2019 මාර්තු 09 වන සෙනසුරාදා

ශෝභා මැද්දේ වටේට අයියලා

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 46
උපැස් යුවළක් පැළඳ නීට් එකට ඇඳලා කියලා ඉන්න මිටි පුද්ගලයෙක් ගැනයි මේ කියන්න හදන්නේ. මේ කියන මනුස්සයා කිසි කෙනෙක්ට බය නැහැ. ඒත් ඔහු ඉන්න පළාතේ හැමෝම වැරදි කරන්න බයයි ඔහු ඉන්න හින්දා. මේ හාදයගේ නම ශර්මා ජී. ශර්මා ජී කියන්නේ අයුක්තියට අසාධාරණයට එරෙහිව පෑන අතට අරන් ඉන්න ජනමාධ්‍යවේදියෙක්. ශර්මා ජී එනකොට මැති ඇමැතිවරැත් බයෙන් සලිත වෙනවා. ශර්මා ජී මැදි වයසේ කෙනෙක් වුණාට ඔහු විවාහ වෙන්නේ තරුණ යුවතියක් එක්ක. එයා නවීන විලාසිතා කරන සුදු ලස්සන කෙනෙක්. 
 
මේ ශර්මා ජී සේවය කරන කන්තෝරුව. මෙතන තියෙන මේසයක් අසල පුටුවක කඩවසම් තරුණයෙක් වාඩිවෙලා ඉන්නවා. ඔහු ඉස්සරහ තියෙන පුටුවල රතු කොට ගවුමකින් සැරසුණු ලස්සන කෙල්ලෙක් සහ කහ පාට ෂර්ට් එකකින් සහ වෙස්ට් කෝට් එකකින් සැරසුණු උපැස් යුවළක් පැළඳි ශර්මා ජී වාඩිවෙලා ඉන්නවා. 
 
යුවතිය - කලෙක්ටර් මහත්තයගෙන් කෝල් එකක් ආවා ටයිම් එක ටිකක් ඉන්ක‍්‍රීස් කරන්න ඕන කියලා.
මේ නිවසක් තුළ සිදුවීමක්. ශර්මා ජී විවාහ වෙලා වැඩි කාලයක් නැහැ. ඔහු විවාහ වෙන්නේ ටිකක් මැදි වයසට ගියාමයි. මේ නිවෙසේ ශර්මා ජී, ඔහුගේ බිරිය වන තරැණ සුන්දරිය සහ කඩවසම් තරැණයෙක් ඉන්නවා.
මුරලි - මේකයි. ඔයාගේ වයිෆ් ශෝභා මාත් එක්ක පුංචි කාලේ ඉඳන් ගොඩාක් සෙල්ලම් කළා. දැන් ඔයත් එක්ක සෙල්ලම් කරනවා. මම යනවා. බායි...
 
ශර්මා ජී - මොකක්ද එයා කියලා ගියේ? මොනවද ඔයා කරපු සෙල්ලම්?
ශෝභා - හැම සෙල්ලමක්ම කළා. ආ අන්න කිරි ගේන මනුස්සයා ඇවිල්ලා. කොහොමද අයියා? 
කිරිකාරයා - හොඳින් ඉන්නවා. ඔයාගේ ආදරේ නිසා. 
 
ශර්මා ජී - (හිතනවා) මෙයා හැමෝටම ආදරේ කරනවද?
ඇය ගොඩාක් ආදරෙන් ගෙදරට කිරි ගේන මනුස්සයා එක්ක කතාබහ කරන්නේ. ශර්මා ජීට ඒක දැක්කම ටිකක් ඉරිසියයි. ඔහු ඇතුළතින් ගිනි ගන්නවා වගේ ඔහුට දැනෙන්නේ බිරිය ගොඩාක් වයසින් අඩු තරුණියක් හින්දයි.
ඒ පළාතේ ඉන්න අව් කණ්ණාඩියක් දාලා ඉන්න මදාවිකාරයෙක් ශර්මා ජීගේ වයිෆ්ව දකිනවා. ඔහුගේ නම ලල්ලන්.
ලල්ලන් - අවනම්බු වෙනවට නැහැ කිසි බයක්. ගරුත්වය ගැන කිසි හිත් තැවුලක් නැහැ. ගන්න ඕන ලෝකයම මිටි කරලා. 
 
ඔහු එහෙම කියමින් ශර්මා ජීගේ වයිෆ්ගේ අතින් අල්ලනවා. එතකොටම එතන ඉන්න ශර්මා ජීගේ බිරියගේ කඩවසම් යාළුවා මුරලි, ඔහුට හොඳ කම්මුල් පාරක් දෙනවා. ඒ ගමන් ඔහු, 
මුරලි - මාව පෙනුමෙන් සනී දියොල් වගේ වුණාට ඇක්ෂන් ගෝවින්දා වගේ කරන්නේ හරිද? 
හැම වෙලාවෙම ශර්මා ජී වයිෆ් පස්සෙන්මයි ඉන්නේ. එක දවසක ඇය ගැන ඔහු සැක කරලා ඔහු කියන දේකින් හිත් තැවුලට පත්වෙන ඇය ඔහුට දෙනවා කම්මුල් පාරක්. 
එක පැත්තකින් ශර්මා. තව පැත්තකින් මුරලි. අනෙක් පසින් ශෝභා. ඒ තුන්දෙනා ගමම හොල්ල හොල්ලා ඉන්නේ.
 
ඔය ඔබ කියෙව්වේ මනෝජ් ශර්මා ලියලා අධ්‍යක්ෂණය කළ අලුත්ම හින්දී සිනමාපටයේ කතාවේ එහෙන් මෙහෙන් අහුලාගත්ත කොටස් කිහිපයක්. කොමඩි, එහෙම නැත්නම් විහිළු සිනමාපටයක් ලෙසින් නම්කර තියෙන ශර්මා ජී කී ලග් ගයී කියන හින්දී සිනමාපටයේ විස්තර තමයි අද අපි ඔබට කියන්නේ. මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ නීල්කාන්ත් රෙග්මි. මේ සිනමාපටයේ තියෙන ගීත සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ වන්ශ්මනී ශර්මා. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ඉන්න සුන්දර තරුණිය ගැනයි. ඇයව ඔබ සිනමාපට බොහොමයකින් දැකලා තියෙන කෙනෙක්. මෙන්න මේ සිනමාපටවලත් ඔබට අපිට ඇයව දකින්න ලැබුණා.
 
 
Fashion (2008), All The Best (2009), Jail, Gali Gali Chor (2012), Will You Marry Me? (2012), Heroine (2012), Saheb (2013), Biwi Aur Gangster Returns, Kaagaz Ke Fools (2015)
 
ඒ කිව්වේ ඇය හිටිය සිනමාපටවලින් කිහිපයක් පමණයි. 1986 ජූලි 26 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ පූනේවල ඉපදිලා තියෙන ඇය 2004 වර්ෂයේ පටන් සිනමා නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. බී.කොම් උපාධිධාරිනියක්ද වන ඇය නමින් මුග්දා ගොඩ්සේ. මුග්දා තමයි මේ සිනමාපටයේ ශෝභාගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ ශෝභාගේ ස්වාමිපුරැෂයා වගේම කිසිවෙක්ට බය නැති අසාධාරණයට අයුක්තියට පෑන ඔසවන ශර්මා ජීගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලත් අපිට දකින්න හිටිය කෙනෙක්. 
 
Ek Ladki Ko Dekha Toh Aisa Laga (2019), PK Lele A Salesman (2018), Zero Pandey, FryDay, Batti Gul Meter Chalu, Bioscopewala, Phamous, Angrezi Mein Kehte Hain, Udanchhoo, Jolly LLB 2, Running Shaadi, M.S. Dhoni (2016), Rustom, Dolly Ki Doli (2015), PK, Youngistaan, Bhoothnath Returns, Jannat 2, Paan Singh Tomar,
 
ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ්හි මතුරාවේ ඉපදුණු ඔහු නළුවෙක් වගේම තිරරචකයෙක්ද වෙනවා. ඔහු නමින් බි‍්‍රජේන්ද්‍ර කාලා. ඔහු තමයි ශර්මා ජීගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මුරලිගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලින් අපි දැකලා තියෙනවා.
 
Yeh Kaisi Mohabbat Hai (2002), Hum Tum Aur Mother (2005), Jahan Jaaeyega Hamen Paaeyega (2007), Aur Pappu Pass Ho Gaya, Bol Bachchan (2012)
1983 මැයි 30 ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයිවල ඉපදුණු ඔහු නළුවෙක්, විකට නිරූපණ ශිල්පියෙක්, රූපවාහීනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වශයෙන් කටයුතු කරනවා. ජනප‍්‍රිය හින්දී සිනමා නළුවෙක් වන ගෝවින්දාගේ ඥාාතියෙක්ද වන ඔහු අභිෂේක් ශර්මා නමින් ඉපදුණත් ඔහුව හැමෝම දන්නේ, ඔහු ජනප‍්‍රිය වෙලා තියෙන්නේ ක‍්‍රිෂ්ණා අභිෂේක් කියන නමින්. ඔහු තමයි ශර්මා ජී කී ලග් ගයී හින්දී සිනමාපටයේ මුරලිගේ චරිතයට පණ පොවන්නේ. මේ කිව්ව නළු නිළියන්ට අමතරව මුකේෂ් තිවාරි, ටිකූ තල්සානියා, හිමානි ශිවපුරි, මුස්තාක් ඛාන්, මිතිලේශ් චතුර්වේදී, ශ්වේතා කන්දුරි ඇතුළු නළු නිළියන් විශාල සංඛ්‍යාවක් එම සිනමාපටය හැඩ කරන්න එක්කාසුවෙලා තියෙනවා. 2019 මාර්තු 15 වැනිදා ඉඳන් අපි හැමෝටම ශර්මා ජී කී ලග් ගයී සිනමාපටය රහ බලන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.
 
► Translation — Chandana Waravitage