2019 මාර්තු 02 වන සෙනසුරාදා

සිරි යහනේ කෙරුවාවන් බලා ඉන්න රස්සාවක්!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

හයවෙනි හෙන්රි කියන්නේ පහළොස් වැනි සියවසේ එංගලන්තේ හිටි රජ කෙනෙක්. වයස මාස නමයක් වෙද්දි රජ බවට පත්වෙච්චි හයවෙනි හෙන්රි ගැන හරිම අපූරු විස්තරයක් එංගලන්තයේම සඟරා වෙබ් අඩවියක් වන ඩේලි මේල් පහුගියදා පළ කරලා තිබුණා. රජවරුන්ගේ සිරි යහන් ගබඩාවේ අතිශය රහසිගත විස්තරයක් සහිත මේ ලිපියේ වැඩිම තැනක් හිමිවෙලා තිබුණේ හයවැනි හෙන්රිටයි. 

ඒ ලිපියේ සඳහන් වෙන ආකාරයට අතීතයේදී බ්‍රිතාන්‍ය රජවරු තමන්ගේ සිරි යහන් ගබඩාවේ ගත කරන කාලය කිසිම විදිහටකට පෞද්ගලික කාරණයක් බවට පත්වෙලා නැහැ. අලුතින් විවාපත් රජවරු සහ රැජනියන්ගේ මංගල රාත්‍රියේදී ඔවුන් සමඟ විශේෂ පිරිසක් සිරි යහන් ගබඩාවේ කාලය ගත කරනවා. 

සිරි යහන් උත්සවය විදිහට නම් කරන මේ රාත්‍රියේදී රැජනගේ වස්ත්‍ර උනා දැමීම සිද්ධ කරන්නේ ඇගේ පරිවාර සේවිකාවන්. වස්ත්‍ර උනා දමා සිටින රුජන හමුවට රජු පැමිණෙන්නේ  පූජකයන්, සංගීතඥයන් හා වාදකයන් පිරිවරා ගත් පෙරහරකිනුයි.
ඉන් අනතුරුව දෙදෙනා මුණගැසුණු පසුත් ඔවුන් දෙදෙනා සිරි යහනේදී කරන ක්‍රියාකාරකම් පිළිබඳ මේ සේවක පිරිස අවධානයෙන් පසුවෙනවා. ඊට පස්සේ පසුදා රජ වාසල හමුවීමේදී මංගල රාත්‍රියට අදාළ කටයුතු පිළිබඳ විස්තරයක් සැපයීම ඔවුන්ට භාරවෙනවා. ඒ නිසා රජුගේ සහ රුජනගේ සිරියහන් ගබඩා අත්දැකීම් පෞද්ගලික දෙයක් වෙනුවට රජවාසලේ නිල කටයුත්තක් බවට පත්වෙනවා.

හයවැනි හෙන්රි කියන්නේ මේ පසුබිම වැඩියෙන්ම අත් විඳි රජු කිව්වොත් වැරදි නැහැ. වයස අවුරැදු 24දී ඔහු විවාහ වන්නේ මාග්‍රට් කුමරියටයි. නමුත් විවාහයෙන් අවුරුදු අටක් ගියත් හයවැනි හෙන්රිට දරුවෙකු ලැබුණේ නැහැ. මේ නිසා ඔහුගෙන් පස්සේ රාජ්‍ය උරුමය හිමිවන්නේ කාටද කියලා රජ වාසල තුළ ලොකු කතාබහක් ඇතිවුණා. 

මේ තත්ත්වය උඩ අවුරුදු අටක් පුරාවට හෙන්රිගේ සිරි යහන් ගබඩාවේ පරිවාර සේවකයින් වගේම උපදේශකයෙකුත් සිටි බවට එංගලන්ත ඉතිහාසඥයන් අනාවරණය කරගෙන තිබෙනවා. කොහොම නමුත් උපදේශ හරි ගොස් හෙන්රිට දාව මාග්‍රට් රැජනට දරුවෙකු ලැබුණු බව සඳහන්. නමුත් ලැන්කැස්ටර්හි එඩ්වඩ් නම් මේ කුමරුවා රජකමට පත්වීමට ප්‍රථම යුද්ධයකදී මිය ගොස් තිබෙනවා.

හයවැනි හෙන්රිගේ ජීවිත කතාව ඇතුළත් The Hollow Crown නම් හොලිවුඩ් නිර්මාණයේත් මේ විස්තර ඇතුළත්. කොහොම වුණත් එංගලන්ත රජවරුන්ට වගේම ප්‍රංශයේ සහ රෝමයේ සමහර රජවරුන්ටත් මේ හා සමාන අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.  

 

► Text - Suranga