2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ගුඩ්ඩුයි බින්දුයි පනස් කෝටියයි

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

කෝච්චියක් වේගයෙන් එනවා. රේල්පාර මැද නතරවෙලා තිබුණු කාර් එකක් වේගයෙන් එන දුම්රියේ ගැටිලා තැලිලා පොඩි පට්ටම් වෙනවා. තවත් තැනක කඩවසම් තරුණයෙක් හිටගෙන ඉන්නවා. කොහේදෝ ඉඳලා දුවගෙන ආව සිංහයෙක් ඔහුගේ ඇඟට පනිනවා. ඒ අතරේ තවත් තැනක තරුණ තරුණියන් කණ්ඩායමක් බෝට්ටුවක් පදිමින් ඉන්නවා. එක්වරම ඔවුන් දියඇල්ලකින් පහළට රූටන්න හදනවා. ඒ අතරේ තවත් තැනක කුඩා ගුවන්යානයක යන තවත් කිහිපදෙනෙක් ඒක කඩාගෙන බිමට වැටෙන්න හදනවා. බිම වැටිලා ඉන්න මැදිවියේ පුද්ගලයෙක් අපහසුවෙන් කතා කරනවා. 

කෝටි පනහේ රහස මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි.

ඒ අතරේ ගුඩ්ඩු කියන අද අපේ කතාවේ නායකයා තව කට්ටියක් වටකරගෙන ලොකු කතාබහක නිරතවෙමින් ඉන්නවා. 
ගුඩ්ඩු - කවුද ජනක්පූර්වලට කලින් යන්නේ, බඩු අයිති එයාටයි. 
ඒ අතරේ අද කතාවේ නායිකාවක් වන බින්දු ඒ කතාවට හවුල් වෙනවා.
බින්දු - යස්.. අපියි බෙස්ට්. අපියි දිනන්නේ.

ගුඩ්ඩු - කාටවත් දිනන්න දෙන්නේ නැහැ. මමයි දිනන්නේ. 
ඒ අතරේ බින්දුත් එක්ක මෝටර් රථයකින් ගමන් කරමින් ඉන්න අවිනාශ් පටෙල් ඒගොල්ලෝ දන්නේ නැහැ. 
කෝටි පනහ අපියි ගන්නේ.

බින්දු - මම දන්නවනේ ඔයාගෙ වැඩ. 
මේ අතරේ තවත් කණ්ඩායම් කිහිපයක්ම ඒ සල්ලි හොයාගන්න දෙන්න දෙන්න වගේ විවිධ ක‍්‍රමවලින් ජනක්පූර්වලට යමිනුයි ඉන්නේ. 

සිවුපා සතුන් බොහොමයක්ද යොදාගෙන කරලා තියෙන විනෝදාත්මක සහ ත‍්‍රාස්‍යජනක හිනාවෙවී බලන්න පුළුවන් ටෝටල් දාම්වාලි කියන හින්දී සිනමාපටය 2019 පෙබරවාරි 22 වැනිදා පටන් තිරගත වෙනවා. ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කරලා තියෙන ටෝටල් දාම්වාල් හින්දී සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ අජය දේව්ගන්, අශෝක් තකේරියා, ඉන්ද්‍ර කුමාර්, ශ්‍රී අධිකාරි බ‍්‍රදර්ස් සහ ආනන්ද් පණ්ඩිත්. ටෝටල් දාම්වාල් කියන නමෙහි තේරුම වෙන්නේ සම්පූර්ණයෙන්ම විනෝදය යන්නයි. මේ ටෝටල් දාම්වාල් හින්දී සිනමාපටයේ කතාව ලියා තියෙන්නේ වෙද් ප‍්‍රකාෂ් සහ බන්ටි රාතෝර් විසින්. ගෞරව් සහ රෝෂින් සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන ටෝටල් දාම්වාල් හින්දී සිනමාපටයට පසුතල සංගීතය සපයා තියෙන්නේ සන්දීප් ශිරෝද්කර්. මේ සිනමාපටයේ ඔබ දන්න බොහෝ නළු නිළියන් පිරිසක් විවිධ චරිතයන්ට පණපොවන්න එකතුවෙලා ඉන්නවා. ඒ අතරින් මෙන්න මේ සිනමාපටයන්හි විවිධ චරිතයන්ට පණපෙව්ව කෙනා මතකයිද බලන්නකෝ.

Phool Aur Kaante (1991), Jigar (1992), Sangram (1993), Vijaypath (1994), Dilwale (1994), Suhaag (1994), Naajayaz (1995), Diljale (1996), Ishq (1997), Raincoat (2004), Gangajal, (2004), Yuva (2004), Apaharan (2005), Omkara (2006), Golmaal (2006), Cash (2007), Halla Bol (2008), Golmaal Returns (2008), All the Best: (2009), Once Upon a Time in Mumbaai (2010), Golmaal 3 (2010), Raajneeti (2010), Singham (2011), Bol Bachchan (2012), Son of Sardaar (2012), Singham Returns (2014), Drishyam (2015), Shivaay (2016), Baadshaho (2017), Golmaal Again (2017), Raid (2018)

1969 අප්‍රේල් 02 වැනිදා ඉන්දියාවේ නවදිල්ලිවලදී ඉපදුණු ඔහු 1991 වසරේ පටන් හින්දී සිනමාව නියෝජනය කරන්නේ අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක් සහ නිෂ්පාදකයෙක් හැටියටයි. පද්ම ශ‍්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු ඉපදුණේ විශාල් දේව්ගන් විදියට වුණත් ඔබ අපි දන්නේ ජනප‍්‍රිය හින්දී සිනමා නිළි කාජෝල් මුඛර්ජීගේ ආදරණීය සැමියා, අජේ දේව්ගන් විදියටයි. අජේ දේව්ගන් තමයි මේ සිනමාපටයේ ගුඩ්ඩුගේ චරිතයට පණ පොවන්නේ. 
දැන් කියන්න හදන්නේ මේ සිනමාපටයේ ලල්ලන්ගේ චරිතයට පණපොවන ඔහු ගැනයි. ඔහු ගැන මෙන්න මේ සිනමාපට කිව්ව ගමන් අනිවාර්යයෙන්ම ඔබට මතක් වෙයි.

Tujhe Meri Kasam (2003), Masti , Bardaasht, Kya Kool Hai Hum, Bluffmaster, Malamaal Weekly, Heyy Babyy, Dhamaal, Housefull, Tere Naal Love Ho Gaya, Housefull 2, Grand Masti, Ek Villain, Housefull 3
1978 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාශ්ට‍්‍රා ප‍්‍රාන්තයේ ලාතූර්වලදී ඉපදුණු ඔහු 2003 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක්, රූපවාහීනී නිවේදකයෙක්, නිෂ්පාදකයෙක් වගේම ආර්කිටෙක් කෙනෙක් විදියටත් කටයුතු කරනවා. 2012 වසරෙදී ජනප‍්‍රිය නිළියක් වන ජෙනේලියා ඩී සූසා එක්ක විවාහ වුණු රිටේෂ් දේෂ්මුඛ් තමයි ටෝටල් දාම්වාල් හින්දී සිනමාපටයේ ලල්ලන්ගේ චරිතයට පණ පොවන්නේ. 

බින්දු ගැනයි ඊට පස්සේ ඔබට කියන්න හදන්නේ. සිනමා සම්මාන රාශියක් හිමිකරගෙන ඉන්න ඇයට අපි හැමෝම එක කාලයකදී ආදරය කළා. කාලෙකට පස්සේ ඔන්න ඇය ආපසු සිනමාපටයක රඟපානවා. මෙන්න මේ සිනමාපටවල චරිතයන්ට පණපෙව්ව ඇය කවුද කියලා මතකයිද බලන්නකෝ.

Abodh (1984), Tezaab (1988), Ram Lakhan (1989), Dil (1990), Saajan (1991), Beta (1992), Khalnayak (1993), Hum Aapke Hain Koun (1994), Raja (1995), Dil To Pagal Hai (1997), Anjaam (1994), Mrityudand (1997), Pukar (2000), Lajja (2001), Devdas (2002), Aaja Nachle (2007), Dedh Ishqiya (2014), Gulaab Gang (2014)

1967 මැයි 15 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී උපන් ඇය 1984 පටන් හින්දී සිනමා නිළියක් ලෙසින් කටයුතු කරනවා. 2008 දී ඇය පද්ම ශ‍්‍රී සම්මානයෙන්ද පිදුම් ලබනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඇය වෙන කිසිවෙක් නෙවෙයි, හින්දී සිනමාවේ නොනිවෙන තරුව මාධුරී දීක්ෂිත්. මාධුරී තමයි ටෝටල් දාම්වාල් හින්දී සිනමාපටයේ බින්දුගේ චරිතය හැඩ කරන්නේ. 

මේ සිනමාපටයේ ආදිත්‍ය ශ‍්‍රී වාස්තව්ගේ චරිතයට අර්ශාද් වර්සී, මානව් ශ‍්‍රිවාස්තව්ගේ චරිතයට ජාවේද් ජැෆ‍්‍රිත්, අවිනාශ් පටේල්ගේ චරිතයට අනිල් කපූර්, සංජනා ලෙසින් ඊශා ගුප්තා, ඩොන්ගේ චරිතයට බෝමන් ඉරානි හා ජොනී ලෙසින් සන්ජේ මිශ‍්‍රාත් පණ පොවනවා. මුන්නාගේ චරිතය රාජ්පාල් යාදව් විසින් සහ ජින්ගුර්ගේ චරිතයට ජොනී ලීවර්ද පණ පොවනවා. මෙම සිනමාපටයේ රෝහිත් සුඛ්වානි, මහේෂ් මන්ජේකර්, පිතෝබාශ් ත‍්‍රිපාති, සුදේශ් ලෙහ‍්‍රී, විජේ පාත්කාර් හා ආරාධිත රංගනයන් ලෙස සන්ජේ දත්, ආශීෂ් චවුද්‍රි, සෝනක්ෂී සිංහා සහ ආමීර් ඛාන් ද විවිධ කෙටි චරිතයන්ට පණපොවන්න දායකවෙලා තියෙන අතර ජැකී ශ්‍රොෆ්ද තමන්ගේ හඬින් මේ සිනමාපටය සඳහා දායකත්වය ලබාදීලා තියෙනවා. 
ඉතාම මනරම් මේ හින්දී සිනමාපටයේ රමණීයත්වය වැඩි කරන්න එහි තියෙන මන බඳින ගීතවලට ගීපද රචනාය කරලා තියෙන්නේ කුමාර් සහ කුන්වර් ජුනේජා. ඒ වගේම ඒ ගීපදයන්ගේ අලංකාරය වැඩි කරන්න ඒවා සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ ගෞරව් සහ රෝෂීන්. ඒවාට පණ දෙන්න තමන්ගේ වශීකෘත හඬ සපයලා තියෙන්නේ දේව නාගී, සුභ්‍රෝ ගන්ගුලි, අර්පිතා චක‍්‍රබෝර්ති, ශාන් සහ ජ්යෝතිකා තාන්ග‍්‍රී. දැවැන්ත විනෝදාත්මක සිනමාපටයක ත‍්‍රාසය, භීතිය කුතුහලය සහ සිනහව උපරිමයෙන්ම ඔබගේ පවුලේ සබැඳියන් සමඟින් අත්විඳින්න තව වැඩි දවසක් බලාගෙන ඉන්න ඕන නැහැ කියන එක මතක් කරමින් අදට සමුගන්නම්.

 

► Translation — Chandana Waravitage