2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

වලි-ජොලි මැද සංගීතේ...

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 188

Musical Shows කියන්නේ Bro පැරැණි Y Trend එකක්. කොච්චර අලුත් Trend ආවත් Musical එකක් බලන්න යනවා වගේ ආතල් එකක් නෑ, දන්නෝ දනිති. ඩාන්ස් පාරක් දාලා හූවක් කියලා පාන්දර ගෙදර ඇවිල්ලා ගෙදරට චා වෙලා ගන්න ෆන් එක ඔය අලුත් පාන් වාටී වගේ බුකී පාටිවල කොහෙද සුදෝ. මේක අහිංසක ආතල් එකක්.

අම්මා තාත්තලාගේ කාලේ ඉඳන් තාමත් තියෙන සංගීත සංදර්ශන කලාව ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑනේ නේ? සුදා. සන්ෆ්ලවර්ස්, ෆ්ලෑෂ්බෑක් වගේ සංගීත කණ්ඩායම් ඒ කාලේ ඉඳන් ඔය තාමත් තියෙන්නේ. ගමේ ටවුමේ කොල්ලෝ සෙට් එක, ව්‍යාපාරිකයෝ සෙට් එක එකතුවෙලා තමයි මේවා සංවිධානය කරන්නේ. ඇත්තටම මේකේ හොඳම සීන් එක කියන්නේ ලාභයක් බලාගෙන නෙවෙයි ගොඩක් වෙලාවට  සංගීත සංදර්ශන සංවිධානය වෙන්නේ, ආතල් එකට. 

අපි මුලින්ම බලමු කොහොමද සංගීතයක් සංවිධානය කරන්නේ කියලා. අදහස පහළ වුණා කියමුකෝ බ්‍රෝ. ඒ වුණාට හරි Show එකක් සංවිධානය කරන්න ලක්ෂ හතරක් පහක් යනවා. බෑන්ඩ් එකටම ලක්ෂ දෙකක් විතර ඕන. ස්ටේජ් එකට, හැට හැත්තෑවල ගායකයන්ට වෙනම දෙන්න ඕන, Lightning, ඇඩ්වර්ටයිසින්, තව සෑහෙන්න වියදම්. ඔන්න මේ ටික බලලා බජට් එකක් හදාගෙන set එක යනවා සල්ලි එකතු කරන්න. තද පොරවල් ළඟට තමා යන්නේ. දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ වගේ අයගෙන් තමා දත ගලවන්නේ. ලංකාවේ දේශපාලනය එක්ක ඔය සංගීත සංදර්ශන පට්ට විදිහට සෙට්වෙලා තියෙන්නේ. අනිවාර්යය එක සංගීතයකට එක ලොක්කෙක් සෙට් වෙනවාමයි. එහෙම පොරක් සෙට් වුණාම ඒ පොරගෙන් ලොකුවට ගලවාගන්න පුළුවන්. ඒක වෙනම කතා කරන්න ඕන දේශපාලන හා සංගීත සංදර්ශන කියලා මා පුතී.

සංගීතවලට ස්පොන්ස් කරන එකේ අමුතු  සීන් එකකුත් තියෙනවා. ඔය ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරික කටයුතුවලට මහ ලොකුවට ප්‍රචාරණයක් ලැබෙන්නේ නෑ. තමන්ගේ නම මහා ලොකුවට මහා හයියෙන් මිනිස්සු ඉස්සරහ කියවෙනවාට මෙයාලා ආසයි. ඒක සමාජ තත්ත්වයට හොඳයි. පොරක් වෙනවානෙ එතකොට. අනික තව පොරක් එහෙම දෙනකොට දෙවැනි වෙන්න බෑ. ලොකු සීන් එක තමා. 

හොඳ  බෑන්ඩ් එකකින් දිනයක් ගන්න එකනම් ටිකක් අමාරුයි. මාස දෙක තුනකට කලින්, නැත්නම් සමහර වෙලාවට අවුරුද්දකට කලින් දින ගන්න ඕන. ගායකයන්ටත් කලින් කියන්න ඕන. ගායකයෝ සංගීත කණ්ඩායම් සම්බන්ධීකරණය කරන ඩයල් ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. එයාලට කොමිෂන් එකක් තියෙනවා වැඩෙන්. ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්නේ නිවේදකයා. පොරටනේ ඉතින් ඔක්කොම Contact තියෙන්නෙ. ඔන්න ඔය වගේ සීන් ටිකක් තමයි Musical එකක් සංවිධානය වෙනකොට වෙන්නේ. තව දේවල් තියෙනවා. ඒවා කියන්න ගියොත් ලයින් එක අවුල් යනවා බ්‍රෝ.

සංගීතෙකට යන්න කොල්ලෝ සෙට්වෙන්නේ බැනර් එකක් දැකලා. නැත්නම් ආරංචියකට. අන්න මචං සහරා ෆ්ලෑෂ් ගහනවාලු ඉස්කෝලේ පිට්ටනියේ. සෙට්වෙලා යමන් ආ...
එහෙම ටෝක් දුන්නට එළිවෙනකම් ගෙදරින් එළියට පැනලා ඉන්නවා කියන්නේ පට්ට ගේමක්. ගෙදර අයට පට්ට බොරු කියන්න ඕන මේ වෙලාවට. අපේ රටේ කොල්ලෝ සංගීතයක් බලන්න යන්නේ සෙට් පිටින්. තනි තනියෙන් යන අය අඩුයි. හීනියට තාලයක් දාලා මේ වගේ රෑ ගමන් යන එක අද සාමාන්‍ය දෙයක් වෙලා. කොල්ලෝ එහෙම ආවට සමහර අය පවුල් පිටින් එනවා මියුසිකල් බලන්න. එතකොට තමා කෙල්ලෝ මේවට බහින්නේ.  ඩාන්ස්  පාරක්  දාන කෙල්ලෝ දැකලා ඇතිනේ ඔය මියුසිකල්වල. එයාලා එන්නේ පවුලේ අය එක්ක. නැත්නම් හබීලා බොයිස්ලා එක්ක.

වලි කියන්නේ මේ මියුසිකල් සීන් එකේ අනිවාර්යය අංගයක්. සෙට් සෙට් බහින කොල්ලෝ පරණ ඇරියස් අල්ලාගෙන වලි දාගන්නවා. ඇඟේ හැපිලා කෑලි බලලා චාටර්වෙලා වලි යනවා. 

අඩෝ උඹ මොකෝ  ඇඟේ හැපෙන්නේ ගේමද?
ඇයි ඩෝ ගේමනම් ගේම..

ඔන්න වලිය පටන් ගන්නවා. හෙල්මට් තමා ගොඩක් වෙලාවට මෙයාලගේ ආයුධය. හැබැයි පුතෝ පොලිස් මාමා ඉන්නවා සීන් එකේ. වලිය කාගේ වුණත් අවට ඉන්න ඔක්කෝටම නෙලනවා එයාලා. විසිර යං පුතේ දුවපන්... තව දෙයක්.. වලි වෙලාවට බෑන්ඩ් එකේ අය, නිවේදකයා වලි දාගන්න එපා කියලා කියනවා. ඒත් ප්‍රතිඵලයක් නෑ. සමහර වෙලාවට ෂෝ එක නවත්වන්න වෙනවා. මේ වලිවලදී තරුණ ජීවිත නැතිවෙලා තියෙනවා.  මධුවිත තමා මේ දේවල් පිටිපස්සේ ඉන්න මාරයා. කට්ටිය චණ්ඩියා බඩට ආවම පාතල ලයින් දානවා නේ. 

මහා ලොකු සංස්කෘතියක් මේ සංගීත සංදර්ශන කලාව. දැන් සීන් එකට මොඩර්න් දේවල් එකතුවෙලා. විඩියෝ ටීම්, ඒ කියන්නේ මෑත කාලීනව එකතු වුණු දෙයක්. ඔය බස්වල TV එකේ දාලා තියෙන්නේ මේ වගේ මියුසිකල්. මේ subject එකට ඇඩිට් වෙච්ච කොල්ලෝ දැන් අඩුයි. ඒත් නැත්තේම නෑ. සංගීත කණ්ඩායම් ගැන ප්ලේයර්ස්ලා ගැන මාර දැනුමක් ඒ වගේ අයට තියෙන්නේ. දැන් කොල්ලෝ මේ වගේ මියුසිකල්වලට වඩා බුකී පාටි, බීච් පාටි වගේ ඒවාට තමා කැමති. ඒත් මේවත් බලන්න යනවා. සංගීත සංදර්ශන කියන්නේ අදත් Y Trend එකක් බ්‍රෝ. 

ටිකට්වලට කරන මියුසිකලුත් තියෙනවා. හොඳ ආරක්ෂාවක් යටතේ වලි බලි නැතිව කරන ඒවත් තියෙනවා. කොහොම වුණත් තාරුණ්‍යයේ රාත්‍රී සංස්කෘතියේ ආතල්ම අංගයක් තමා සංගීත සංදර්ශන කියන්නේ. තව කොච්චර කාලයක් මේ ට්‍රෙන්ඩ් එක තියෙයිද දන්නේ නෑ. ඉතින් ඕක තමා අද කතාව. හොඳ හූවක් දෙන්න බලන්න...

තද තද බ්‍රෝ...! 

► Text - Nisal   /   Pic – Internet