2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ඇතුවත් බෑ..... නැතුවත් බෑ..... ජම්බෝ

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

දෙවැනි ලෝක යුද සමයේදී අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ප්‍රහාරක ජෙට් යානා පදවපු ජැක් වැඩල් 1969 පෙබරවාරි මාසේ 9 වැනිදා නැවතත් ගුවන් නියමු කුටියක වාඩිවුණේ දෙවැනි ලෝක යුද්ධයේදී මුහුණදුන්නාටත් වඩා වැඩි බරක්, අභියෝගයක්, හිස මත තියාගෙනයි. ලෝක යුද්ධයෙදී ජැක් තවත් එක ගුවන් නියමුවෙක් විතරයි. ඒත් මෙදා ඔහු දිහා මුළු ලෝකයක් බලාගෙන හිටියා. ඒ තමයි ලෝකයේ ගුවන් ගමන් උඩු යටිකුරු කරපු ජම්බො ජෙට් යානය හෙවත් බොයින් 747 යානයේ මංගල ගමන.

ඩෙක් දෙකකින් යුක්ත එකවර මගීන් 600ක් පමණ ගෙන යා හැකි ජම්බෝ ජෙට් යානය ඉපදිලා මේ වසරේ පෙබරවාරි මාසයට හරියටම අවුරුදු පනහයි. ඉතින් මේ ගෙවුණු අවුරුදු පනහ ගැන වගේම ජම්බෝ ජෙට්ගේ අනාගතය ගැනත් කතා බොහෝමයි.


කලින් කිව්වා වගේ එකවර මගීන් 800ක් ගෙන යා හැකි නිසා ගුවන් ගමන්වල මිල අඩුවීමටත් මේ ජම්බෝ ජෙට් යානය ලොකු බලපෑමක් කළා. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන සේවාව අතිනුත් වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්වන්න ජම්බෝ ජෙට්ට හැකිවුණා.
ජම්බෝ ජෙට් ඉපදෙද්දී බොයින් සමාගම සතුව තමයි ලෝකයේ විශාලතම කර්මාන්තශාලාව පිහිටා තිබුණේ. ඒකෙ එදා වටිනාකම ඩොලර් මිලියන 200 ක්. ඒ මුදල අද වටිනාකම අනුව බැලුවම ඩොලර් බිලියන 1.3ක් විතර.
බොයින් සමාගම තමන්ගේ මේ විස්මිත අහස් යන්තරේ නිෂ්පාදනය කරලා එළියට දාන්නත් කලින් පෑන් අමෙරිකා ගුවන් සේවය ජම්බෝ ජෙට් 25ක් මිලදී ගන්නා ගිවිසුම් අත්සන් කළා. ඒ වෙනකොටත් බොයින් සමාගම හිටියේ තද ණය අර්බුදයකින් පෙළමිනුයි. 1969 වෙද්දී බොයින් සමාගමේ තිබුණු ණය බර ඩොලර් බිලියන දෙකක්. අද වටිනාකම අනුව ඩොලර් බිලියන 14ක් විතර. ඒ වගේ පසුබිමක ජම්බෝ ජෙට් ගුවන් යානය අසාර්ථක ව්‍යාපෘතියක් වුණානම් අද වෙද්දී අපිට කතා කරන්න ජම්බෝ ජෙට් යානයක් විතරක් නෙමෙයි, බොයින් කියලා සමාගමකුත් ලෝකෙ නෑ.

කොහොම නමුත් ජැක් ගුවන් යානය පණගන්වලා තත්ත්පර කිහිපයක් ගතවෙද්දී ජම්බෝ ජෙට් පැයට කිලෝමීටර 150ක විතර වේගයෙන් ධාවන පථය දිගේ ගමන් කරන්න පටන් ගත්තා. තවත් මොහොතකින් උල් හැඩය ගත් යානයේ ඉදිරිපස ඉහළට එසවෙමින් ජම්බෝ ජෙට් තමන්ගේ පියාසැරිය ආරම්භ කළා. එදා ඒ ඉහළට එසවුණු ගුවන් යානය නිසා ගුවන් ගමන් වියදම් අඩු වුණා වගේම ගුවන් යානය තුළට සුඛෝපභෝගීත්වයකුත් එකතු වුණා. වැඩි ඉඩකඩක්, වැඩි සේවාවක්, ගුවන් මගීන්ට පිරිනමන්නත් ජම්බෝ ජෙට්ට හැකිවුණා.

එදා සිට අද දක්වා ගෙවුණු අවුරුදු පනහ ඇතුළත ලොව පුරා ගුවන් මගීන් බිලියන 3.5ක් එහා මෙහා ගෙන යාමට ජම්බෝ ජෙට් සමත්වෙලා තියෙනවා. භාණ්ඩ ප්‍රවාහනය අතින් බැලුවත් ටොන් බිලියන ගණනක්.
හැබැයි මේ වෙද්දී ටිකෙන් ටික ජම්බෝ ජෙට් අපෙන් ඈත්වෙන්න පටන් අරන්. 1969 සිට ජම්බෝ ජෙට් යානා 1600ක් පමණ නිර්මාණය වුණත් දැන්  භාවිත වෙන්නේ ඉන් 500ක් පමණයි. ජම්බෝ ජෙට් වැඩිපුරම භාවිත කරන ගුවන් සේවය වන බ්‍රිටිෂ් එයාවේස් භාවිත කරන ජම්බෝ ජෙට් සංඛ්‍යාව 34 ක්. නමුත් තවත් ජම්බෝ ජෙට් යානා 36ක් ඔවුන්ගේ ගබඩාව තුළ තිබෙනවා. හැබැයි 2024 වෙද්දී ජම්බෝ ජෙට් භාවිතය අත්හරින්න ඔවුන් තීරණය කරලා.

බ්‍රිටිෂ් එයාවේස් ඇතුළු ලෝකයේ ගොඩක් ගුවන් සේවා ජම්බෝ ජෙට් අත්හරින්න හේතුවෙලා තියෙන්නේ ජම්බෝ ජෙට් වෙනුවෙන් ගුවන් තොටුපොළකදී ගෙවන්න සිදුවෙන බදු මුදල ඉතා අධික වීමයි. එන්ජින් හතරක් සහිත ජම්බෝ ජෙට් යානයකට ලන්ඩන් හීත_ ගුවන් තොටුපොළට ගොඩබෑමේදී යුරෝ 4,000ක පරිසර බද්දක් ගෙවිය යුතුයි. හැබැයි එන්ජින් දෙකේ බොයින් 787 යානයක් බැස්සවීමේදී පැණවෙන්නෙ, යුරෝ 1,000ක බද්දක් විතරයි. ඒ නිසා මගීන් 300ක් බැගින් ගෙන යා හැකි 787 යානා දෙකක් පියාසර කරවන එක ජම්බෝ ජෙට් යානයක් පියාසර කරවනවාට වඩා ගුවන් සමාගම්වලට ලාභයි.

ඒත් ඉතින් අන්තිම ජම්බෝ ජෙට් යානය ගුවනින් සමුගන්නා දවසට ඇගේ සමුගැන්ම වෙනුවෙන් දුක්වන බොහෝමයක් දෙනෙකු සිටිනු ඇති බවටනම් සැකයක් නැහැ.

ඩේලිමේල් ඇසුරෙන් 

Text - Suranga