2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

වික්ටර්ව පුදුම කළ 77 සාදය

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

වික්ටර් රත්නායකයන්ගේ හැත්තෑ හත්වැනි උපන් දිනය පෙබරවාරි දහඅට වැනි සඳුදාට යෙදී තිබුණා. එදින රාජගිරිය වික්ටෝරියා නිවාසයේ වෙසෙන සුවකළ නොහැකි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන් දෙසීය ගණනකට දහවල් ආහාරය ලබාදී වික්ටර් රත්නායකයන් තම උපන් දිනය සැමරුවා.

හැබැයි ඉතින් වික්ටර් තමන්ගේ උපන් දිනය එහෙම සමරලා අවසන් කරන්න හිතුවට වික්ටර්ගේ බිරිඳ හෂිනි ඇතුළු තවත් කිහිපදෙනෙක් සති ගාණක් තිස්සේ අපූරු උත්සවයකට ලකලෑස්ති වුණා. දන්න කියන තේරෙන වචනයෙන් කියනවා නම් වික්ටර් රත්නායකයන්ව පුදුම කරන “සප්‍රයිස් පාටියක් මේ කට්ටිය සූදානම් කළා. ඔන්න ඉතින් ඒ ස්ප්‍රයිස් පාටියට “හදසර අපිටත් ආරාධනාවක් ලැබුණු නිසා අපිත් ඔන්න තලවතුගොඩ Grand Monarch හෝටලයට ගොඩවැදුණා. 

අපි යද්දීනම් වෙලාව හයයි තිස්පහයි. ඒ වෙද්දී හෝටලයට වික්ටර් වගේම හෂිනිත් ඇවිත් හිටියේ නැහැ. හැබැයි උත්සවය මෙහෙය වීමේ කටයුත්ත බාර අරගෙන තිබුණේ අපි දන්න කියන කෙනෙක්ම තමයි. ඒ අමිත්ත වීරසිංහ, ඒ වගේම මනෝජ් පීරිස් ඇතුළු සංගීත කණ්ඩායම හෙමී හෙමීට පෙර සූදානම් එහෙමත් කළා. රෝස මල්වලින් සරසලා රතුපාට ඉටිපන්දම්වලින් ලස්සන කරලා තිබුණු ශාලාවට ඔන්න ඉතින් අපි දන්න කියන කලාකරුවන් කලාකාරියන් එන්න පටන් ගත්තා. සමිතා, කාවිද්‍යා හරි ලස්සනට හැඩවෙලා අර අපූරු හිනාවත් එක්ක ශාලාවට ආවා. විනාඩියෙන් විනාඩිය ශාලාවට අපේ ආදරණීය කලාකරුවන් කලාකාරියන් ඇවිත් අසුන් ගත්තත් අවශ්‍යම කරන කෙනා නම් ඒ වෙනකොට ඇවිත් හිටියේ නැහැ. ඒ තමා උපන් දිනයේ අයිතිකාරයා.

ඔය අතරේ තවත් කිහිපදෙනෙක්ට අපූරු රාජකාරියක් පැවරිලා තිබුණා. ඒ ප්‍රධාන දොරටුව අසල ඉඳගෙන අමුත්තා එනතුරු බලාසිටීමයි. ටික වේලාවකින් ශාලාව මේසවල තිබුණු රතුපාට ඉටිපන්දම්වලින් ආලෝකමත් වුණා. ඒ නිසාම සියලුම විදුලි බුබුළු නිවුණා. අමිත්තයි, සඳමාලියි වේදිකාවට ගොඩවැදිලා උත්සවය මෙහෙයවන්නට සූදානම් වුණා.
වික්ටර් ශාලාවට පිවිසීමේ මොහොත උදාවුණා. වික්ටර් එක්ක හෂිනිත් උත්සව ශාලාවට ගොඩවැදුණා. ඇත්තටම මෙය සප්‍රයිස් පාටියක්ම තමයි. ඒ වෙනතුරු වික්ටර් මෙය තමන්ගේ උපන් දින උත්සවය බව දැනසිටියේ නැහැ. එක්තරා පෞද්ගලික ආයනතයක තෑගි ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් තමා වික්ටර්ව අමිත්තත් සඳමාලිත් පිළිගත්තේ. ඒ වනතුරු ශාලාව අන්ධකාරව තිබූ නිසාම තමන් අසල සිටින කෙනාව පවා හඳුනාගන්නවත් වික්ටර්ට බැරි වුණා. ආයතනය මගින් කළ උපන් දින සුභ පැතුම වික්ටර්ට අමිත්ත පැවසුවා.

“අපි එහෙම නම් දැන් මේ ශාලාවේ විදුලි ආලෝකය ටිකක් දල්වමුද...
අමිත්තගේ ඉල්ලීමත් සමඟම මුළු ශාලාවම ආලෝකමත් වුණා.

“වික්ටර් රත්නායකයාණෙනී... මේ ඔබේ උපන් දින උත්සවයි... ඔබේ ජීවිතයට සමීප සහෘදයන්ගෙන් මේ ශාලාව පිරිලා තියෙන්නේ.
අමිත්තගේත් සඳමාලිගේත් නිවේදනයෙන් වික්ටර් රත්නායකයන් මුළු ශාලාව සිසාරා බැලුවා. ඒ මුහුණේ ඇඳුණු අපූරු හිනාව... සැබැවින්ම එය වික්ටර් රත්නායකයන්ට අපූරු ස්ප්‍රයිස් පාටියක් වුණා. හැමෝම ඇවිත් වික්ටර්ට සුභ පැතුවා.
ඔන්න ඉතින් ඊළඟට සිදුවුණේ වික්ටර්ව තවත් පුදුම කරන අපූරු අංගයක් තමයි. බන්දුල නානායක්කාරවසම් ලියූ සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂණය කළ “වික්ටර් උපහාර* ගීත. ශාලාවේ තිබූ පුළුල් තිරයෙන් නරඹන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ අපූරැ ගීතයට කීර්ති, සුනිල්, දිවුල්ගනේ, රූකාන්ත, චන්ද්‍රලේඛා, සමිතා, නලින්, උරේෂා, දීපිකා, නිරෝෂා, නෙලූ, නිර්මලා, ජගත්, ප්‍රදීපා, එඩ්වඩ්, චරිතා, කසුන් ඇතුළු බොහෝ පිරිසක් ගීතයෙන් දායක වෙලා තිබුණා. සැබැවින්ම ඒ උපහාර ගීතය පුළුල් තිරයෙන් ප්‍රචාරය වෙද්දී වික්ටර් රත්නායකයන් හරි අපූරැවට එය රසවින්දා. ගීතයට සම්බන්ධ වුණු හැමෝම උත්සවයටත් පැමිණ සිටියා.

ඔය අතරේ ඉතින් මුළු ශාලාවම රස වින්ඳනයක්ම තමයි. වික්ටර් රත්නායකයන් අසලට යන කලාකරුවන් කලාකාරියන් වරින් වර ඔහුට සුභ පැතුවා. ඔය අතරේ සමහරුන්ට හරි හරියට වැඩ. සෙල්ෆිවලින් ඡායාරූප ගන්නත් මේ අය අමතක කළේ නැහැ. සමිතයි, නිරෝෂයි, කීර්තියි, ලක්ෂ්මන්, ජානක, ආනන්ද සිනා සාගරයේ කිමිදිලා. ආගිය තොරතුරු වැහිවැහැලා. ඉඳහිට කාගේ හරි අතේ තියන ජංගම දුරකතනයකින් ෆොටෝ එකක් ගන්නවා හැර සමහරුන්ට නම් ෆෝන් එක පවා අමතකයි. හැබැයි ඉතින් වර්තමානයේ ඉන්න තරුණ පරපුරේ බොහෝ දෙනාගේ වැඩේම ෆෝන් එක ඔබන එක මිසක් මොන කතාද... ඒ අතින්නම් සමිතලාගේ පරපුරේ අය අද කාලේ තරුණ පරපුරට වඩා ඉන්නේ ගොඩාක් ඉස්සරහින්. රවින්ද්‍ර රන්දෙණිය, ප්‍රීති රන්දෙණිය, ප්‍රේම් දිසානායක, ගීතනාත් කුඩලිගම, සිසිර විජේතුංග, සමන් ආතාවුද හෙට්ටි, නිරංජලා සරෝජණී, සොමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා, වසන්ත රෝහණ, බුද්ධදාස ගලප්පත්ති, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, සරත්චන්ද්‍ර වන්නිආරච්චි, අනුර හේමචන්ද්‍ර ඇතුළු බොහෝ ගීත රචකයන්, සංගීත අධ්‍යක්ෂකවරැන් මෙන්ම ව්‍යාපාරිකයන් ද මෙම අපූරු සැන්දෑවට පැමිණ සිටියා.

සැබැවින්ම එය හරි අපූරු සැන්දෑවක්. වික්ටර් රත්නායකයන් ශාලාව පුරා ඇවිද යමින් සැවොමත් එක්ක සුහඳ කතාබහක නිරත වුණා. ඇතැමුන් සෙල්ෆි ගනිද්දී තවත් පිරිසක් ආගිය තොරතුරැ කතාබහ කරමින් ඒ සැන්දෑව තවත් රසවත් කළා. මනෝජ් පීරිස්ගේ සුමිහිරු සංගීතයට මේ අපේ කලාකරුවන් කලාකාරියන් ගී ගයා මේ සැදෑව ආලෝකමත් කරද්දී ඇතැමුන් පුංචි මධුවිතක් තොලගාමින් වික්ටර් රත්නායකයන්ගේ උපන් දින සාදය සැමරුවා.
සතියක් ඉක්ම ගියත් කම්නෑ ඉතින්

හදවතින්මයි කියන්නෙ අපි
වික්ටර් සුබ උපන් දිනයක්!

 

► Text - Dishani  /   Pic- Sumudu