2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

යාළුකම කොච්චරද කීවොත් මගේ බබා බලන්න එයා ආවෙ නෑ...

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 291

හිමාලිට මුලින්ම මනෝහාරිව මුණගැහුණේ කොයි කාලේදීද...?
මනෝ අක්කාව මට මුලින්ම මුණගැහුණේ “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයෙනුයි. ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ සමන් කුමාර ලියනගේ මහතායි. ඒ ටෙලිනාට්‍යයේ මනෝ අක්කත් වැඩ කළා.

ඒ රංගන ශිල්පිනියක් විදිහට හිමාලි ක්ෂේත්‍රයට ආපු අලුත... මනෝහාරිගෙන් ලැබුණු සහයෝගය කොහොමද...?
ඔව්... ඒ ගැනනම් කියන්නට ඕනේ. සමන් කුමාර ලියනගේම අධ්‍යක්ෂණය කරපු සඳගලතැන්න ටෙලිනාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ “සඳගිරි පව්ව රඟපාද්දීත් අපි ක්ෂේත්‍රයට ආගන්තුකයි. බොහෝම අලුත්. ඒ කාලෙදීත් මනෝ අක්කා බොහෝ නිර්මාණවලට දායක වුණු ප්‍රවීණයෙක්. මගේ පළවෙනි නාට්‍යයේ ඉඳන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියන් ශිල්පීන් එක්ක වැඩ කරද්දී මම හරිම බයයි. ඒ හැමෝටම මගේ ගෞරවයක් තිබුණා. ඔවුන් ඉදිරියේ වැරදි කරන්න පොඩි බයක් තිබුණා. සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේදී මනෝ අක්කා වගේම මොරින් අක්කාගෙනුත් මට ලොකු සපෝට් එකක් ලැබුණා. අපිට වඩා වැඩිමල් වුණාට යාළුවෝ වගේ අපිත් එක්ක හිනාවෙලා විහිළු කරමින් ඒ අය හිටියා. ඒ නිසා තමයි අදටත් ඒ යාළුකම ඒ විදිහට තියෙන්නේ. මම හිතන විදිහට “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ ඒ රංගනය සාර්ථක වෙන්නත් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා වැදගත් වුණා.

මනෝහාරි මොන වගේ කෙනෙක්ද...?
අදටත් මනෝ අක්කා මට එදා හම්බුවුණ කෙනාම තමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒ යාළුකම අවුරුදු ගාණනාවක් අදටත් ඒ විදිහටම තියෙනවා. මම මනෝ අක්කා එක්ක ගොඩාක් නිර්මාණවල වැඩ කරලා නැහැ. හැබැයි අපි නිතරම වගේ ෆෝන් එකෙන් කතා කරනවා. අපේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. පෞද්ගලික දේවල් ගැන අපි කතා කරනවා. නිතරම අපි මුණගැහුණේ නැති වුණත් අපි අපේ දුක සැප බෙදා ගන්නවා. ඒ නිසා එදා මට මුණගැහුණු අක්කාම තමයි අදටත් මම ළඟ ඉන්නේ.

මනෝහාරිගේ ඔයා ආස කරන ගතිගුණ මොනවාද...?
ඇත්තටම මනෝ අක්කා කියන්නේ වැඩ පස්සේ දුවගෙන යන කෙනෙක් නෙමේ. එයා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එයාට නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් ඒ චරිතයට එයාට යමක් කරන්න පුළුවන්නම් විතරක් අක්කා බාරගන්නවා. ඒ බාරගත්ත චරිතයට හරි සාධාරණයක් එයාගෙන් ලැබෙනවා. හැමවෙලේම මහන්සිවෙලා ඒ චරිතයට යමක් කරන්න අක්කා උත්සහ ගන්නවා. තිරයේ නිකන් පෙනී සිටින්න අක්කා කැමති නැහැ. ලැබෙන සුළු චරිතයක් වුණත් යමක් කරන්න තියෙනවා නම් විතරයි එයා බාරගන්නේ. මමත් ඒ වගේ කෙනෙක්. ඒ නිසාම වෙන්නත් ඇති අපේ යාළුකම මෙහෙම තියෙන්නේ. මම දන්නේ නැති, මම වැඩකරලා නැති අධ්‍යක්ෂකවරයෙකු නිර්මාණයකට මට කතා කළොත් මම මුලින්ම ඒක අක්කට කියනවා. “අක්කෙ... මේ කෙනා කොහොමද... මට වැඩ කරන්න පුළුවන්ද...? කියලා අහනවා. මගේ හැටි අක්කා හොඳටම දන්න නිසා “නංගී ඔයාට මෙයා එක්ක වැඩකරන්න පුළුවන්... මෙයා එක්ක බැරිවේවී. කියලා එයා මට කියනවා. ඒ වගේ උපදෙසුත් මනෝ අක්කාගෙන් මට ලැබෙනවා. ඒ නිසා එයා මට හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරියක්. 

මනෝහාරිට කේන්ති යනවාද...?
ඔව්... ඔව්... කේන්තිත් යනවා. එහෙම කේන්ති යන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ හැමදේටම වැඩිය මනෝ අක්කට ඉක්මනට දුක හිතෙනවා. එයා හරිම සංවේදී චරිතයක්. කවුරු හරි කෙනෙක් එයාට හරි කාට හරි වරදක් කළොත් එයාට දුක හිතෙනවා. සමහර වෙලාවට කාත් එක්ක හරි හිත රිද්දවා ගත්තොත් “ඕන නැහැ මම කතා කරන්නේ නැහැ... එයාට ඕන නම් කතා කරපුදෙන්... කියලා පැත්තකට වෙලා ඉන්න වෙලාවලුත් තියෙනවා.

රූගත කිරීම් කරද්දී ලැබෙන පොඩි විවේකයේදී දෙන්නා එකතුවෙලා මොනවද කළේ...?
ඒ වෙලාවට ඉතින් අපිට පසුගිය කාලේදී වෙච්චි දේවල් කිය කියා අපි පැත්තකට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපි දෙන්නාගේ හිනා වීම වැඩිවෙලා අධ්‍යක්ෂවරුන්ගෙන් බැණුම් අහපු වෙලාවලුත් තිබුණා. විශේෂයෙන් සමන් කුමාර ලියනගේ මහතාගෙන් නම් අපි එහෙම හිනාවෙලා බැණුම් අහලා තියෙනවා. ඒ වෙලාවට ඉතින් සද්ද නැතිව දෙන්නා ආයේ පැත්තකට වෙනවා.

ඔහොම රූගත කිරීම් කරද්දී අමතක නොවන සිදුවීමක් එහෙම මතක් කළොත්...?
එහෙම සිදුවීමක් නම් තියෙනවා. හැබැයි ඒ සිදුවීම වුණේ මනෝ අක්කටයි. “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ මනෝ අක්කා වයසක අම්මා කෙනෙක්ගේ චරිතයක් තමයි කළේ. බොහෝම දුෂ්කර පළාතක ජීවත් වෙන වයසක, රෙදි හැට්ට අඳින අම්මා කෙනෙක්ගේ චරිතය මනෝ අක්කා හරි අපූරුවට කළා. ඔන්න එක කොටසක මනෝ අක්කා (වයසක අම්මා) ලෙඩ වෙන කොටසක් රූගත කිරීම් කළා. 

ඒ වයසක අම්මාගේ පුතාට රඟපෑවේ සරත් අයියා. ඉතින් එක තැනකදී පුතාට අර වයසක අම්මාව උස්සගෙන බෙහෙත් ගන්න යන දර්ශනයක් රූගත කිරීම් කරන්න තිබුණා. කැමරා රෙඩි, අධ්‍යක්ෂකවරයාත් රෙඩි. දැන් ඔන්න සරත් අයියා එකපාරටම අර වැරහැලි ඇඳගත්තු මනෝ අක්කව හරහට උස්සගත්තා. මනෝ අක්කගේ හරි අපූරුවට මුණෙන් අර ලෙඩ පාට පෙන්නුවා. ඒත්... එකපාරටම අධ්‍යක්ෂවරයා “කට්... කට්... කියලා කෑ ගැහුවා. දැන් අපිටත් පුදුමයි. බලද්දී තමයි අපිට සිද්ධිය තේරුණේ. මනෝ අක්කා අර වැරහැලි වගේ ඇඳපු රෙද්ද යටින් කළු පාට ජීන්ස් එකක් ඇඳලා. ගමේ ආච්චිලා එහෙම ජීන්ස් අඳිනවාද... එදානම් මනෝ අක්කා හොඳටම බැණුම් ඇහුවා. අපිට නම් හරි හිනා. තාමත් මනෝ අක්කව මුණගැහුණාම “අර වයසක උන්දා ඇඳපු ජීන්ස් එක කෝ... කියලා අහන වෙලාවලුත් තියෙනවා.

හිමාලිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මනෝහරිට කිව්වේ දුරකතනයෙන්ද...?
ඔව්... මම කෝල් කරලා මනෝ අක්කට කිව්වා. එදා එයා ගොඩාක් සතුටු වුණා. අපේ යාළුකම කොච්චරද කියනවා නම් මේ වෙනකන් තාම එයා බබා බලන්න ආවේ නැහැ. ඉතින් හැමදාම කෝල් කළාම. “අනේ නංගියෝ... මම එන්නම් කියලා කියනවා. කොහොම හරි මම මගේ දරුවා අරගෙන ළඟදීම එයාට පෙන්නන්න මනෝ අක්කගේ ගෙදරට යනවා. අක්කගේ කාර්යබහුලකමත් එක්ක එහෙම ආවේ නැතිවුණාට මගේ කිසිම තරහක් නැහැ. 

මනෝහාරි වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණු එකගැන හිමාලිට මොකද හිතෙන්නේ...?
ඇත්තටම ගොඩාක් සතුටුයි. ක්ෂේත්‍රයේ බොහෝ දේවල් මම මනෝ අක්කාගෙන් ඉගෙන ගත්තා. මනෝ අක්කා කියන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක්. ඒ වගේම මට හොඳ සහෝදරියක් වගේම මට හොඳ මිතුරියක්.
ඔන්න ඔහොම තමයි හිමාලි මනෝහරි ගැන කිව්වේ. දැන් අපි බලමුද මනෝහරි හිමාලි ගැන කියන්නේ මොනවද කියලා...

මනෝහාරිට මතකද මුලින්ම හිමාලි මුණගැහුණ කාලය...?
මට මුලින්ම හිමාලිව මුණගැහුණේ “අයාල් කියන ටෙලිනාට්‍යයෙනුයි. ඒ වෙනකොට හිමාලි “සඳගලතැන්න ටෙලිනාට්‍යය රඟපාලා ජනප්‍රිය වෙලයි තිබුණේ. හැබැයි ඊට කලින් මම හිමාලිව මුණගැහිලා තිබුණේ නැහැ. ඉතින් අයාල් ටෙලිනාට්‍යයේ එක තැනකදී මම හිමාලිව මුණගැහිලා “අනේ... නංගී... මේ ඔයාගේ කියලා හිමාලිට කතා කළා. ඒ වෙද්දීත් මම “සඳගලතැන්න නාට්‍යය බලලා තිබුණා. ඊට පස්සේ තමයි “සඳගිරි පව්ව නාට්‍යයෙන් අපි ගොඩාක් කිට්ටු වුණේ.

හිමාලි කියන්නේ මොන වගේ කෙනෙක්ද...?
මම මේ ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන අය හරි අඩුයි. හිමාලිට වඩා මම වැඩිහිටියෙක්. නමුත් හිමාලි කියන්නේ හරිම ආදරණීය චරිතයක්. එයා හරිම ළයාන්විතව හරිම ආදරණීයව කතා කරනවා. මට මුණගැහුණු මුල් කාලයේදී එයා ක්ෂේත්‍රයට ටිකක් අලුත්. හැබැයි හිමාලි කියන්නේ හරි අවංක කෙනෙක්. එයා කතා කරන වචනයක් ගානේ ඒ අවංකකම තේරෙනවා. සුන්දර හිතක් තියෙන, හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම සුන්දර චරිතයක්.

ඔය සුන්දර චරිතයට කේන්ති යන්නේ නැද්ද...?
එහෙම දැනිලා නැහැ. හැබැයි සමහර දේවල්වලදී “මම ඒවාට කැමති නැහැ අක්කා... කියලා මට කියලා තියෙනවා. එයා ඕනෑම දේකට කැමති කෙල්ලෙක් නෙමේ. එයා එක්ක කතා කරද්දීත් හරි සැනසිල්ලක් තියෙනවා.

හිමාලි රංගනයට එකතු වෙන්න කලින් හොඳ නර්තන ශිල්පිනියක්. ඒ ගැන මනෝහරිට මොකද හිතෙන්නේ... වැඩිපුරම දක්ෂ මොකටද...?
ඇත්තටම හිමාලි නංගී ඒ දෙකටම එක වගේම දක්ෂයි. නර්තනය කරද්දී හිමාලි රංගනයටත් මේ වගේම දක්ෂයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එයාගේ රංගනය හරිම තාත්විකයි. එයා නර්තනය කියන දේ සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරලා තමයි “සඳගිරිපව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. එයා නර්තන ශිල්පිනියක් කියලා කාටවත් හිතන්න බැරි විදිහට රඟපෑවා. ඉතාම දුප්පත්, කටුක ජීවිතයක් ගතකරන චරිතයක් තමයි හිමාලි “සඳගිරි පව්ව ටෙලිනාට්‍යයේ රඟපෑවේ. මම ගොඩාක් අය චරිතයක් කරන්න හදද්දී ටිකක් ලස්සනට ඉන්න තමයි බලන්නේ... චරිතය කරන්න ආසවෙන්නේ... හැබැයි හිමාලි ඒ චරිතයට අවශ්‍ය විදිහට මුහුණ වෙනස් කරගත්තා. මට මතකයි එදා සමහර තැන්වලදී අඬද්දී සමහර දේ කෑ ගහලා කියද්දී මුහුණෙන් පෙන්නපු ඉරියව් මට තාමත් මතකයි. ඒවා අපිට දැනුණා. බෙල්ලේ නහර පවා ඇදෙන විදිහට හරි අපූරුවට ඒ චරිතය රඟපෑවා. ඒක මට හරියට දැනුණා.

නවක පරපුරයේ බොහෝ රංගන ශිල්පිනියන් එක්ක මනෝහරි වැඩකරලා තියනවානේ... ඒ අතරින් හිමාලිගේ ඇති විශේෂත්වය මොකක්ද...?
හිමාලිට ඕනෑම දෙයක් ගැන හරි අවබෝධයක් තියෙනවා. හිමාලි කවදාවත් චරිත පස්සෙන් දුවපු, ජනප්‍රිය වෙන්න දඟලපු චරිතයක් නෙවේ. ඒ වගේම හිමාලි ප්‍රවීණයන්ට වගේම හැමෝටම ගරු කරනවා.

හිමාලිගේ විලාසිතා ගැන මනෝහරිට මොකද හිතෙන්නේ...?
හිමාලිට ගැලපෙන විලාසිතා එයා කරනවා. එයා හරි ලස්සනට අඳිනවා. එයා හරි හැඩයි. ඒ වගේම හරි පිළිවෙළට අඳිනවා. එහෙත් මෙහෙන් එල්ලාගෙන එයා අඳින්නේ නැහැ. එයා ඇත්තටම ප්‍රියමනාප කලාකාරියක්. එයාගේ තරුණ කාලේදී එයා එයාගේ විලාසිතා උපරිමයෙන් කරනවා.

ජේන් ජීන්ස් එකක් ඇඳලා රඟපෑවේ ඇයි...?
ඇත්තටම ඒකේදී මම වැරදියි. ඒක මගේ වැරදීමකින් වෙච්චි දෙයක්. කබල් ඉරිච්චි චීත්තයක් යටින් මම ජීන්ස් එක ඇඳලා හිටියේ. මාව පුතා වඩාගෙන යද්දීම ඒක එළියට පෙනුණා. ඇත්තටම ඒ සිද්ධිය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ...

හිමාලිගේ දරුවව බලන්න මනෝහාරි ගියේ නැත්තේ ඇයි...?
අනේ... ඔව්... මම ඉක්මනට එයාගේ දරු පැටියාව බලන්න යන්න ඕනේ. ඒක මගේ වැරැද්දක්. හෙට අනිද්දාම ඒ පැටියාව බලන්න යන්න ඕනේ. මම දන්නවා හිමාලි කියන්නේ හරිම ආදරණීය අම්මා කෙනෙක්.

හිමාලි වගේ කෙනෙක් ජීවිතයට සමීප වීම ගැන මනෝහරී මොකද හිතන්නේ...?
ඇත්තටම ඒක සතුටක්... මතක් කර කර සතුටු වෙන්න පුළුවන් හොඳ කාලයක් අපිට තිබුණා. ඉදිරියේදීත් මම මගේ දේවල් හිමාලිට කියයි. හිමාලිත් මට කියයි. අපි පුළුවන් වෙලාවට මුණගැහේවී. ඒ සුහඳකම ඉදිරියට තියේවී. හිමාලි මට හොඳ ආදරණීය සහෝදරියක්. 

 

► Text - Dishani  /   Pic- Internet