2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

රුක්මණී දේවිට ගහන්න බෑ කියලා මම හයියෙන් ඇඬුවා

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 182

අපි  ඔබේ ළමා කාලයත් එක්ක මේ කතාබහ පටන් ගත්තොත්?
ඔව්. මගේ ළමා කාලයේදී මම හරිම සුන්දරව හිටපු කෙනෙක්. මගේ පවුලේ හිටියේ මගේ අම්මයි, තාත්තායි, අයියයි, අක්කලා දෙන්නයි මායි විතරයි. මම තමයි පවුලේ බඩපිස්සි. මම එහෙම දඟ නැහැ. හැබැයි හරිම කෙළිලොල්. කොයි වෙලෙත් සින්දු කිව්වා. අපි හැදුණේ වැඩුණේ කොටහේනේ. පුංචි කාලෙදි කුවුරුහරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවත් මම සින්දුවකින් තමයි උත්තර දුන්නේ. බොහොස්ම සැහැල්ලුවෙන්, නිදහසේ ගතකරපු ලමා කාලයක් මට තිබුණා. මගේ අම්මටත් හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. තාත්තාත් ඉස්කෝලෙ යන කාලෙදි සින්දු කියලා තිබුණා. ඒ නිසා වෙන්න ඇති මටත් සින්දු ගායනා කිරීමේ පොඩි හැකියාවක් තිබුණා. සින්දු කියන ගමන් ඒ  තාලෙට  මම නැටුම් නැටුවා.

ලියෝනි ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?
මම ඉගෙන ගත්තේ කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙයි. මම ළදරු පාසල්නම් ගියේ නැහැ. මම පුංචි කාලේ ඉගෙනගන්න හරි කම්මැලියි. අඬන නිසා මාව ළදරු පාසලකට දාලා තිබුණේ නැහැ. පාසලේදී කන්‍යා සොහොයුරියන් තමයි පාසැල පාලනය කළේ. ඒ නිසා සිස්ටර්ස්ලට අපි බය වුණා. අපිට ගොඩක් නීති රීති තිබුණා. පුංචි කාලෙදි අපි පාසලේදී සෙල්ලම් කළේ නැහැ. හැමවෙලේම මුල්තැන දුන්නේ ඉගෙනීමට  තමයි. වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අපි පුරුදු වුණේ අපේ පාසලෙනුයි. අටට ඉස්කෝලෙ පටන් ගනිද්දී අටට දහයක් තියෙද්දි අපි හැමෝම ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉන්න ඕනේ. බෙල් තුනක් ගැහුවට පස්සෙ තමයි අපිව ඉස්කෝලෙ ඇතුළට ගන්නේ. අට පහුවුණාට පස්සේ ආයෙ කාවවත් ඉස්කෝලෙට ගන්නේ නැහැ. ඒ වගේ නීති රීතිවලට යටත්ව තමයි අපි ඉගෙන ගත්තේ. අදටත් අපි වෙලාවට වැඩ කරන්න හුරු වෙලා තියෙන්නේ ඒ පාසලෙන් ඉගෙනගත්තු දේ නිසා තමයි.

පාසලේදී කලා කටයුතුවලට නැඹුරු වුණේ නැද්ද?
කලාව කියන දේ එහෙමම අපි දැනගෙන හිටියේ නැහැ. හැබැයි දෙවැනි ශ්‍රේණියෙ ඉඳිද්දි මගේ පන්ති භාර ගුරුතුමිය පාසලේ තිබුණ ප්‍රසංගයකට මටයි මගේ යාළුවෝ දෙන්නෙකුටයි නැටුමක් ඉගැන්වුවා. ඒ සී. ටී. ප්‍රනාන්දු මහතාගේ සුවඳ රෝස මල් නෙලා කියන ගීතයටයි. ඒ ප්‍රසංගයේදී අපේ නැටුමට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ප්‍රසංගය අවසානයේදී ඉස්කෝලෙ හිටපු අක්කලා අපිව හරියට අගේ කළා. ඒ අවුරුද්දෙම මගේ තාත්තාගේ බාල මල්ලි වුණ ස්ටැන්ලි වීරසිංහ එවකට තිබුණ රේඩියොන් සිලෝන් එකේ හිටපු කරුණාරත්න අබේසේකර මහතාට මාව හඳුන්වලා දුන්නා. ඒකෙදි රේඩියෝ සිලෝන් එකේ ප්‍රචාරය වුණු ළමා උයන වැඩසටහනට මටයි අක්කලා දෙන්නටයි සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා කලා ජීවිතේ මගේ මූලාරම්භය පටන්ගන්නේ රේඩියෝ සිලෝන එකේ ළමා උයන වැඩසටහනෙනුයි. ඒකෙදි අපි ගීත ගායනා කළා. ඊට අමතරව මාව පුංචි පුංචි නාට්‍යවල හඬ කවන්නත් තෝරා ගත්තා.

ඒ දේවල්වලට සම්බන්ධ වෙනවට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ තාත්තා මම මේවාට යනවට කැමති වුණා. ඒ නිසා තාත්තා කිව්වේ රේඩියෝ සිලෝන් විතරක් නෙමෙයි ඉගෙන ගන්නත් ඕනෙ කියලා. ඒක මට මහ කරදරයක් වුණා. ඉස්කෝලෙ යන්න ඕනේ. ඉස්කෝලෙන් පස්සේ ආයෙත් රේඩියෝ සිලෝන් යන්න ඕනේ. මේ නිසා තිබුණ නිදහස නැතිව ගියා. ඒ නිසා මම යන්න බැහැ කිව්වා. හැබැයි මගේ තාත්තා කිව්වෙම යන්න කියලයි. අනේ මගේ හොඳ කෙල්ලනේ.. ඒ නිසා හොඳට ඉගෙනගන්න ගමන් ඒවාටත් යන්න. ඔයා හොඳ රැකියාවක් කරන්නත් ඕනෙනේ කියලා මට කිව්වා. ඒ වුණාට මට ඉගෙනගන්න එක හරි කම්මැලියි. අධ්‍යාපනයයි, රේඩියෝ සිලෝන් එකට යන එකයි මට වදයක් වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද? මාත් ඉතින් ඒකත් කරගෙන ගියා.

ලියෝනි ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ කොහොමද?
මාව ප්‍රසිද්ධ වේදිකාවට තෝරගත්තේ පී. ඩී. එල්. පෙරේරා මහත්තයායි. ඔහුගේ අයියයි මගේ තාත්තයි හොඳ යාළුවෝ. ඉතින් දවසක් එයාලගේ එක නාට්‍යයක නර්තනයකට ගෑනු ළමයෙක් හොයමින් ඉඳලා තියෙනවා. ඒ වෙලාවෙදී අපේ තාත්තාට පුළුවන්නම් පුංචි කෙල්ලව අරගෙන එන්න කියලා. එක දවසක් මම ඉස්ලෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ තාත්තා මාව එයාලගේ ගෙදරට අරගෙන ගියා. පී. ඩී. එල්. පෙරේරා අයියා ආ..... දැන් ඔයා දන්න නැටුමක් නටන්නකෝ කියලා මට රේඩියෝ එකේ සින්දුවක් දාලා දුන්නා. දන්න නැටුමක් නටන්න මම නැටුම් ඉගෙනගෙන තිබුණෙත් නැහැ. හැබැයි මම දන්න තරමට ඒ සින්දුවට නැටුවා. එතනදී එයාලගේ නාට්‍යයේ නර්තනයක් ඉදිරිපත් කරන්න මාව තෝරගත්තා. ඒක බොහෝම පොඩි කොටසක්. ඊට පස්සේ ඒ අයගේ තුන්වැනි නිෂ්පාදනය වුණ සාමා වේදිකා නාට්‍යයට මාව ප්‍රධාන චරිතයට තෝරාගත්තා. ඒ කාලේ ප්‍රධාන චරිතය මොකද්ද කියලවත් තේරෙන්නෙ නැහැ. ඒ කාලේ මගේ ලෝකෙ වෙලා තිබුණේ ගෙදර, පාසැල සහ රේඩියෝ සිලෝන් විතරයි. ඊට පස්සේ තාත්තා තමයි ප්‍රධාන චරිතය කියන එකේ තේරුම කියලා දුන්නේ. ඒ අනුව පී. ඩී. එල්. පෙරේරාගේ මඟ පෙන්වීම මත මම වේදිකා නාට්‍ය නිළියක් වුණා. ඔහු පාසැලක් වගේ වේදිකාව ගැන මට  බොහෝ දේ කියලා දුන්නා. ඉතින් මගේ තාත්තා ගොඩක් සතුටු වුණා. ඒ වගේම මගේ අම්මත් අසීමාන්තිකව සතුටු වුණා. මාව කවදහරි නිළියක් කිරීමේ සිහිනයක් මගේ අම්මගේ සිතේ තිබුණා.ඒ නිසා තාත්තා හැමවෙලේම කොහොමහරි අම්මගේ ආසාව ඉෂ්ඨ කරන්න කියලා කිව්වා. අවසානයේදී ඒ ආසාවත් මම ඉෂ්ඨ කළා. මව්පියන් දෙදෙනාගේ ඔවදන් සහ ආශිර්වාදයයෙන් කලා ක්ෂේත්‍රයේ මම දීර්ඝ ගමනක් ආවා.

වේදිකා නිළියක ලෙසින් ඒ කාලෙදි ලියෝනි සම්මානවල පවා ලබාගත්තා නේද?
ඔව්. සාමා වේදිකා නාට්‍යයෙන් පස්සේ මෙහෙව් ලෝකෙක කියලා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ කාලෙදි වේදිකා නාට්‍යවලට සම්මාන දුන්නේ නැහැ. හැබැයි 1692 වසරේදී ප්‍රථම වතාවට ලංකා කලා මණ්ඩපයේ ඉදිරිපත් කළ පළමු වේදිකා නාට්‍ය තරගයේදී මට හොඳම නිළිය වීමේ සම්මානය ලබා ගන්න හැකිවුණා. ඒක මම ජීවිතේ ලබපු ලොකු භාග්‍යයක් වුණා.

වේදිකා නාට්‍යවල රඟපාපු ලියෝනි සිනමාවට සම්බන්ධ වුණේ කොහොමද?
වේදිකා නාට්‍ය නිර්මාණ කරපු පී. ඩී. එල්. පෙරේරා මහතාට චිත්‍රපටයක් කරන්න ඕන වුණා. හැබැයි චිත්‍රපට කරන්න සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ අගනුවර කලා ‍පෙළ කියලා සංගමයකුත් තිබුණා. ඒකේ අපේ නාට්‍ය කණ්ඩායමක් සාමාජිකත්වය දැරුවා. සාමා වේදිකා නාට්‍ය චිත්‍රපටයක් කරන්න පී. එල්. පෙරේරා මහත්තයාට ඕන වුණා. ඒකට හැමෝම කැමති වුණා. ඔය කාලෙදි අපි කරපු වේදිකා නාට්‍යවලදී ලැබෙන පොඩි පොඩි මුදලුත් අපි සාමා චිත්‍රපටය කරන්න එකතු කළා. ඊටපස්සේ තමයි අපි සාමා චිත්‍රපටය කරන්න පටන්ගත්තේ. එතැනින් මම සිනමාවට එකතු වුණා. සාමා චිත්‍රපටයෙන් පස්සේ මම චණ්ඩාලි චිත්‍රපටයේත් පිපෙන කුමුදු චිත්‍රපටයේත් රඟපෑවා. ඒ චිත්‍රපට තුනම එකිනෙකට වෙනස් චරිත තුනක් කරන්න මට හැකි වුණා.

පිපෙන කුමුදු චිත්‍රපටයේදී ඔබට අපූරැ තැනැත්තියක් මුණගැහුණා නේද?
ඔව්. පිපෙන කුමුදු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ රුක්මනී දේවියි. ඒ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළේ රෑබි ද මැල් මහත්මියයි. රුක්මනී දේවි එක්ක රඟපාන්න ලැබීම මගේ ජීවිතේ මම ලබපු ලොකු භාග්‍යයක්. ඒ වෙනුවෙන් රූබි ඇන්ටිට මම අදටත් පිං දෙනවා. රුක්මනී දේවි කියන්නේ අපිට වඩා කොච්චර ජ්‍යෙෂ්ඨ කෙනෙක්ද? නමුත් ඒ චිත්‍රපටයේදී රුක්මණී දේවි අපිට ගොඩක් උදව් කළා. බය වෙන්න එපා කෙල්ලේ කියමින් අපිව දිරිමත් කළා. එක අවස්ථාවක චිත්‍රපටයේදී මම රුක්මණී දේවිට ගහන දර්ශනයකුත් තිබුණා. ඒ වෙලාවේ මම ඒ දර්ශනය කරන්න අකමැති වුණා. මම ඒ කොටස කරන්න බැහැ කියලා පුදුම විදිහට ඇඬුවා. ඒ වෙලාවෙදි රුක්මණී දේවි මම ළඟට ඇවිත් චූටි කෙල්ලේ මේක රඟපෑමක්. ඔයා ඒක හොඳට කරන්න කියලා මාව දිරිමත් කළා. ඇත්තටම ඒ දිරිමත් කිරීමෙන් පස්සේ මම ඒ කොටස හොඳට කළා.

ඔය කාලෙදි ඕබේ විවාහයත් සිදුවුණානේ. ඒකත් නිළියක් වීම නිසා මුණගැහුණු මුණගැහීමක්. එහෙම නේද?
ඔව්.. මම විවාහ වුණේ තිස්ස කොතලාවල එක්කයි. තිස්ස දවස පත්තරේ ඡායාරූප ශිල්පියෙක්. මම වේදිකාවේ නාට්‍යයක් කරන්න ගියපු වෙලාවක පින්තූර ගත්තේ එතුමයි. එයාගේ හිතේ මම ගැන කැමැත්තක් තිබුණද කියලා මම දන්නේ නැහැ. ඒ වේදිකා නාට්‍යයෙන් පස්සේ සාමා චිත්‍රපටයේ ගොඩක් පින්තූර ගන්න තිස්ස ඇවිත් හිටියා. මම කළුයිනේ. ඉතින් ඉස්සර කළු අයට එච්චර ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. සාමා චිත්‍රපටයට මාව තෝරගන්නකොට ක්ෂේත්‍රයේ හිටපු අයම ඇයි මෙයාව ගන්නේ.. මෙයා කළුයිනේ කියලත් තිබුණා. ඉතින් සාමා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන අවුරුද්දෙම තිස්ස මගෙන් ඇහුවා. එතකොට මට වයස දහඅටයි. මම කතෝලික ආගමේ. ඔහු බුද්ධාගමේ. ටික කාලයක් ගියාට පස්සේ අපි විවාහ වුණා. අපි දෙන්නා ආගම් භේදයකින් තොරව හරිම ලස්සනට විවාහ ජීවිතය ගත කළා. එතුමා මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. මගේ සැමියා හැමවෙලේම මාව ආරක්ෂා කළා. ඔහු හරිම ආදරණීය සැමියෙක්. අද ඔහු අපි අතරේ නැතත් ඔහු හැමවෙලේම අපිත් එක්ක ඉන්නවා කියලයි මට හිතෙන්නේ.

කාලයක් ඔබ කලාවෙන් ඈත්වෙලා හිටියා නේද? ඇයි ඒ?
මම වසර දෙකක් පමණ කලාවෙන් ඈත් වෙලා හිටියා. ඔය අතරේ තමයි මම ටෙලි නාට්‍යවලට අවතීර්ණ වුණේ. ලූෂන් බුලත්සිංහල මහත්තයා තමයි මාව මුලින්ම ටෙලි නාට්‍යවලට සම්බන්ධ කළේ. පළවෙනි වතාවට මම ජාතික රූපවාහිනියේ ඒකාංගික නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒකෙ නම සෝමාගේ සිහිනය කියලයි. ඒ වගේම තාරා දේවී චිත්‍රපටයේත් රඟපෑවා. ඊට පස්සේ 1986 වසරේ තිලක් ගුණවර්ධනගේ කුමාරි හාමි ටෙලි නාට්‍යයේ මේරි නෝනා චරිතයට රඟපාන්න ආරාධනාවක් ලැබුණා. ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. 1988 වසරේදී පළමු වතාවට ලංකාවේ ටෙලි නාට්‍යවලට සම්මාන ලබලා දුන්නා. ඒ වෙලාවෙදී ඒ වසරේදී හොඳම නිළිය වීමේ භාග්‍යය ලබාගන්න මට හැකි වුණා. මම ටෙලි නාට්‍ය වුණත් තෝරා බේරාගෙන තමයි සම්බන්ධ වුණේ. මම මුල්තැන දුන්නේ මගේ පවුලටයි. ඒ නිසා අවුරුද්දකට හොඳ එක නිර්මාණයක් වුණත් මම ඒකෙන් සෑහීමකට පත් වුණා. නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරපු නෑදෑයෝ ටෙලි නාට්‍යයේ අඟදහාමිගේ චරිතයටත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

අද ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද?
මම ඉන්නේ මගේ තුන්වැනි පුතා එක්කයි. මම හරිම ආඩම්බරයෙන් කියන්නේ මට පුතාලා පස්දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම විවාහකයි. දැන් මම දරු මුණුපුරන්ගේ ආදරය ලබන ආච්චි කෙනෙක්. මම දැන් බොහොම සැනසීමෙන් ජීවත් වෙනවා. දරුවන්ගෙන් මුණපුරු මිණිපිරියන්ගේ ආදරයත් එක්ක දවස ගත කරද්දී දවස ගෙවෙනවා තේරෙන්නෙත් නැහැ. මට දැන් මිණිපිරියන් පස්දෙනෙක් සහ මුණුපුරන් හතර දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ආදරය තරම් වෙන සතුටක් තව කොහෙන්ද?

 

► Text - Dishani  /   Pic -  Sumudu