරන්නේ නැහැ. එයා කවදාවත් ඒ ප්‍රශ්න දුක් ගැනවිල්ලක් කරගන්නේ නෑ. එයාගේ ප්‍රශ්න මුල්කරගෙන එයා කවදාවත් කලාව නැති කරගන්නේ නැහැ. ප්‍රශ්න නිසා කලාවට එන්නෙත් නැහැ.

• මවක් විදිහට ඉසුරු රොෂානාව දකින්නේ කොහොමද...?
ඇත්තටම ඒ ගැන නම් මම හොඳට දන්නවා. අපි ගොඩාක් වෙලාවට මුණගැහෙනවාට වඩා දුරකතනයෙන් තමයි කතා කරන්නේ. ඒ ගන්න කෝල් එකක් පැයක් එකමාරක් විතර අපි කතා කරනවා. ඒ කතා කරන හැම දවසකම රොෂානා අක්කා දුව ගැනත් කතා කරනවාමයි. එයා දුවට කියන්නේ “බබා කියලයි. ඒ දෙන්නා හරි එකතුයි. හරියට යාළුවෝ දෙන්නෙක් වගෙයි. අදටත් දුවගේ හැම වැඩක්ම රොෂානා අක්කා කරන්න හරි ආසයි. දැන් දුව ලොකුයි. දැනුම් තේරුම් තියෙන දරුවෙක්. හැබැයි අම්මා කෙනෙක් විදිහට තාත්තාගේ අඩුව දරුවට දැනෙන්න රොෂානා අක්කා ඉඩ තියන්නේ නැහැ. යුතුකම් හැමදෙයක්ම රොෂානා අක්කා කරනවා. දරුවාගේ ආරක්ෂාව පිළිබඳ එයා ගොඩාක් වෙලාවට හිතනවා. රූගත කිරීම් කරන තැනකට දරැවව අරගෙන ගියත් හැම වෙලාවෙම එයාගේ ඇහැ තියෙන්නේ දරුවා දිහායි. ඒක මට හැමවෙලේම තේරිච්චි දෙයක්.

• රොෂානාගේ විලාසිතා ගැන යාළුවෙක් විදිහට ඉසුරු මොකද හිතෙන්නේ...?
විලාසිතා කරන්න ගිහින් සමහරුන් නා ගන්නවානේ. එයා එහෙම නැහැ. එයාගේ වයසට ගැලපෙන විදිහට අම්මා කෙනෙක්, ක්ෂේත්‍රයේ යම් නමක් තියාගෙන ඉන්න කෙනෙක් විදිහට එයාට ගැලපෙන විලාසිතා එයා කරනවා. මොන වැඩේට ගියත් වැඩේට ගැලපෙන විදිහට එයා ඇඳුම් අඳිනවා. වැඩේට නොගැලපෙන ඇඳුම් ඇඳලා නම කවදාවත් කැත කරගන්නේ නැහැ. ලස්සනට, අදාළ තැනට ගැලපෙන විදිහට රොෂානා අක්කා විලාසිතා කරනවා. එයාගේ දරුවට වුණත් එයා එහෙම තමයි. කවදාවත් එයාගේ දරුවා වුණත් නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන යනවාට රොෂානා අක්කා කැමති නැහැ.

• රොෂානා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන ඉසුරුට මොකද හිතෙන්නේ...?
ඒක මගේ වාසනාවකටත් වඩා මට ලොකු ශක්තියක් කියලයි මට නම් හිතෙන්නේ. රොෂානා අක්කාගෙන් මට හොඳ සහෝදරියක් කියන චරිතය මුණගැහුණා. මම මොකක් හරි වැරැද්දක් හරි කළොත් fbඑකේ මොකක් හරි post එකක් දැම්මත් හරි රොෂානා අක්කා මට කෝල් කරලා “මල්ලී උඹ කරපු දේ වැරදියි... උඹ මෙහෙම කළා නම් හොඳයි... කියලා කියනවා. ඇත්තටම රොෂානා අක්කා මට ලොකු හයියක්.

• ඉසුරු මේ දවස්වල මොකද කරන්නේ...?
මේ දවස්වල වෙළෙඳ දැන්වීම් දෙකකට සහභාගී වුණා. මගේ රැකියාවත් එක්ක මම ඒ හැමදේයක්ම සමබරව කරගෙන යනවා. මගේ මුල්ම චිත්‍රපටයේ වැඩ කරගෙන යනවා. එකේ මම ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒක අධ්‍යක්ෂණය කරන්නේ ෂෙහාන් අසේලයි. ඒ චිත්‍රපටයේ නම “හිතුමතේයි. 

ඔන්න ඔහොම තමයි ඉසුරු රොෂානා ගැන අපිට කිව්වේ. එක යාළුවෙක්ගෙන් විතරක් අහලා හරියන්නේ නැති එකේ අපි රොෂානාගෙනුත් ඉසුරු ගැන ඇහුවා... බලමුද ඇය ඔහු ගැන කිව්වේ මොනවාද කියලා...

• රොෂානා... මතකද ඔයාට ඉසුරුව මුණගැහුණු මුල්ම කාලය...?
ඔව්... මට ඉසුරු මුලින්ම මුණගැහුණේ 2014 දී විතර. එයා මගේ fb එකේ යාළුවෙක්. හැබැයි අපි ඊට කලින් මුණගැහිලා තිබුණේ නැහැ. මම එක ප්‍රදර්ශනයකදී තමයි ඉසුරු මුණගැහුණේ. ඊට පස්සේ ඉතින් අපි ෆෝන් එකෙන් මුලින්ම කතා කළා.

• ඉසුරු කියන්නේ මොනවගේ යාළුවෙක් ද...?
ගොඩාක්ම හොඳ යාළුවෙක්... ඇත්තටම එයා මට යාළුවෙක්ටත් වඩා සහෝදරයෙක් වගෙයි. ඉසුඒඅ කියන්නේ කෙලින් කතා කරන මල්ලි කෙනෙක්. ඇත්තටම මට හරි දුකයි. තාමත් මේ ක්ෂේත්‍රයේ ඉසුඒඅට හරියන තැනක් ලැබුණේ නැහැ. එයා දක්ෂ මල්ලි කෙනෙක්. දැන් එයාගේ මුල්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට අවස්ථාව ලැබිලයි තියෙන්නේ. මම හිතනවා ඒ අවස්ථාව ඉසුඒඅ උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගනීවී කියලා. ඉසුඒඅ උනන්දුවෙන් වැඩ කරන හරි අහිංසක කෙනෙක්.

• ඉසුරු නිරූපණ ක්ෂේත්‍රයට වැඩිපුරම යොමුවෙලා තියෙනවා. ඒ ගැන රොෂානාට මොකද හිතෙන්නේ...?
එයාගේ පෙනුමත් එක්ක නිරෑපණ ක්ෂේත්‍රයට එයාව හොඳටම ගැලපෙනවා. සමහරුන් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා හිතාගෙන හිටියට ක්ෂේත්‍රයට ගැලපෙන්නේම නැහැ. පඳුරකට පයින් ගැහුවත් අද නිරූපණ ක්ෂේත්‍රයෙන් කට්ටිය එළියට එනවනේ. හැබැයි ඉසුරු වගේ කෙනෙක් නිරූපණ ශිල්පියෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන්. ඔහුට හොඳ පෙනුමක් තියෙනවා. 

• රොෂානාගේ ජීවිතයේදී මුහුණ දීපු සතුට දුක හැම මොහොතකදීම යාළුවෙක් විදිහට ඉසුරු ළඟින් හිටියද...?
ඔව්... අනිවාර්යයෙන්ම යාළුවෙක් කියනවාටත් වඩා හොඳ සහෝදරයෙක් වගේ ඉසුරු මම ළඟ හිටියා. ඉසුරු කියන්නේ සතුට වගේම දුකත් කියලා බෙදාගන්න පුළුවන් හොඳ සහෝදරයෙක්. ඉසුරුට මට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම මොකක් හරි උදව්වවක් ඉල්ලුවත් “ඉන්න අක්කේ මම කරලා දෙන්නම් කියලා හරි ඉක්මනට මට ඒ උදව්ව කරලා දෙනවා. ඉසුරුට කේන්ති යනවා මම දැකලා නැහැ. හැබැයි සමහර දේවල් ගැන සමහර අය ගැන එයා හරි කලකිරීමෙන් කතා කරන වෙලාවල් තියෙනවා. ක්ෂේත්‍රයේ ඇතුළේ එයාට හිත් රිදුණු තැන් කිහිපයක් වුණා. එයා ඒ ගැන මට කියලා තියෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම දරාගැනීමේ ශක්තියක් ඉසුරැට තියෙනවා.

• ඉසුරු වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන රොෂානාට මොකද හිතෙන්නේ...?
ඇත්තටම ගොඩාක් හොඳයි. ඉසුරු මල්ලී මට ලොකු හයියක්. අපි වැඩිය මුණගැහෙන්නේ නැති වුණත් ෆෝන් කරලා දුක සැප අහනවා. මම දන්නවා ඉසුරු මල්ලී මම උදව්වක් ඉල්ලන ඕන මොහොතක මට උදව් කරනවා කියලා. මම ජීවිතේ වැටුණ හැම මොහොතකම මගේ හිත හයිය කරගන්න ඉසුරු මල්ලී මට ගොඩාක් උදව් කළා.

• මේ දවසවල රොෂානා මොනවද කරන්නේ...?
මේ දවස්වල “සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයෙන්, “අහස්මාලිගා ටෙලිනාට්‍යයෙන් “තෝඩු නාට්‍යයෙන් “කන්තෝරු මෝරු ටෙලිනාට්‍යයේත් ඊට අමතරව මගේ දුවගේ වැඩකටයුතු කරගෙන ඉතින් ඉන්නවා. දුව දැන් ලොකුයි මගේ ජීවිතේ අමාරුම කාලය මම පහුකළා කියලයි අද මට හිතෙන්නේ. දැන් දුව මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය කරනවා. 

• දුවත් කලාවට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. අනාගතයේදී එයා කලාවම තෝරා ගනීවිද...?
එයා චූටි කාලේ ඉඳන් මම එයාගෙන් දැක්කේ වෙනමම පැත්තක්. එයා දේශපාලනයට හරි කැමතියිති. ලියද්දී වුණත්, චිත්‍රයක් ඇන්දත් එයා දේශපාලනයට නැඹුරුව තමයි ඒ දේවල් කළේ. එයාට එයාගේ තාත්තාගේ හුරුව තමයි තියෙන්නේ. ඒවගේම දුවට නිවේදන හැකියාව ගොඩාක් හොඳටම තියෙනවා. දැනට ඒ පැත්තෙනුත් එයා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එයා නිර්මාණ දෙක තුනකටත් රංගනයෙන් දායක වුණා. හැබැයි එයාගේ හිත වැඩිපුරම තියෙන්නේ දේශපාලනයට තමයි. මම හැමවෙලේම කියන්නේ මට පුතෙක් වගේ දුවෙක් ඉන්නවා කියලයි.   


► Text - Dishani / Pic – Internet