2019 මාර්තු 02 වන සෙනසුරාදා

පළිගු මැණිකෙට මම හරි ආදරෙයි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 275

- ආනන්ද අතුකෝරළ

ඔහු ගැන මම කෙටියෙන් මෙහෙම කියන්නම්කො.. චරිතයක ඇති මනෝභාවයන් හොඳින් හඳුනාගෙන හරි අපූරූවට ඒ මනෝභාවය තමන්ට ආරෝපණය කර ගැනීමේ සහජ දක්ෂතාවයක් තියෙන කෙනෙක්... වැල්වටාරම් නැතුව මම එයාගෙ නම කියන්නම්... එයා තමයි.. ආනන්ද අතුකෝරළ.

අහන් ඉන්න ඔහු කතා කරන්නේ කුමක් ගැනද කියලා...

ඊට කලින් ආනන්ද අතුකෝරළ මේ දවස්වල කරන වැඩකටයුතු ගැන අපිට පොඩ්ඩක් කියලා ඉමුද?
මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි... ටෙලිනාට්‍ය කිපයක වැඩකරනවා. ඒවා තමයි කෝටිපතියෝ, නිරාශා, තෝඩු, සුළඟ මහමෙරක් කියන නාට්‍යය. ගින්දරී අලුත් චිත්‍රපටයෙත් මම රංගනයෙන් දායක වුණා... මම අධ්‍යක්ෂණය කරන අලුත් වේදිකා නාට්‍යයක් මේ දවස්වල පුහුණවීම් කටයුතු කරගෙන යනවා ඒකෙ නම තමයි වලිගයක් ඇවිල්ලා... මාර්තු අප්‍රේල් වෙද්දි ඒක වේදිකා ගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා... ඕවා තමයි ඉතින්... 
ආනන්ද දුන්න පිළිතුරෙන් සෑහිලා... දැන් අපි වැඩේට බහිමු එහෙනම්... හරි මම මෙහෙම ඇහුවොත්..

ආනන්ද අතුකෝරළගේ ජීවිතයට සමීප වුණු, පේනවාට වඩා වැඩි දෙයක් හිතට කාවද්දපු,  සරලවම කිව්වොත් ආනන්දගේ හිතට දැනුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතාකරමුද..?  ඒක ගීතයක් වෙන්නත් බෑ. ආනන්ද අතුකෝරලගේ සම්බන්ධ නිර්මාණයක් නම් කොහොමත් බෑ....  එකඟද?
එකඟයි... 

හිතට තදින් දැනුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා... ඒ අතරින්  රූපවාහිනිය ලංකාවට ආපු මුල්කාලේ නිර්මාණයක් මම තෝරගන්නම්... ඒ තමයි ධම්ම ජාගොඩ නිර්මාණය කරපු පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය... පළිඟු මැණිකේ නාට්‍යය රූපවාහිනියේ විකාශය වෙන්න කලින් ටෙලිනාට්‍ය කිහිපයයි රූපවාහිනියේ විකාශය වෙලා තිබුණේ... ඒ ප්‍රමාණය අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි... ඒ වෙනකොට ටෙලිනාට්‍යයක් කියන්නෙ මොකක්ද කියන එක හරියට අපි දැකලා තිබුණේ නෑ... ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ.. පළිඟු මැණිකේ බැලුවට පස්සෙ තමයි ටෙලිනාට්‍ය කලාව ගැන ලොකු ආසාවක් ඇති වුණේ....

සෝමවීර සේනානායක තමයි පළිඟු මැණිකේ පිටපත රචනා කරන්නෙ.. හරිම අපූරු කතා තේමාවක් තමයි එතුමා මේ නාට්‍යයට යොදාගෙන තියෙන්නෙ... ඕනම නිර්මාණයක් සාර්ථක වෙන්න බලපාන මූලික සාධකය තමයි ඒ නිර්මාණයේ පිටපත... හොඳ කලා නිර්මාණයක් වුණාම ප්‍රේක්ෂකයාගේ දැනුම සහ වින්දන පරාසය අනුව ඒ කලා නිර්මාණය විග්‍රහ කරන්න පුළුවන් ගොඩක් පැතිකඩවලින්... පළිඟු මැණිකේ ටෙලිනාට්‍ය කතාන්දරය ගත්තාම නාගරික ආර්ථිකය ගම ගිලගන්න විදිය, කලාව, සෞන්දර්ය මුදලට විනාශවෙන හැටි, හොඳ දේ යටකරගෙන නරක දේ මතුවෙන ආකාරය මේ නිර්මාණය පුරාවට හරි අපූරුවට අපිට විදහා දක්වලා තියෙනවා... තව කියන්නම ඕනෙ කාරණයක් තමයි සංකේත භාවිතය ගැන... සාමාන්‍යයෙන් සංකේත භාවිතය බලාපොරොත්තු වෙන්නෙ චිත්‍රපටවලනේ.... සංකේත ටෙලිනාට්‍යවලට භාවිත කරන්න බෑ කියලානෙ අදහස තියෙන්නෙ... මොකද ගොඩක් අයගේ මතයක් තියෙනවා ටෙලිනාටයක් කියන්නෙ කලා නිර්මාණයක්ම නෙමේ කියන එක... ටෙලියක් කියන්නෙ වාණිජ පරමාර්ථයක් මුල්කරගෙන කරන ගනුදෙනුවක් විදියට ගොඩක් අය මේක දකිනවා. නමුත් පළිඟු මැණිකේ වගේ නිර්මාණයක් ගත්තාම ඒ මතය සම්පූර්ණයෙන්ම බොරුවෙනවා... චිත්‍රපටයකටත් වඩා මේ ටෙලිනාට්‍ය පුරාවටම සංඛේත භාවිතය ගොඩක් තිබුණා... ටෙලිනාට්‍ය පටන්ගන්නකොටම අපිට දකින්න තියෙන්නෙ වෙස්මුහුණු දෙකක දර්ශනයක්. ඒ රූපරාමුවෙන් මේ නාට්‍යයේ හරය සියුම්ව ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. සී.ද.ඇස්. කුලතිලකගේ සංගීතය ගැනත් නොකියම බෑ... හරිම ලස්සනට ගැමි ශාන්තිකර්මවල නාද රටා මුසුකරලා සිත්සතන් පිනායන සංගීතයක් නිර්මාණයට එකතු කරලා තිබුණා.

මේ නිර්මාණය ආනන්දගේ ජීවිත අත්දැකීමකට සමබන්ධයි කියලා ඔබට හිතෙනවාද?
අනිවාර්යයෙන්ම... කෙනෙකුගේ හොඳ නරක, යහපත අයහපත කාලෙන් කාලෙට එකිනෙකට විරුද්ධව ගැටෙනවනේ... අපි ඉපදෙච්ච දා ඉඳලා මිය යනකම්ම ඔය ගැටුමත් එක්ක තමයි අපි ජීවත්වෙන්නෙ... සාරධර්ම, සංස්කෘතිය, හැදියාව විනාශවෙන එක එදා මෙදාතුර ඉඳලා තියෙන සර්වකාලීන ප්‍රශ්නයක්නෙ. ඒ හේතුව නිසා මේ ටෙලිනාට්‍ය ලොකු කුඩා, ඕනම කෙනෙකුගේ පොදු ජීවිත අද්දැකීමක් විදියට දැනෙන නිර්මාණයක්. 

නිර්මාණයක් රසවිඳිද්දි ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි. ආනන්ද ඔබ ඔබේම කරගත්ත චරිතයක් ඉන්නවද?
මෙහෙමයි, මේ නාට්‍යයේ සියලුම චරිතවලට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. සියලුම රංගන ශිල්පීන් හරිම දක්ෂ ශිල්පීන්... ඒ අය සියයට දෙසීයක් ඒ චරිතවලට සාධාරණයක් කරනවා. ඒ ගැන තර්කයක් නෑ. මට තාම මතකයි ඒ අයගේ නම් පවා... ශ්‍රියන්ත මෙන්ඩිස් නිරූපණය කරන සූරසේනගේ චරිතය, මැණිකේ අත්තනායක නිරූපණය කරන පළිඟු මැණිකේ චරිතවලට අපි වහවැටිලා හිටියේ... ඒ  වගේම ජැක්සන් ඇන්තනි, සිරිල් වික්‍රමගේ, අනුර බණ්ඩාර රාජගුරු, රම්‍යා වණිගසේකර, සුනිල් හෙට්ටිආරච්චිගේ සුවිශේෂී රංගනයට අපේ නෙත් සිත් ඇද බැඳ තබාගන්න සමත් වෙනවා... ඒ සියලු චරිත අතර මගේ හදවත ස්පර්ශකරපු විශේෂම චරිතය තමයි මැණික්හාමි ගුරුන්නාන්සේගේ චරිතය...  මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ රෝහණ බැද්දගේ ශූරීන්... ඔහුගේ අවිහිංසක හැඟීම්බර අව්‍යාජ ගැමි කලාකරුවාගේ චරිතය, විවෘත ආර්ථිකය මැදිවී තමන්ගේ බිරිඳ පවා අහිමිවන තැනක මැදහත් සිතින් සියලු දේ දරාගන්නා ආකාරය, හරිම අපූරුයි. ඒ නිසා තමයි මැණික්හාමි ගුරුන්නාන්සේගේ රංගනය මට ගොඩක් දැණුනේ. 

මැණික්හාමි ගුරුන්නාන්සේගේ චරිතය වර්තමානයේ ආනන්ද අතුකෝරලට රඟපාන්න අවස්ථාව ලැබුණොත් කොහොමද?
මම ගොඩක් ආසාවෙන් ඒක බාරගන්නවා.... සමහර ඒකාංගික ටෙලිනාට්‍යවල ඊට සමාන චරිත මම කරලා තියෙනවා... හැබැයි ඒ රංගනය මට ආවේණික වෙනමම එකක් වේවි...

ආනන්දගේ සිත සංවේදී කරපු පළිඟු මැණිකේ ටෙලියේ තැනක් දෙකක් මතක් කරමුද...?
ඔව් ඒ වගේ තැනක් කීපයක්ම තියෙනවා... සාමාන්‍යයෙන් මැණික්හාමි ගුරුන්නාන්සේ කියන්නෙ හරිම තැන්පත් නිහඬ චරිතයක්. ඔහු ගොඩක් ආදරයෙන් තමයි ඔහු නිර්මාණය කරපු වෙස්මුහුණු ටික පරිස්සම් කරන්නෙ. විවෘත ආර්ථිකයේ ගොදුරක් වෙලා ගුරුන්නාන්සෙට හොරෙන් ඔහුගේ බිරිඳ විසින්ම කොළඹ ඉඳන් එන සූරසේනට වෙස් මුහුණු ටික විකුණනවා.  අවසානයේ බිරිඳත් ඔහුට අහිමිවෙන බව ඔහුට ඒත්තු යනවා. ඔහු දැඩි කම්පනයකට පත්වෙනවා... ඒ කම්පනය නිසාම මේ තැන්පත් නිහඬ පුද්ගලයා ආවේගශීලි පුද්ගලයෙක් බවට පත්වෙනවා... ඒ රූපරාමු ටික මගේ මතකයේ තාම රැඳිලා තියෙනවා...

පළිඟු මැණිකේ වගේ නිර්මාණ තුළින් සමාජය මොනවගේ බලපෑමක් කරන්න පුළුවන් කියලාද ඔබට හිතෙන්නේ..?
මෙහෙමයි කලා නිර්මාණයකින් විශාල සමාජ විපරියාසයක් කරන්න අමාරුයි... ඒත් යම්තාක් දුරට සාධනීය බලපෑමක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. රසවින්දනය කියන එක දියුණු කිරීමට හැකියාවක් තියෙනවා.. ඒ හරහා මිනිස්කම ගුණධර්ම වර්ධනය කරගැනීමට ඉඩක්, අවස්ථාවක් උදාකරගන්න පුළුවන්.  

මේ නාට්‍ය අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට ආවේ.. ?
මෙහෙමයි මේ නිර්මාණයේ අවසානයේ මට දැනුණේ හොඳ නිර්මාණයක් නරඹපුවාම ලැබෙන තෘප්තිමත්භාවය තමයි...
එහෙම තමයි ආනන්ද කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet